මොබයිල් ෆෝන් එකෙන් ජනමාධ්‍යකරණයේ යෙදෙන්න කැමතිද? මෙන්න ඒකට ගැලපෙන ඇප්ස් කීපයක්!

ඇත්තටම ජනමාධ්‍යවේදියෙක් කියන්නේ කවුද? සරලවම කියන්න පුළුවන්, යම් යම් දේවල් ගැන තොරතුරු එකතු කරලා, ඒවා ප්‍රවෘත්තිමය වටිනාකමක් තියෙන විදියට ඉදිරිපත් කරන කෙනෙක් කියලා. ඒ තොරතුරු ඉදිරිපත් කරන්නේ ආටිකල් විදියට, ෆොටෝස් විදියට, ග්‍රැෆික් විදියට, ඕඩියෝ විදියට නැතිනම් ඕඩියෝ විෂුවල් විදියට වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඕනම කෙනෙක්ට උදේ නැගිටලා ජනමාධ්‍යවේදියෙක් වෙන්න බෑ. ඒකට හොඳ පුහුණුවක් අවශ්‍යයි. ලියන්න කියන්න හැකියාව තිබ්බට ජර්නලිස්ට් කෙනෙක් වෙන්නත් බෑ. තොරතුරු හොයාගන්න, ඒවා විශ්ලේෂණය කරන්න, තොරතුරු ගැන රිසර්ච් කරන්න දැනුම තියෙන්න ඕන. මාධ්‍ය ආචාර ධර්ම ගැන දැනුම තියෙන්න ඕන. අන්න ඒ හැමදෙයක්ම තියෙනවා නම්, කෙනෙක්ට ජර්නලිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්. එක්කෝ රස්සාව විදියට ඒක තෝරගන්න පුළුවන්. එහෙම නැතිනම් පුරවැසි මාධ්‍යවේදියෙක්, ඒ කියන්නේ තමන්ට පුරවැසියෙක් විදියට රස්සාවක් කියලා හිතන්නේ නැතුව ජනමාධ්‍යවේදය ඉටු කරන්න පුළුවන්.

දැන් ඉස්සර අපි දන්නේ පත්තර ඔෆිස් එකක හරි, ටීවී හරි රේඩියෝ හරි ඔෆිස් එකක හරි ඉඳන් ප්‍රවෘත්ති ලබාදෙන විදියේ ජනමාධ්‍යවේදයක් ගැනනේ. ඇත්තටම දැන් එනකොට ඒ තත්ත්වය එතනින් එහාට ගිහින් තියෙනවා. මොබයිල් ජර්නලිස්ම් නැතිනම් MoJo නැතිනම් මොබයිල් ජනමාධ්‍යකරණය සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ ස්මාට්ෆෝන් එකෙන් සම්පූර්ණයෙන්ම නිව්ස් සයිට් එකක් වුණත් රන් කරන්න හැකියාව තියෙනවා. ඒකට විවිධාකාරයේ ඇප්ස් දැන් තියෙනවා. ඉතින් අපි හිතුවා, මොබයිල් ජර්නලිස්ට් කෙනෙක්ට වටින ඒ විදියේ ඇප්ස් කීපයක් ගැන හොයලා බලන්න.

 

1. FiLMiC Pro

සාමාන්‍යයෙන් අපි ස්මාට්ෆෝන් එකේ කැමරාවෙන් ෆොටෝස් ගත්තට, ප්‍රොෆෙෂනල් කොලිටි එකේ වැඩකට ස්මාට්ෆෝන් කැමරාවෙන් වීඩියෝ කරනවා අඩුයිනේ. ඒකට එක හේතුවක් වෙන්නේ, ස්මාට්ෆෝන් එකේ එන වීඩියෝ කැමරා ඇප් එකේ තියෙන ෆීචර්ස් වල අඩුපාඩු කම් වෙන්න පුළුවන්. කොහොම වුණත්, අන්න ඒ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ ඇප් එකක් තමයි FiLMiC Pro කියන්නේ. සල්ලි දීලා ගන්න ඕන ඇප් එකක්. රුපියල් 2,900 ක් විතර වෙන්නේ. හැබැයි මොබයිල් ජර්නලිස්ට් කෙනෙක්ට තමන්ගේ වීඩියෝ අවශ්‍යතා සුපිරි ලෙවල් එකකින් ගොඩදාගන්න පුළුවන් මේ ඇප් එකෙන්. හොඳ කැමරාවක් තියෙන ෆෝන් එකක් නම්, මේ ඇප් එක පාවිච්චි කරලා ආයෙ සිනමා මට්ටමේ වැඩ වුණත් කරන්න පුළුවන්. විශේෂයෙන්ම සිනමාරූපකරණය සඳහා අවශ්‍ය වෙන Zebras, Clipping, False Color, Focus Peaking වගේ දේවල්, මේ ඇප් එකෙන් මැනුවල් කරගන්න පුළුවන්. තව දහසකුත් එකක් ඇඩ්වාන්ස් වැඩ කෑලි තියෙනවා. හැබැයි ඉතින් ආධුනිකයෙක්ට නම් පොඩ්ඩක් මේ FiLMiC Pro ඇප් එක පාවිච්චි කරන හැටි ඉගෙන ගන්න සිද්ධ වෙනවා.

 

2. UpWord

මොබයිල් ජර්නලිස්ම් වල යෙදෙන කෙනෙක්ට යම් යම් විදියේ සටහන් තබාගන්න අවශ්‍යතාවයන් නිරන්තරයෙන්ම ඇති වෙනවා. එතකොට පාවිච්චි කරන්න පුළුවන් Google Keep, Evernote වගේ ඇප්ස් තියෙනවා ඕන තරම්. හැබැයි ඔය ඉන්ටර්වීව් එකකදී හරි වෙනත් අවස්ථාවකදී හරි සටහන් තියාගන්නකොට අවශ්‍ය වෙන්නේ සංකීර්ණ හැකියාවන් තියෙන නෝට්පෑඩ් එකක් නෙවෙයි. ඒ වෙනුවට සරල නෝට් ඇප් එකක් තමයි අවශ්‍ය වෙන්නේ. ආන්න ඒ අවශ්‍යතාවය UpWord ඇප් එකෙන් ගාණට ඉෂ්ට වෙනවා. මේක භාවිතය උපරිම සරලයි. පියවරකින් දෙකකින් නෝට්ස් ගන්න, නෝට්ස් සේව් කරන්න පුළුවන්. අවශ්‍ය නම් ෆෝන් එකේ තියෙන dictation tool වලින් මේ නෝට්පෑඩ් එකේ තියෙන නෝට්ස් කියවන විට ලියාගන්න පුළුවන්. සරල එඩිටින් එහෙමත් මේ ඇප් එක ඇතුළෙම කරන්න පුළුවන්.

 

3. Rev Voice Recorder & Memos

මොබයිල් ජර්නලිස්ට් කෙනෙක්ට ෆීල්ඩ් එකට ගියාට පස්සේ විවිධ පුද්ගලයන්ගෙන් වොයිස් කට් ගන්න සිද්ධ වෙනවා. එතකොට ඉන්ටර්වීව් රෙකෝඩ් කරගන්න වෙනවා. ෆෝන් කෝල් වලදී පවා, අවශ්‍ය තොරතුරු හෝ අදහස් විමසීම් රෙකෝඩ් කරගන්න වෙනවා. මෙන්න මේ වැඩේට අවශ්‍යයි හොඳ වොයිස් රෙකෝඩර් ඇප් එකක්. සාමාන්‍යයෙන් ඕනම ස්මාට්ෆෝන් එකක වොයිස් රෙකෝඩර් ඇප්ස් තියෙනවා. හැබැයි ඒ සරල ඇප් එකකට වඩා, ටිකක් සංකීර්ණ වැඩ කටයුතු කරගන්න පුළුවන් රෙකෝඩර් ඇප් එකක අවශ්‍යතාවය අනිවාර්යයෙන්ම මොබයිල් ජර්නලිස්ට් කෙනෙක්ට එනවා. අන්න එතනදී තමයි Rev Voice Recorder & Memos ඇප් එක වැදගත් වෙන්නේ. මේකෙන් පැහැදිලිව, හොඳ කොලිටියකින් වොයිස් රෙකෝඩ් කරන්න පුළුවන් වගේම, ඒ රෙකෝඩින් වල ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක් -ඒ කියන්නේ කියපු දේවල් ටෙක්ස්ට් විදියට- ලබාගන්නත් පුළුවන්. භාවිතයත් පහසුයි. රෙකෝඩින්ග්ස් සේව් කරලා කළමනාකරණය කිරීමත් පහසුයි.

 

4. Adobe Lightroom

දැන් කාලේ ඕනම කෙනෙක්ට ලස්සන නැති ඔහේ ගත්තු ෆොටෝ එකක් වුණත්, එඩිට් කරලා, ෆිල්ටර්ස් දාලා ලස්සනට හදාගන්න පුළුවන්. හැබැයි මොබයිල් ජර්නලිස්ම් වලදී එහෙම ෆොටෝ එකක් දැඩිව එඩිට් කරලා ෆිල්‍ටර්ස් දාලා වෙනස් කරන එක එතිකල් නැහැ. ඒක ආචාර ධාර්මික මාධ්‍යකරණයට විරුද්ධයි. අන්න ඒ නිසා, මොබයිල් ජර්නලිස්ට් කෙනෙක්ට අවශ්‍ය වෙන්නේ, හොඳ ප්‍රබල හැකියාවන් තියෙන, මැනුවල් කොන්ට්‍රෝල්ස් තියෙන කැමරා ඇප් එකක්. Adobe Lightroom එකෙන් ආන්න ඒ අවශ්‍යතාවය ඉතාම හොඳින් පිරිමහා ගන්න පුළුවන්. Adobe Lightroom ඇප් එකේ තමන්ට අවශ්‍ය විදියට ඔටෝමැටික් කැමරා මෝඩ් එකෙන් ෆොටෝ ගන්න වුණත්, ඇඩ්වාන්ස් හැකියාවන් සහිත මැනුවල් මෝඩ් එකෙන් ෆොටෝ ගන්න වුණත් පුළුවන්. ඒ වගේම, අවශ්‍ය සංස්කරණ කටයුතුත් ඇප් එක ඔස්සේම කරගන්න පුළුවන්.

 

5. Audio Evolution Mobile Studio

මොබයිල් ජර්නලිස්ට් කෙනෙක්ට හොඳ ඕඩියෝ එඩිටින්ග් ඇප් එකක් තමන් සතුව තිබීමත් අත්‍යාවශ්‍ය කාරණයක්. ආන්න ඒ කාරණයට හොඳම විසඳුමක් තමයි Audio Evolution Mobile Studio කියන්නේ. ඇත්තටම මේක සංගීත ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක්ට වුණත් සම්පූර්ණ ස්ටුඩියෝ එකක පහසුකම් ලබාදෙන අංග සම්පූර්ණ ඇප් එකක් කියලා කියන්න පුළුවන්. මේක නොමිලේ ලබාගන්න බැහැ. රුපියල් 1,700 ක් විතර ගෙවලා තමයි ගන්න වෙන්නේ. මේකේ මල්ටිට්‍රැක් රෙකෝඩින් වල ඉඳලා, මල්ටිට්‍රැක් එඩිටින් දක්වා සංකීර්ණ හැකියාවන් ගණනාවක් තියෙනවා. බොහොම පහසුවෙන් ඕඩියෝ හෝ MIDI ෆයිල්ස් එඩිට් කරන්නත්, ඒවලට ඉෆෙක්ට්ස් යෙදීමේ ඉඳලා විවිධ සංස්කරණ ටූල්ස් පාවිච්චි කරන්නත්, වර්චුවල් ඇනලොග් සින්තසයිසර්ස් වල ඉඳලා සාම්ප්ලින්ග් දක්වා මෙවලම් කට්ටලයකුත්, රෙකෝඩින්ග්, මික්සින් වල ඉඳලා මාස්ටරින්ග් දක්වා කටයුතු සඳහා පූර්ණ හැකියාවන් ඇතුළු තව විශේෂාංග ගණනාවක් මේ ඇප් එකේ තියෙනවා. ඊට වැඩියෙන් මේ ගැන තව කියන්න අවශ්‍යද?

 

6. KineMaster

මේක ඇන්ඩ්‍රොයිඩ් සඳහා වගේම අයිඕඑස් සඳහාත් ලබාගන්න තියෙන ඉතාම ඇඩ්වාන්ස් මට්ටමේ මල්ටි ට්‍රැක් වීඩියෝ එඩිටින් ඇප් එකක් කියලා කීම නිවැරදියි. ඕඩියෝ එඩිටින්, වීඩියෝ එඩිටින්, ඉෆෙක්ට්ස්, කැප්ෂන් දැමීම්, ටයිට්ල්ස් සහ ලෝගෝ එකතු කිරීම, ඉෆෙක්ට්ස් වගේ හැමදෙයක්ම කරන්න පුළුවන් ටූල්ස්  KineMaster ඇප් එකේ තියෙනවා. කොටින්ම කියනවා නම්, ප්‍රොෆෙෂනල් වීඩියෝ එඩිටින් සූට් එකකින් බලාපොරොත්තු වෙන්න පුළුවන් හැම දෙයක්ම KineMaster ලබාදෙනවා. එතනින් ගියහම 25fps සහ 30fps කොලිටියෙන් එහෙම නිර්මාණය කරපු වීඩියෝස් එක්ස්පෝට් කරන්නත් මේකෙන් ඉඩ ලබාදෙනවා. හැබැයි මේකෙන් නිර්මාණය කරන වීඩියෝස් වල වෝටර්මාක් එක අයින් කරන්න නම් සබ්ස්ක්‍රිප්ෂන් එකක් ගෙවලා ගන්න වෙනවා. ඒත් පාඩුවක් නෑ. මොබයිල් වීඩියෝ ජර්නලිස්ට් කෙනෙක්ට අතේ තියෙන්නම ඕන ඇප් එකක් විදියට KineMaster හඳුන්වන්න පුළුවන්.

 

7. Unfold

මොබයිල් ජර්නලිස්ට්ලාට ස්ටෝරි මේකින් ඇප් එකක් අතේ තියෙන එකත් ගොඩක් වෙලාවට වටිනවා. විශේෂයෙන්ම ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ තමන්ගේ අන්තර්ගතයන් ඉදිරිපත් කරන ෆොටෝ ජර්නලිස්ට්ස්ලාට, තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් ස්ටෝරීස් බොහොම ආකර්ෂණීය විදියට ඉදිරිපත් කරන්න සහාය සපයන ඇප් එකක් තමයි Unfold කියන්නේ. මේකේ තියෙන ටෙම්ප්ලේට්ස් 400 කට වැඩි ගණනක් අතුරින් එකක් පාවිච්චි කරලා, තමන්ට අවශ්‍ය විදියේ ඉන්ස්ටග්‍රෑම් ස්ටෝරීස් නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම, ඒ වලට අපිට අවශ්‍ය ලින්ක්ස් සහ සෝෂල් ප්‍රොෆයිල්ස් එහෙම ඇතුළත් කරන්නත් පුළුවන්. එතනින් පස්සේ අපේ නිර්මාණයන් ඉන්ස්ටග්‍රෑම් එකේ හෝ ස්නැප්චැට් එකේ හෝ වට්ස්ඇප් එකේ හෝ ෆේස්බුක් එකේ හෝ ටික් ටොක් එකේ ෂෙයාර් කරන්නත් මේ ඇප් එක හරහාම පුළුවන්. හරිම පහසුයි.

 

8. Canva

Canva කියන්නේ අපි බොහෝ වෙලාවට කතා කරලා තියෙන, අපේ ප්‍රියතම ඩිසයින් ඇප් එකක්නේ. ඇත්තටම Canva ඔස්සේ දැන් ග්‍රැෆික් ඩිසයින්, ප්‍රසන්ටේෂන් වලට අමතරව, ලෝගෝස් නිර්මාණය කරන්න, වීඩියෝස් නිර්මාණය කරන්න, සෝෂල් මීඩියා සඳහා අවශ්‍ය විවිධ ෆ්ලයර්ස් සහ පෝස්ට් ඇතුළු හැම දෙයක්ම නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම මේ ඕනම දේකට Canva ඇතුළේ තියෙන ටෙම්ප්ලේට්ස් පාවිච්චි කරන්නත් පුළුවන් නිසා, වැඩේ තවත් ලේසියෙන්, ආකර්ෂණීය විදියට නිමා කරගන්න පුළුවන්. හොඳම කාරණාව වෙන්නේ, දැන් Canva ඇන්ඩ්‍රොයිඩ් ස්මාට්ෆෝන් සඳහාත් ලබාගන්න පුළුවන් වීම. අන්න ඒ නිසා, මොබයිල් ජර්නලිස්ට් කෙනෙක්ට අවශ්‍ය ග්‍රැෆික් ඩිසයින් හැම එකක්ම Canva ඔස්සේ කරගන්න පුළුවන්!

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *