ඇමරිකාවේ ප්‍රාන්ත ගැන විස්තර දැනගනිමු – 2 කොට​ස

ඇමරිකා එක්සත් ජනපදය ගැන අපේ රටේ මිනිස්සුන්ට තියෙන්නෙ අමුතුම විදියේ ආකල්පයක් කියන එක රහසක් නෙමෙයි. අපේ දේශපාලනඥයෝ කියන විදිහට අපේ රටේ ප්‍රධානම සතුරා වෙන්නෙ ඇමරිකා එක්සත් ජනපදය. ඒ රටේ නායකයන්ගෙ ප්‍රධානම කාර්යභාරය වෙලා තියෙන්නෙ ලංකාවට එරෙහිව  කුමන්ත්‍රණ සැලසුම් කරන එක. ඒ වුණාට ඇමරිකා එක්සත් ජනපදයට බනින ගොඩක් දෙනෙක්ට ග්‍රීන් කාඩ් එහෙම හම්බ වුණොත් එහෙම වෙන දේ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ කියලා අපි හිතනවා. මේ නිසාම අපි පහුගිය සතියක ඇමරිකාවේ ප්‍රාන්ත ගැන ඔබට හඳුන්වා දෙන ලිපි මාලාවක් පටන් ගත්තා. මේ එහි දෙවැන්න.

 

ඇමරිකාවේ ප්‍රාන්ත ගැන විස්තර දැනගනිමු

 

1. ඩෙලවෙයා (Delaware)

ඇමරිකා එක්සත් ජනපදයේ කුඩාම ප්‍රාන්ත අතර දෙවැනි ස්ථානය හිමි කරගන්නේ මෙම ප්‍රාන්තයයි. ඇමරිකා එක්සත් ජනපද ව්‍යවස්ථාව පිළිගත් ප්‍රථම ප්‍රාන්තය වීම නිසා ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රථම ප්‍රාන්තය යන නමින්ද ඩෙලවෙයා හඳුන්වනු ලබනවා. සමාගම් සඳහා අති විශාල බදු සහන ලබා දීම නිසා සමාගම් ගණනාවක් මෙම ප්‍රාන්තය තුළ ස්ථාපිත වීමෙන් එය ආර්ථිකය ශක්තිමත් කිරීමට ප්‍රධාන සාධකයක් බවට පත්ව තිබෙනවා.

 

2. ෆ්ලොරීඩා (Florida)

ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු දිග ප්‍රාන්තයක් වන ෆ්ලොරීඩාවද ආරම්භයේදී රතු ඉන්දියානුවන්ගේ පාරම්පරික  වාසභූමියක් වුණා. ස්පාඤ්ඤ ජාතිකයන් විසින් මෙම ප්‍රදේශය යුරෝපීයකරණයට ලක් කළ අතර පසුව පිළිවෙළින් ස්පාඤ්ඤය සහ මහා බ්‍රිතාන්‍යය යටතේ පාලනය වුණා. ප්‍රාන්තයේ බොහෝ කොටසක් වටා අත්ලාන්තික් සාගරය දිවෙන අතර එය මෙම ප්‍රාන්තයේ සංස්කෘතිය සහ ආර්ථිකයේ දිශානතිය තීරණය කිරීමේ  සාධකයක් බවට පත්ව තිබෙනවා. සංචාරක ව්‍යාපාරය හා බැඳුණු අනිකුත් ව්‍යාපාරවලින් උපයන අතිවිශාල ආදායම මගින් ඇමරිකා එක්සත් ජනපදයේ ධනවත්ම ප්‍රාන්තයක් බවට ෆ්ලොරීඩාව පත්ව තිබෙනවා.

 

3. ජෝර්ජියා (Georgia)

ඇමරිකා එක්සත් ජනපදයේ ආරම්භක ප්‍රාන්තයක් වන ජෝර්ජියාහි මුල් භූමි ප්‍රමාණය අති විශාල එකක් වුණා. පසුව එය කොටස් වලට කඩා ඇලබාමා සහ මිසිසිපි ප්‍රාන්ත නිර්මාණය කෙරුණා. වහල් මෙහෙය පිළිබඳව ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුව සමඟ ඇතිකරගත් ගැටුමක ප්‍රතිඵලයක් ලෙස ජෝර්ජියා ජනපදය ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වෙන්ව තවත් ප්‍රාන්ත සමග වෙනම ඒකකයක් ලෙස ක්‍රියාත්මක වීම සිවිල් යුද්ධයට මග පාදනු ලැබුවා.

 

4. හවායි (Hawaii)

ඇමරිකා මහද්වීපයේ ප්‍රධාන බිම් කොටසෙන් වෙන්ව පිහිටා තිබෙන එකම ඇමරිකා එක්සත් ජනපද ප්‍රාන්තය ලෙස හවායි හැඳින්වීමට පුළුවන්. මෙය සම්පූර්ණයෙන්ම දූපත් සමූහයකින් සමන්විත වෙනවා. ජෛව විවිධත්වයෙන් අනූන මෙම ප්‍රාන්තය ලෝකයේ ප්‍රකට සංචාරක ආකර්ෂණයක්ද වනවා. එසේම ඇමරිකා එක්සත් ජනපදයේ වැඩිම බෞද්ධ ප්‍රතිශතයක් වාසය කරන  ප්‍රාන්තය වන්නේද හවායි ප්‍රාන්තයයි.

 

5. අයිඩහෝ (Idaho)

මෙම ප්‍රාන්තය වසර දහස් ගණනක් තිස්සේ රතු ඉන්දියානුවන්ගේ භූමියක්ව පැවතුණා. පසුව මෙම ප්‍රදේශවල අයිතිය පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය අතර මත ගැටුම් පැවතුණත්, අවසානයේදී එය ඇමරිකා එක්සත් ජනපදයේ හතළිස් තුන් වැනි ප්‍රාන්තය බවට පත්වුණා. අර්තාපල් නිෂ්පාදනය සඳහා ප්‍රසිද්ධියක් උසුලන මෙම ප්‍රාන්තය ඇමරිකා එක්සත් ජනපදයේ ඒ සඳහා වන ජාතික අවශ්‍යතාවයෙන් තුනෙන් එකක් සම්පූර්ණ කරනවා.

 

6. ඉලනෝයි (Illinois)

අති දැවැන්ත නාගරීකරණයට ලක් වූ මෙම ප්‍රාන්තය චිකාගෝව කේන්ද්‍ර කරගෙන පාලනය වුවත් කෘෂිකාර්මික ආර්ථික රටාවක් මගින් සෞභාග්‍යය අත්පත් කරගත් ප්‍රාන්තයක්. මේ සඳහා ඔවුන් සතු ස්වභාවික සම්පත්ද එක් හේතුවක් වුණා. එසේම මෙම ප්‍රාන්තය ගමනාගමන සහ ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක්  බවට ද පත්ව තිබෙනවා.

 

7. ඉන්ඩියානා (Indiana)

මෙම ප්‍රාන්තය සඳහා නම ලැබෙන්නේ එහි වාසය කරන රතු ඉන්දියානු සම්භවයක් සහිත ජනගහණය නිසා. කාලයක් ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුව එම පිරිස මෙම ප්‍රාන්තයෙන් ඉවත් කිරීමට උත්සාහ කළත් එය සම්පූර්ණයෙන් සාර්ථක වූයේ නැහැ. අනෙකුත් ප්‍රාන්ත වලට සාපේක්ෂව අධ්‍යාපනය සඳහා පොදු පාසල් ක්‍රමයක් හඳුන්වාදීමට ඉන්දියානා ප්‍රාන්තය ප්‍රමුඛත්වය ගනු ලැබුවා. වර්තමානයේ දී මෙම ප්‍රාන්තය සමෘද්ධිමත් ආර්ථිකයකට හිමිකම් කියනවා.

 

එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *