ඔන්න සෑහෙන කාලෙකට පස්සේ ලෝකයේ රජ පවුල්වල සුප්‍රකට ආභරණ පිළිබඳව අපි ගෙනාපු ලිපි මාලාවේ තවත් කොටසක් ගෙන එන්න අපි තීරණය කළා. අපි අද කතා කරන්න යන්නේ මොනාකෝ රජ පවුලේ ආභරණ පිළිබඳව. හැබැයි යුරෝපයේ රාජකීය සම්ප්‍රදායන් අනුව නම් මොනාකෝ පාලනය කරන්නේ රජ පවුලක් විසින් නෙමෙයි. ඔවුන් සැළකෙන්නේ කුමාරවරු විදිහට. යුරෝපීය රාජකීය ධූරාවලිය අනුව මොනාකෝ පාලකයන් සිටින්නේ අනෙකුත් රජවරුන්ට වඩා පසුපසින්. නමුත් යුරෝපයේ ධනවත්ම රටක් වීම නිසා අනෙකුත් රාජකීයයන් අතර මොනාකෝ රාජකීයයන් සුපිරි ධනවතුන් ලෙස සැළකෙනවා. එසේම සුප්‍රකට හොලිවුඩ් නිළි ග්‍රේස් කෙලී එවකට මොනාකෝවේ පාලකයාව සිටි රේනියර් කුමරුව විවාහ කර ගැනීම නිසා එම රාජකීය පවුලට සුවිශාල ලෝක ආකර්ෂණයක් ලැබුණා. අද අපි මෙම ලිපිය තුළින් ඔවුන් සතු සුප්‍රකට ආභරණ කිහිපයක විස්තර හොයා බලමු.
1. කාටියර් පර්ල් ඩ්‍රොප් ටියාරා (The Cartier Pearl Drop Tiara)
මෙම සුන්දර ටියාරාව නිර්මාණය කොට තිබෙන්නේ රේනියර් කුමරුගේ මව වන චාලට් කුමරිය වෙනුවෙනුයි. ඇය සිය පුත්‍රයාගේ සහ ග්‍රේස් කෙලීගේ විවාහ මංගල උත්සවය සඳහා මෙම ටියාරාවෙන් සැරසී පැමිණි අතර එය ලෝකය පුරා ආකර්ෂණයක් බවට පත්වුණා. චාලට් කුමරියගේ මරණයෙන් පසුව ඇගේ මිණිබිරියක වන කැරොලයින් කුමරිය විසින් ඒවා භාවිතා කරන නමුත් එහි අයිතිය ඇයට හිමි වන්නේ නැහැ. එය සැළකෙන්නේ රාජකීය ආභරණ එකතුවේ කොටසක් ලෙසයි.
2. කැරොලයින් කුමරියගේ දියමන්ති ෆ්‍රින්ජ් මාලය (Princess Caroline’s Diamond Fringe Necklace)
වර්තමානයේදී කැරොලයින් කුමරිය සැරසීමට ප්‍රිය කරන මෙම මාලය පිළිබඳව ආභරණ විශේෂඥයන් විශාල උනන්දුවක් දක්වනු ලබනවා. ඊට හේතුව වන්නේ ඇගේ මිත්තණිය වන චාලට් කුමරිය සතුවද මෙවැනිම දියමන්ති මාලයක් තිබීමයි. ඒ පිළිබඳව විවිධ විවාද පවතින අතර බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ මේ ආභරණ සමානකමක් දැක්වුවත් ඒවා එකිනෙකට වෙනස් ආභරණ දෙකක් බවයි.
3. ග්‍රේස් කුමරියගේ දියමන්ති ටියාරාව (Princess Grace’s Diamond Tiara)
කුඩා දියමන්ති 250ක් පමණ ප්ලැටිනම් ආධාරකයක් මත රැඳවීම මගින් මෙම ටියාරාව නිර්මාණය කොට තිබෙනවා. ග්‍රේස් කුමරිය මෙම ටියාරාව සිය විවාහයෙන් පසුව නිතර නිතර පැළඳීමට පටන් ගත් අතර අයර්ලන්තය වෙත රේනියර් කුමරු සමග සිදුකළ රාජකීය චාරිකාවක් සඳහා ද ඇය මෙම ටියාරාව භාවිතා කරනු ලැබුවා. ඉන් සැරසුණු ඇගේ ඡායාරූපවලට විශාල ආකර්ෂණයක් ලැබුණා.
4. බවුමර් අයිග්රෙට් (The Baumer Aigrette)
මොනාකෝවේ වර්තමාන පාලකයා වන ඇල්බට් කුමරු විසින් සිය බිරිඳ වන චාලීන් කුමරිය වෙත මංගල ත්‍යාගයක් ලෙස මෙම හිස පළඳනාව පිරිනමා තිබෙනවා. ඇය විසින් මෙය විවාහ උත්සවයෙන් අනතුරුව පැවැති භෝජන සංග්‍රහය සඳහා පළඳිනු ලැබූ අතර එකිනෙක හා ගැටෙන රළ පෙළක් ලෙස මෙම ආභරණය සකසා තිබීම එහි ඇති එක් විශේෂත්වයක්.
5. චාලීන් කුමරියගේ විවාහ ගිවිසගැනීමේ මුදුව (Princess Charlene’s Engagement Ring)
ඇල්බට් කුමරු විසින් චාලීන් කුමරිය වෙත පිරිනැමූ මෙම විවාහ ගිවිසගැනීමේ මුදුවෙහි තොරතුරු සෙවීම සඳහා ජනතාව අතර මුල් කාලයේදී දැඩි උනන්දුවක් පැවතුණා. එය රෙපෝසි නම් ආභරණ සමාගමක් විසින් නිර්මාණය කර තිබෙන අතර කැරට් තුනක පෙයාර්ස් හැඩැති දියමන්තියක් වටා තිබෙන තවත් දියමන්ති කීපයක් එය අලංකාර කරනවා. කෙසේ නමුත් චාලීන් කුමරිය මෙම මුදුව නිතර නිතර නොපළඳින අතර ඇල්බට් කුමරුගේ රාජකීය සංවත්සරය සඳහා පමණක් මෑතකදී එය පැළඳ තිබුණා.
6. ග්‍රේස් කුමරියගේ කාටියර් දියමන්ති මාලය (Princess Grace’s Cartier Diamond Necklace)
පොටවල් තුනකින් සමන්විත වන මෙම දියමන්ති මාලය කාටියර් සමාගම විසින් ග්‍රේස් කුමරිය සඳහා නිර්මාණය කොට තිබෙනවා. එය ඇය විසින් අතිශයින් ප්‍රිය කරනු ලැබූ ආභරණයක් වූ අතර ඇගේ මරණයෙන් පසුව ඇය පිළිබඳව වන ප්‍රදර්ශන සඳහාද මෙම මාලය එක් කිරීමට මොනාකෝ රජ පවුල කටයුතු කොට තිබුණා. ඇගේ චරිතය පදනම් කොටගෙන නිර්මාණය වූ “Grace of Monaco” චිත්‍රපටය වෙනුවෙන් නිකොලේ කිඩ්මෑන් සඳහා කාටියර් සමාගම මෙම මාලය ප්‍රතිනිර්මාණය කිරීමට කටයුතු කළා.
7. චාලට් කුමරියගේ කරාබු (Princess Charlotte’s Art Deco Earrings)
දියමන්ති වලින් සකස් කර තිබෙන මෙම සුන්දර කරාබු යුගලය පිළිබඳව යළිත් කතාබහක් ඇති වූයේ කැරොලයින් කුමරිය විසින් රාජකීය උත්සව අවස්ථාවක් සඳහා එය පැළඳීමත් සමඟයි. එය ඇගේ මිත්තණිය වන චාලට් කුමරියගේ ප්‍රියතම ආභරණ යුග්මයක් වූ අතර එය ආසන්න වශයෙන් 1920 දී පමණ නිර්මාණය කොට ඇති බව විශ්වාස කෙරෙනවා.
එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply