පරමාණු බලය කියන්නේ ඊළඟ ලෝක යුද්ධයක් ගැන බය හිතවන බලශක්ති ප්‍රභවයක්. 2011 ෆුකුෂිමා බලාගාර පිපිරුම සහ 1986 දී චර්නෝබිල් පිපිරුම එක්ක ලොව වටා ජනතාව පරමාණුක බලය ගැන තියෙන විශ්වාසය ගැන සැක පහළ කළා. ඒත් මෑතකදී ඔස්ට්‍රේලියාව ලොකු මිලක් වියදම් කරලා අලුත් සබ්මැරීන ඩීල් එකකට සෙට් වෙන්න යනවා. අපි ඒ ගැන තොරතුරු ටිකක් දැනගමු.
1. පරමාණුක සබ්මැරීන වලට විරෝධය
මෑතක ඔස්ට්‍රේලියාවේ නාවුක බලය වැඩි කරගැනීම උදෙසා පරමාණුක සබ්මැරීන වලට යන්න ලොකුවට කතා බහක් ඇති වුණා. ඒකෙ ඩීල් එක ඩොලර් බිලියන 50ක් තරම් විශාල මිලක් වැය වෙන වැඩක් විදිහට දක්වලා තිබුණා. එක් පසෙකින් මහජනතාව තමුන්ගේ බදු මුදල් මේ වගේ වැඩකට යෙදවීම ගැන විරුද්ධ වුණා. අනෙක් අතින් න්‍යෂ්ටික බලය යෙදවීමේ තියෙන අවදානම ගැන ඔවුන් බිය පළ කළා. ඒ අතර යාබද රට වන නවසීලන්තයේ නායිකා ජසින්ඩා ආර්ඩන් කෙලින්ම මේ වැඩේට තමුන්ගේ විරුද්ධකම කියලා තිබුණා.
2. න්‍යෂ්ටික බලය නිපදවෙන හැටි
මුළු ලෝකයේම තියෙන බලශක්තිය නිපදවන ක්‍රම අතුරින් පරිසරයට අවම බලයකින් ශක්තිය නිපදවන්න මේ විකිරණශීලී මූලද්‍රව්‍ය වලට පුළුවන්. ඒ හරහා දැනට ලෝකය වටේ බලාගාර වල රියැක්ටර් 440ක න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපදවනවා. ඒ ප්‍රමාණය සමස්ථ ලෝක බලශක්තියෙන් 10%ක් තරම් වැඩි අගයක්. යුරේනියම් පාවිච්චි කරලා ගන්න විකිරණශීලී තාපය මගින් ජල වාෂ්ප ඇති කරනවා. එයින් ඇතිවෙන බලයෙන් තමයි න්‍යෂ්ටික බලාගාර වල විදුලිය නිපදවා ගන්නේ.
3. ඔස්ට්‍රේලියා න්‍යෂ්ටික බලයේ යටි අරමුණ
මේක දිගු කාලීන වැඩ පිළිවෙලක්. 2040 දී තමයි ඔස්ට්‍රේලියාව දැන් කතා කරන න්‍යෂ්ටික සබ්මැරීන කරළියට එන්නට තියෙන්නේ. ඔස්ට්‍රේලියාව පරමාණුක බලය මහජන විරෝධය නිසාම 1970-80 කාලේදි නැවැත්තුවා. එත් ඔස්ට්‍රේලියාව යුරේනියම් ආදී විකිරණශීලී මූලද්‍රව්‍ය යහමින් තියෙන සහ ඒවා කණින රටක්. ඉතින් ඒ එක්ක න්‍යෂ්ටික බල වෙළෙඳපොළේ තැනක් හදාගන්න එක ඔස්ට්‍රේලියාවේ යට අරමුණ කියලා දේශපාලන විචාරකයින් කියලා තියෙනවා. ඔස්ට්‍රේලියාවේ කොළ පක්ෂය (ග්‍රීන් පාටි) කියන විදිහට මේ ගේන්න යන්නේ පාවෙන චර්නොබිල් වගේ අනතුරක්.
4. මොනවද මේ න්‍යෂ්ටික සබ්මැරීන?
නියුක්ලියර් සබ් නැතිනම් න්‍යෂ්ටික සබ්මැරීන ජාති දෙකයි. එයින් එක වර්ගයක් නියුක්ලියර් සබ්මැරීන වල බලය, ඒ කියන්නේ සබ්මැරීනය මුහුදේ ධාවනය වෙන්න අවශ්‍ය බලය ලබාගන්නේ න්‍යෂ්ටික ශක්තියෙන්. අනෙක් වර්ගයේ නියුක්ලියර් වෝ හෙඩ්, එහෙම නැතිනම් න්‍යෂ්ටික අවි භාවිතා වෙනවා. දැනට ඉන්දියාව, ඇමරිකාව, චීනය, ප්‍රංශය සහ රුසියාව ආදී රටවල මේ න්‍යෂ්ටික සබ්මැරීන තියෙනවා. එයින් ඇමරිකාවට මේ සබ්මැරීන ගොඩක් තියෙනවා. මේ සබ්මැරීන වල වාසි වගේම අවාසිත් තියෙන බව සඳහන්.
5. න්‍යෂ්ටික සබ්මැරීන වල වාසි
අපි හැමෝම දන්න විදිහට සාමාන්‍ය ඩීසල් එන්ජිමක් වැඩ කරන්න වාතය ඕනි වෙනවා. සබ්මැරීන යන්නේ මූද යට. එතකොට සබ්මැරීනයක් ඩීසල් වලින් ධාවනය වෙද්දී ඒක ධාවනය කරන්න බලය ගන්න වාතය ඇතුළේ ගබඩා කරගන්න ඕනි. ඒත් න්‍යෂ්ටික සබ්මැරීනයකදි එහෙම නැහැ. සම්පූර්ණ සීල් කරපු පරමාණුක එන්ජිමක් එනවා. ඒක අවුරුදු තිහක් යනකල් කිසි අවුලක් නැතුව න්‍යෂ්ටික සබ්මැරීනයට බලය දෙනවා. යුද්ධමය අවස්ථාවකදී නිතර නිතර මුහුද උඩට එන එකත් ඩීසල් ගබඩා පවත්වාගෙන යෑමත් ගැටළුවක්. ඒ නිසා නිතර නිතර ගොඩ එන්නට උවමනා නොවීම අතින් න්‍යෂ්ටික සබ්මැරීන වාසිදායකයි.
6. න්‍යෂ්ටික සබ්මැරීන වල අවාසි
න්‍යෂ්ටික බලය ලොකුයි. ඒ වගේම ඒ යෙදවුම තියෙන රියැක්ටරුත් විශාලයි. ඒ නිසා න්‍යෂ්ටික බලය තියෙන සබ්මැරීන විශාලත්වයෙන් වැඩියි. මේ විශාලත්වයෙන් වැඩි සබ්මැරීන සතුරාට හඳුනාගන්නට පහසුයි. යුධ තාක්ෂණය අතින් ගත්තාම විශාල සබ්මැරීන වලට වඩා කුඩා සබ්මැරීන ගොඩක් තියෙන එක වාසිදායක බවක් කියවෙනවා. ඒ වගේම මේ න්‍යෂ්ටික බලය සාපේක්ෂව මිල අධිකයි. මිලදී ගැනීම වගේම නඩත්තු කටයුතු වලටත් ලොකු වියදමක් යනවා. ඊට අමතරව සැබෑ ලෙසම ඇතිවෙන යුධමය අවස්ථාවකදී මේ න්‍යෂ්ටික බලය සහිත සබ්මැරීනයක් ප්‍රහාරයකට ලක් වුණොත් ඉන් ඇතිවෙන්න පුළුවන් දරුණු අනතුරු තත්‍ත්වයත් නොසළකා හරින්න අමාරුයි.
7. දකුණු චීන මූද
චීන බලය ලොව පුරා ව්‍යාප්ත වීමත් එක්ක එංගලන්ත, ඇමරිකා සහ ඔස්ට්‍රේලියා නව සංධානය ගැන චීනය සෘජුවම තමුන්ගේ විරෝධය පළ කරලා තියෙනවා. ඉදිරියේදී චීනය තමුන්ගේ යුද බලය වැඩි කිරීම එක්ක නව බල ඇණි ගැන චීනයට තියෙන්නේ කෙලින්ම විරෝධයක්. මේ හරහා කලාපයේ ආරක්ෂාව, සංහිඳියාව බලපෑමට ලක්වෙන බවක් තමයි කියවෙන්නේ. අනෙක් පසින් මුලින් ප්‍රංශය සමග මේ න්‍යෂ්ටික බලය ගැන එකඟතා වලට ඇවිත් හිටි ඔස්ට්‍රේලියාව එක පාර ප්‍රංශයට පිටු පෑම ගැන ප්‍රංශය පැත්තෙන් අප්‍රසාදයත් එල්ල වෙලා තියෙනවා.
ලොකු ලොකු රටවල් අතර සිදුවෙන මේ ලොකු ඩීල් වල ඉලක්කම් අපිට හිතාගන්න බැරි තරම් විශාලයි. ඒත් ඒවා ගැන ලොව පුරාම අවධානය යොමු වෙලා තියෙන්නේ හේතුවක් ඇතිව. මොකද මේ යුධ ශක්තිය වැඩිදියුණු කිරීම, න්‍යෂ්ටික බලය භාවිතය වැඩි වීම ලෝකයටම මුහුණ දෙන ප්‍රශ්න. ඉතින් ඒ එක්ක ඉන්දියානු සාගරයේ මැද තියෙන දූපතක ඉන්න අපිටත් මේ ලෝක මට්ටමේ ඩීල්ස් යම් තාක් දුරකට වැදගත් වෙනවා.
Leave a Reply