මිනිසාට නැති අරුම පුදුම සංවේදන තියෙන සතුන්

මිනිසා කියන්නේ මොළයෙන් ලොකුම සතා. ඒත් මිනිසාට ස්වාභාවිකම පිහිටලා තියෙන සංවේදන අඩුයි. මිනිසාට ද්වාර පහක් ඔස්සේ සංවේදන දැනගන්න පුළුවන් බව මීට අවුරුදු තුන්දාහකට එහා හිටපු ඇරිස්ටෝටල් කිව්වා. ඒත් මිනිසාට වඩා තවත් වැදගත් සංවේදන තියෙන සතුන් ඉන්නවා. අපි එවන් සතුන් කිහිප දෙනෙක් ගැන බලමු.

 

1. තාරා හොට ප්ලැටිපසා

ප්ලැටිපසා කියන්නේ ටිකක් වෙනස් සතෙක්. කිරිබී වැඩෙන සතුන්ගෙන් බිත්තර දාන එකම සතා වෙන්නෙත් ප්ලැටිපසා. මෙයාල තාරා හොටෙන් කූඹින් එකතු කරලා ආහාරයට ගන්නවා. මෙයාලට මෙයාලගේ විලෝපිකයින්, ඒ කියන්නේ විරුද්ධ සතුන් හඳුනාගන්න පුදුම ජාතියේ සෙන්සර් සෙට් එකක් තියෙනවා. විදුලි බල සංඥාවක් නිකුත් කරලා ඒ හරහා ඒ විලෝපිකයින් සිටින දිශාව, උන්ට තියෙන දුර ආදිය හඳුනාගන්නට ප්ලැටිපසාට පුළුවන්. වගුරුබිම් වල සහ ජලයේ ජීවත් වෙන මේ ප්ලැටිපසාගේ මේ හැකියාව ඌට ඉතා ගැඹුරු ජලයේදි වුණත් පාවිච්චි කරන්නට පුළුවන්.

 

2. වවුලා

වවුලෝ ජනප්‍රිය මාතෘකාවක් වුණා කොරෝනා නිසා. කොරෝනා වෛරස ගණනාවක් සක්‍රීයව තියෙන වවුලාත් පුදුම සතෙක්. රෑට ගමන් කැමති වවුලා ඉකෝ ලොකේශන්, එහෙම නැතිනම් කිරණ ආධාරයෙන් ඒවා නිකුත් කරලා ඊට පස්සේ නැවත ලැබෙන්න යන කාලය හරහා ඌට තියෙන බාධා හඳුනාගන්නවා. රාත්‍රියට පියාසර කරද්දි විදුලි කම්බි වල වවුලන් ඇමිණෙන්න එක ප්‍රබල හේතුවක් මේක. විදුලි කම්බි කියන්නෙ සිහින් දිග ලෝහ කූරු පසුබිමක් නිසා ඒවා වවුලාගේ රේඩාර් පද්ධතියට හසුකරගන්නට අමාරුයි. මේ ඉකෝ ලොකේශන් පාර හොයාගන්න විතරක් නෙමෙයි, කෑම හොයාගන්නත් වැදගත් වෙනවා. මේ පහසුකම රාත්‍රී කාලයේදී වඩාත් සංවේදීව ක්‍රියාත්මක වෙන බව සොයාගෙන තියනවා.

 

3. සර්පයින්

අධෝරක්ත විකිරණ සංවේදනය තියෙන සර්පයින් කිහිපයක් නේචර් සඟරාව විසින් පළකළ ලිපියකින් එළිදක්වා තිබුණා. එහි කියා තිබුණ විදිහට පොළඟුන්ට, ගැරඬින්ට සහ එවැනි සර්පයින්ට රාත්‍රියේදී තම ගොදුරු හොයාගන්න මේ අධෝරක්ත සංවේදන උපකාර වෙනවා. මෙයින් කියන විදිහට සර්පයින් අන්ධ වුණත් ඔවුන්ට ගොදුරු සොයාගන්න සහ විලෝපිකයින්ගෙන් ආරක්ෂා වෙන්න මේ අධෝරක්ත කිරණ හරහා පුළුවන් වෙනවා.

 

4. බූවල්ලා

බූවල්ලා කියන්නේ අඬු ගොඩක් තියෙන ආකර්ෂණීය සතෙක්. බූවල්ලාට හොඳ බුද්ධිමය හැකියාවකුත් තියෙනවා. පෙනීම සම්බන්ධයෙන් තියෙන විශේෂ හැකියාවක් මේ බූවල්ලට තියෙනවා. බූවල්ලාගේ ඇසට පුළුවන් ලැබෙන ආලෝකය පාලනය කරගෙන අවශ්‍ය වස්තුව හඳුනාගන්න. බූවල්ලන් වර්ග ඉතා ගැඹුරු මුහුදේත් ඉන්නවා. ගැඹුරු මුහුදේ තියෙන අඳුරු වටපිටාවේදි ඒ අඳුරු පසුබිමේදි කෑම සොයාගන්න වගේම විලෝපිකයින්ගෙන් ගැලවෙන්නත් මේ විශේෂ පෙනීම ඌට වැදගත් වෙනවා.

 

5. කැට්ෆිෂ්

මාළු ඇතිකරන අය දන්නවා කැට්ෆිෂ් ගැන. බොහොම සක්‍රීය මාළු ජාතියක් වෙන කැට්ෆිෂ් ටැංකියකවත් එක තැනක ඉන්නේ නැහැ. මේ කැට්ෆිෂ්ලට එක්ලක්ෂ හැත්තෑපන්දහසක තරම් රස සංවේදනා තියෙනවා. සාමාන්‍ය මිනිහාට තියෙන දසදහසක් පමණ වෙන සංවේදනා එක්ක බැලුවාම ඒ වගේ 17 ගුණයක විතර රස සංවේදන හැකියාවක් කැට්ෆිෂ්ලට තියෙනවා. මිනිහාගේ වගේ කටේ, දිවේ උගුරේ විතරක් නෙමෙයි, කැට් ෆිෂ්ගේ මුළු සිරුරේම රස සංවේදන ස්ථාන තියෙනවා. මේ හරහා කැට්ෆිෂ්ට වතුරේදි ඒ ආසන්නයේ තිබෙන තත්ත්ව වෙනසක් ඉතා ඉක්මනින් හඳුනාගන්නට පුළුවන් වෙනවා.

 

6. අප්‍රිකානු අලි

අලින්ට සන්නිවේදන කාර්යයන්ට කම්පන හඳුනාගන්නට හැකියාව තිබෙන බව සොයාගෙන තියෙනවා. ඒක අලි අලි අතර සන්නිවේදන කටයුතු වලටත් පාවිච්චි වෙනවා. මේ කියන විදිහට අප්‍රිකානු අලින්ට විශේෂ වූ ගඳ සුවඳ හඳුනාගැනීමේ හැකියාවක් තියෙනවා. ගඳ සුවඳ සෙන්සර හාරසීයක් විතර තමයි අපිට තියෙන්නේ. බල්ලන්ට සෙන්සර දාහක් විතර තියෙනවා. ඒත් අප්‍රිකානු අලින්ට සෙන්සර දෙදාහක් විතර තියෙනවා.

 

7. මී මැස්සා

මිමැස්සන්ට ගුමු ගුමු ගගා ගිහින් රොන් අරගෙන ඇවිත් මී වද හදන සංකීර්ණ ක්‍රියාවලියට හොඳ සංවිධාන ශක්තියක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මී මැස්සන්ට පෘථිවියේ චුම්භක ක්ෂේත්‍ර ගැන හොඳ සංවේදනයක් තියෙනවා. ඒ හරහා දැඩි සුලි සුලං, වැසි ආදී කාලගුණ විපර්යාස කලින් හඳුනාගන්න මී මැස්සන්ට පුළුවන්. ඒ වගේම කලින් දවසක ගිය මාර්ගයක් ඔස්සේම ගිහින් ලේසියෙන් මල් පැණි සොයා ගන්නත් මේ දිශාව හඳුනාගැනීමේ හැකියාව මී මැස්සන්ට වැදගත් වෙනවා.

 

මිනිසාට නැති හැකියාවන් යාන්ත්‍රික ක්‍රම හරහා නැවත ඇතිකරගන්න මිනිස්සුන්ට හැකි වෙලා තියෙනවා. ඒත් ඇතැම් සතුන්ට ඒ මිනිසුන්ගේ තාක්ෂණික කෘත්‍රිම සංවේදක බාධාවක් වෙනවා. උදාහරණ විදිහට නැව්, බෝට්ටු වලට ගමනට උදව් වෙන සෝනාර් පහසුකම ඩොල්ෆින්, මෝරුන් වැනි සතුන්ට නැවිගේෂන් හැකියාව අඩු කරනවා. ඉතින් අපිට සතුන්ගේ තියෙන සංවේදන හඳුනාගෙන ඔවුන්ට බාධා අඩුවෙන විදිහට වැඩ කරන්න පුළුවන් නම් වටිනවා.