දරුවාගේ ඉගෙනීම් කටයුතු සාර්ථක කරගන්න දෙමාපියන් විදියට ඔයාට මොනවාද කරන්න පුළුවන්?

අද අපි කතාකරන්න හිතුවේ අම්මෙක් හෝ තාත්තා කෙනෙක් විදියට තමන්ගේ දරුවාගේ ඉගෙනීම් කටයුතු සාර්ථක කරගන්න ඔබට මොනවාද කරන්න පුළුවන් කියන එක ගැන. 1 වසරේ ඉඳලා උසස් පෙළ දක්වා ඉගෙනුම ලබන ඕනෑම දරුවෙක් වෙනුවෙන් ඔබට මේ උපදෙස් භාවිතා කරන්න පුළුවන්…

 

1. බනින්න එපා

ගොඩක් දෙමාපියන්ගේ අතින් සිද්ධ වෙන ලොකු වැරැද්දක් තමයි මේක. හුඟාක් වෙලාවට මේ දේ සිද්ධ වෙන්නේ දරුවෙක් විභාගයකින් අසමත් වුණු වෙලාවට. ඒ වගේ අවස්ථාවකදී දෙමාපියන් විදියට තරහ යන එක සාධාරණයි. ඒත් ඒ වැරැද්ද නිසාම ඔබේ ළමයාගේ මානසිකත්වය ගොඩක් පහළ බහිනවා. ඊළඟ වතාවේ විභාගයට වුණත් මුහුණ දෙද්දි ගොඩක් බයෙන් තමයි එවිට දරුවා මුහුණ දෙන්නේ. සමහර අවස්ථාවල මේ වගේ අසමත් වීමකදී ඔවුන් සියදිවි නසාගැනීම් වලට පෙළඹෙන අවස්ථාවලුත් අපිට දැකගන්න පුළුවන්…

 

2. අනිත් ළමයි එක්ක සංසන්දනය කරන්න එපා

සාමාන්‍යයෙන් පන්තියේ ස්ථානයන් යොදනවා නම් ගොඩක් වෙලාවට ඔබ දරුවව පන්තියේ පළමුවැනියා කරන්න උත්සහ කරනවා වෙන්න පුළුවන්. ඒ උත්සහය අසාර්ථක වුණු වෙලාවක ඔබ අතින් නොදැනුවත්ම හෝ තමන්ගේ දරුවාවත් අනිත් දරුවන් එක්ක සංසන්දනය වෙන්න පටන් ගන්නවා. මේකත් ගොඩක් වැරදි දෙයක්. අපිට පුළුවන් ඒ වෙනුවට දරුවට වෙනත් ඉලක්කයක් තියන්න. උදාහරණයක් විදියට විෂයයන් ඔක්කොටම A පාස් එකක් ගන්න කියනවා වගේ දෙයක්.

 

3. පොඩි දේත් අගය කරන්න

සාමාන්‍යයෙන් ඔයාගේ දරුව ලබාගන්න පුංචි ජයග්‍රහණයක් වුණත් අගය කරන්න පුරුදු වෙන්න. විභාගයට ලකුණු පනහක් ගත්තත් ෆේල් නොවුණු එක ගැන සතුටු වෙන්න උගන්නන්න. ඒ වගේම ඊළඟ පාර ඊට වඩා වැඩි ලකුණක් ගමු කියලා දිරිමත් කරන්න. හැම මොහොතකම වගේ දරුවා දක්ෂයි කියලා දරුවාව දිරිමත් කරන්න උත්සාහ කරන්න. 

 

4. කතා කරන්න

සාමාන්‍යයෙන් මේ කාලයේ ගෙදරට වෙලා ඉන්න නිසා ඔයාට පුළුවන් දරුවා එක්ක ඉගෙනීම් සම්බන්ධයෙන් එහෙම නැත්නම් දරුවාගේ වෙනත් පෞද්ගලික ප්‍රශ්න ගැන, එදිනෙදා ජීවිතේ ගැටළු ගැන කතාකරන්න. මේ වගේ පුංචි පුංචි කතාබහවලින් ඔයාට පුළුවන් දරුවව සතුටින් තියාගන්න වගේම ඉගෙනීම් සාර්ථක කරගන්න උපකාර වෙන්න. 

 

5. ඉගෙනීමේ අගය පුංචි පුංචි දේවල් වලින් පවා පෙන්නලා දෙන්න

මේකත් ගොඩක් දෙමාපියන් නොකරන වැදගත් දෙයක්. සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා ඉන්නේ දුප්පත් කෙනෙක්ව දැක්කොත් “ඔයත් ඉගෙන ගත්තේ නැත්නම් මෙහෙම වෙයි” කියලා දරුවන්ට කියල දෙන්න. ඒත් අපිට පුළුවන් ඒ දේ අනිත් පැත්ත කරන්න. සාර්ථක මිනිසුන්ගේ ජීවිත කතා ගැන කියලා දෙමින් ඉගෙනීමේ අගය දරුවට කියලා දෙන්න. මේක හැබැයි උසස් පෙළ වගේ කරන දරුවෙක්ගේ ඔළුවට දාන්න නම් තරමක් අපහසු දෙයක් වේවි. ඒත් උත්සහ කරල බලන්න. 

 

6. නිදහස සීමා නොකිරීම

මේ දේ නම් දෙපැත්තක් තියෙනවා. අසීමිත නිදහස නිසාම දරුවන් වැරදි දේවල් වලට යොමු වෙන්න තියෙන අවදානම වැඩියි. ඒ වගේම නිදහස සීමිත වීම නිසාමත් දරුවන් වැරදි දේවල් වලට යොමු වෙන්න යම් අවදානමක් තියනවා. එනිසා ඔබ දෙමාපියන් විදියට දරුවෙක්ට දිය යුතු නිදහස ගැන සැළකිලිමත්ව කටයුතු කරන්න ඕනේ.

 

7. හැම විටෙකම වගේ ඔවුන් එක්ක ප්‍රියමනාපව ඉන්න

ඔයා ගොඩක් කාර්‍යබහුල අම්මෙක් හෝ තාත්තෙක් වෙන්න පුළුවන්. ඒ වුණත් පුළුවන් තරම් දරුවන් එක්ක සතුටින් ඉන්න බලන්න. ඔයාගේ මහන්සිය, සතුට, දුක වගේ හැමදේම ඔවුන් එක්ක බෙදාගන්න. දවසක ඔවුන් දෙමාපියන් වෙන දවසක වුණත් සාර්ථකව ඉන්න හැටිගැන ඔවුන්ට කියලා දෙන්න. 

 

දැන් ඔබ දන්නවා අම්මෙක් හෝ තාත්තෙක් විදියට තමන්ගේ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු වෙනුවෙන් ඒවා සාර්ථක කරගන්න කරන්න පුළුවන් දේවල් මොනවාද කියලා. ඉතින් ඔබට පුළුවන් තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙවැනි පුංචි පුංචි දේවල් වලින් ඔවුන්ට උදවු කරන්න.

 

ශශින් ප්‍රබෝද්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *