අලුත්ම iPhone 13 සීරීස් එකත් එක්ක සටන් වදින්න එන ඇන්ඩ්‍රොයිඩ් ස්මාට්ෆෝන්!

මේ දවස් වල ටවුන් එකේ අලුත්ම ටොපික් අතරේ එකක් තමයි ඇපල් කට්ටිය එනවුන්ස් කරපු  iPhone 13, iPhone 13 Pro සහ iPhone 13 Pro Max අලුත් ස්මාට්ෆෝන් සීරීස් එක. මේ නිව්ස් එක අහපු ගමන් සමහරු තමන් දැන් පාවිච්චි කරන ෆෝන් එක විසින් කරලා අලුත්  iPhone 13 Pro එක ගන්න ප්ලෑන් කළා. ඒ අතරේ තව සෙට් එකක් තමන්ගේ වකුගඩුවක් විකුණලා අලුත්  iPhone 13 Pro Max එක ගන්න වෙයිද, නැත්තං ඒත් මදි වෙලා අතක් පයක් එහෙමත් විකුණන්න වෙයිද කියලා විස්සෝප වුණා. ඒ අතරේ ඇන්ඩ්‍රොයිඩ් ලෝකේට පෙම් බඳින බඹරු ඇවිත් ඇපල් ෆෑන්ස්ලට කෝචොක් දාන්න පටන් ගත්තා, iPhone 13 ෆෝන්ස් වල වෙනසක් කියලා තියෙන්නේ කැමරා සෙට් එක එහෙට්ට මෙහෙට්ට කරලා විතරයි කියලා. iPhone 13 Pro එකේ අලුතෙන් හඳුන්වා දෙන ෆීචර්ස් ඇන්ඩ්‍රොයිඩ් වලට ආවේ මීට අවුරුදු ගාණකට කළින් කියලා උන්දැලා හිනා වෙන්න ගත්තා!

හරි, ඔය කවුරු හරි වැරදි වුණත්, ඇපල් කට්ටිය  iPhone 13 Pro එක සහ  iPhone 13 Pro Max එකත් එක්ක අලුත් ෆීචර්ස් මොනව මොනවා හරි හඳුන්වලා දෙනවා කියන එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. හැබැයි ඒ එක්කම ඔය ෆෝන්ස් වල මිල ගණන් වුණත්, රුපියල් වලින් ගත්තහම මිලියන බාගෙන් එහා පැත්තේ කියන එක ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ආන්න ඒ නිසා අපි හිතුවා,  iPhone 13 Pro සහ  iPhone 13 Pro Max වලට චැලෙන්ජ් කරන්න අනික් ස්මාට්ෆෝන් නිෂ්පාදකයන් ඉදිරිපත් කරන ස්මාට්ෆෝන්ස් කීපයක් ගැනත් හොයලා බලන්න!

 

1. Galaxy S21 Ultra

iPhone 13 Pro Max එකේ ගාණටම කිට්ටුවෙන් යයි කියලා හිතන Galaxy S21 Ultra තමයි ඇන්ඩ්‍රොයිඩ් කෑම්ප් එකෙන් එන්න ඉන්න චැම්පියන්. සයිස් එකෙන් එහෙමටම ලොකු වෙනසක් නැති වුණත්, Galaxy S21 Ultra එක ඇපල් අලුත් සාමාජිකයෝ දෙන්නටම වඩා ටිකක් මහතින් වැඩියි වගේ. හැබැයි පේන විදියට ස්ක්‍රීන් කොලිටි එකත් ඇපල් සඟයෝ දෙන්නට වඩා ඉහළයි වගේ. හැබැයි ඇපල් Super Retina XDR ස්ක්‍රීන් එකට වඩා Infinity-O Dynamic AMOLED ස්ක්‍රීන් එක කොලිටියෙන් වැඩියිද කියන එක පොඩ්ඩක් බලන්න ඕන දෙයක්. කොහොමත් Galaxy S21 Ultra එකේ බැටරි ලයිෆ් එකත් සෑහෙන්න උඩින් තියෙනවා. 5,000 mAh!Galaxy S21 Ultra එක කැමරා සෙන්සර් හතරක සිස්ටම් එකකින් සමන්විතයි. Qualcomm Snapdragon 888 චිප් සෙට් එකත් එක්ක අති විශිෂ්ට බලයක් ලබාගන්නත් Galaxy S21 Ultra හිතාගෙන ඉන්නවා.

 

2. OnePlus 9 Pro

චයිනීස් ස්මාට්ෆෝන් බ්‍රෑන්ඩ්ස් අඩු කුලේ කියලා හිතාගෙන හිටියේ ඉස්සර. දැන් OnePlus එහෙම සැලකෙන්නේ චයිනීස් බ්‍රෑන්ඩ්ස් අතරේ රදළ කුලේ කියලා තමයි. කොහොමත් OnePlus කට්ටිය ගහන්නේ හයි-එන්ඩ් ස්මාට්ෆෝන් කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඉතින් OnePlus 9 Pro එකත් තව සෑහෙන්න ෆීචර්ස් පැක් කරගෙන එන්නේ කියලා අපිට දැනටම අනුමාන කරන්න පුළුවන්. හැබැයි රුපියල් වලින් ලක්ෂ දෙකකට, දෙකහමාරකට වැඩි වෙන්නෙත් නෑ කියලා අනුමාන කරන්නත් පුළුවන්. සයිස් එකෙන් ඇපල් iPhone 13 Pro Max එකට වඩා පොඩි වෙනසක් විතරක් තියෙන OnePlus 9 Pro එකේ ඩිස්ප්ලේ එක විදියට එන්නේ LTPO Fluid AMOLED එකක්. කැමරා හතරක සෙටප් එකක් එක්ක එන OnePlus 9 Pro එකෙත් තියෙන්නේ Qualcomm Snapdragon 888 චිප් සෙට් එක. එතකොට ෆෝන් එකේ ජවය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ!

 

3. Galaxy S21

ඇත්තටම Galaxy S21 කියන්නේ, අපි කතා කරමින් ඉන්න අලුත් ඇපල් සගයන් දෙන්නට කෙලින්ම ගේමට වරෙන් කියන්න ගැළපෙන ස්මාට්ෆෝන් තරගකාරයෙක් නෙවෙයි. හැබැයි iPhone 13 එකට නම් ගේම කෝල් කරන්න නම් බය නැතුව Galaxy S21 බස්සන්න පුළුවන්. මිල ගණන් අතින් බැලුවොත්, එහෙම දැනෙන තරම් වෙනසක් වෙන්නෙ නෑ. හැබැයි ඇපල් iPhone 13 Pro සහ iPhone 13 Pro Max දෙකට වඩා නං Galaxy S21 සෑහෙන්න ලාබයි. සයිස් එකත් ලොකු වෙනසක් නැහැ. මේ Galaxy S21 ස්මාට්ෆෝන් එකටත් එන්නේ Infinity-O Dynamic AMOLED ඩිස්ප්ලේ එක. චිප් සෙට් එකත් Qualcomm Snapdragon 888 තමයි. සම්පූර්ණ හැකියාවන් අතින් බලනකොට, සාපේක්ෂව දරන්න පුළුවන් මිලට හොඳ ස්මාට්ෆෝන් එකක් කියලා Galaxy S21 ගන්න පුළුවන්. iPhone 13 අමතක කරලා දාලා!

 

4. Samsung Galaxy Z Fold 3

ඇපල් කට්ටියගේ iPhone 13 Pro Max එක මොන තරම් වැඩ කිඩ තිබුණත්, ඒක නවන්න පුළුවන් ෆෝන් එකක් නෙවෙයිනෙ බ්‍රෝ? ආන්න එහෙම කියන අයගේ චැම්පියන් තමයි Samsung ඊයෙ පෙරේදා එනවුන්ස් කරපු Galaxy Z Fold 3 ස්මාට්ෆෝන් එක. ඔවු, තුන්වෙනි පරම්පරාවේ නවන්න පුළුවන් ස්මාට්ෆෝන් එකක්. මේකට පුළුවන් අඟල් 7.6 ක, දිග ඇරියහම කිසිම එහා මෙහා වීමක් නැති, නවන්න පුළුවන් Foldable Dynamic AMOLED 2X ඩිස්ප්ලේ එකක් ලබාදෙන්න. ඒ Infinity Flex ඩිස්ප්ලේ තාක්ෂණය එක්ක. Qualcomm Snapdragon 888 5G චිප් සෙට් එකත් එක්ක මේ ස්මාට්ෆෝන් එකට පවර්හවුස් එකක ජවයක් ලබාදෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. මේකේ හැකියාවන් ගත්තහමත්, බය නැතුව iPhone 13 සීරීස් එකට චැලේන්ජ් කරන්න පුළුවන්!

 

5. Xiaomi Mi 11 Ultra

මේ අවුරුද්දේ මුල හරියේ රිලීස් වුණු Xiaomi Mi 11 Ultra එකට පුළුවන් වෙයිද ඇපල් iPhone 13 සීරීස් එකත් එක්ක තරගයක් දෙන්න? ඔය ඇපල් ෆෑන්ස්ලා වැටිලා ඉන්න යම් යම් කාරණා අමතක කරන්න පුළුවන් නම්, උත්තරේ ඔව්. ඇයි අපි එහෙම කියන්නේ? AMOLED ඩිස්ප්ලේ එකක් තියෙන මේ Xiaomi Mi 11 Ultra එකේ ඩිස්ප්ලේ එක නරක නෑ. බලය ගැන හිතුවොත්, Qualcomm Snapdragon 888 5G චිප් සෙට් එකකින් සහ තව හොඳ හාඩ්වෙයාර් සෙට් එකකින්, Xiaomi Mi 11 Ultra එකට පුළුවන් iPhone 13 සීරීස් එකට චැලේන්ජ් කරන්න. එතකොට මේකේ කැමරා සිස්ටම් එක කැමරා සෙන්සර්ස් තුනකින්, 120X සූම් හැකියාවක් එක්ක එන සුපිරි ලෙවල් එකේ සිස්ටම් එකක්. එතකොට බැටරියත් 5000 mAh බලයක් එක්ක හොඳ බැටරි කාලයක් ලබාදෙනවා කියලා සහතික වෙන්න පුළුවන්!

 

6. Vivo X70 Pro+

Vivo බ්‍රෑන්ඩ් එකත් චයිනීස්. ඇත්තටම OnePlus සහ OPPO ෆෝන්ස් හදන සමාගම් දෙකේ සහෝදර සමාගමක් වෙන Vivo එක, මේ බ්‍රෑන්ඩ් තුනෙන් ලෝ-එන්ඩ් කියලා තමයි මෙච්චර කාලයක් තිබුණු අදහස වුණේ. හැබැයි දැන් වෙනකොට Vivo එකත් ඉහළ මිල ගණන් වලට අලෙවි වෙන, සුපිරි ස්පෙක්ස් තියෙන ස්මාට්ෆෝන් ලයින්ස් හඳුන්වලා දෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඒකට හොඳ උදාහරණයක් තමයි vivo X70 Pro+ කියන්නේ. මේකත් ඉස්සරහට එන්න නියමිතයි. දැන් මේ vivo X70 Pro+ ෆෝන් එක ගත්තහම, වර්ණ බිලියනයක් තියෙන LTPO AMOLED ඩිස්ප්ලේ එකක් මේකේ තියෙනවා. එතකොට Qualcomm Snapdragon 888+ 5G චිප් සෙට් එක එක්ක, බලවත් හාඩ්වෙයාර් ටිකක් මේකේ තියෙනවා.  කැමරා මොඩියුල්ස් 4 ක සිස්ටම් එකක් එක්ක හොඳ කැමරා ආත්දැකීමක් ලබාදෙන්න මේ ස්මාට්ෆෝන් එක සමත්. එතකොට  4500 mAh බැටරි එකක් තියෙනවා. මේක iPhone 13 එකට චැලේන්ජ් එකක්ද එතකොට? අනිවාර්යයෙන්ම ඔව්!

 

7. Google Pixel 6 Pro

ඇපල් ප්‍රොඩක්ට්ස් වලට හොඳ තරගයක් දෙන්න ගූග්ල් කට්ටියට හැකියාව තියෙනවා කියන එක අපි අත්දැකීමෙන් දැකලා තියෙනවනේ. ඉතින් ඇපල් iPhone 13 සීරීස් එක දණගස්වන්න පුළුවන් වෙයි කියලා ගූගල් ලෝලීන් විශ්වාස කරන අද්භූත චැම්පියන් කෙනෙක් තමයි Google Pixel 6 Pro කියන්නේ. ඇත්තටම මේ ස්මාට්ෆෝන් එක තාම එනවුන්ස් කරලවත් නෑ. හැබැයි ටෙක් ඕපදූප වලින්, Google Pixel 6 Pro කියන්නේ මොන වගේ පවර්හවුස් ස්මාට්ෆෝන් එකක්ද කියන එක ගැන යම් අදහසක් ලබාගන්න පුළුවන්. අහන්න ලැබෙන විදියට AMOLED ඩිස්ප්ලේ එකක්, Google Tensor (5 nm) චිප් සෙට් එකක් සහ තවත් ප්‍රබල හාඩ්වෙයාර් සෙට් එකක් එක්ක තමයි මේ Google Pixel 6 Pro එක එන්න නියමිතව තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, තාමත් රිලීස් වුණේ වත් නැති Android 12 මෙහෙයුම් පද්ධතියෙන් මේ Google Pixel 6 Pro එක බලගැන්වෙනු ඇති කියලා තමයි අහන්න ලැබෙන්නේ. කැමරා මොඩියුල් තුනක සිස්ටම් එකක්, 5000 mAh බැටරියක සහ තවත් සෑහෙන්න විශේෂාංග එක්ක, Google Pixel 6 Pro කියන්නේ iPhone 13 සීරීස් එකට චැලේන්ජ් එකක් වෙයි කියලා අපිට හිතන්න පුළුවන්!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *