හරි විදියට ගෙදර ඉඳන් ඔෆිස් වැඩ කරන්න නම්, මේ ටිප්ස් අනුගමනය කරන්න!

ඉස්සර නම් වර්ක් ෆ්‍රොම් හෝම් කියන්නේ ගොඩක් දෙනෙක් ගණන් ගත්තු කන්සෙප්ට් එකක් නෙවෙයි. ගොඩක් වෙලාවට ෆ්‍රී ලාන්සර්ස්ලා, වෙනත් රටවල් එක්ක වැඩ කරන අය, වඩාත් නිදහස් වෘත්තීන්ගේ නියැළෙන අය තමයි මේ ගෙදර ඉඳන් වැඩ කිරීම, නැතිනම් වර්ක් ෆ්‍රොම් හෝම් සංකල්පය එක්ක සෑහෙන්න අනුගත වෙලා හිටියේ. හැබැයි ඉතින් “වර්ක් ෆ්‍රොම් හෝම් කියන්නේ ඇත්තටම රස්සාවක් කියලා ගණන් ගන්න බෑ” වගේ සංකල්පයක් තමයි මිනිස්සුන්ගේ ඔළුවේ තිබුණේ.

හැබැයි දැන් තත්ත්වය වෙනස්. මේ කොරෝනා කාලේ නිසා වර්ක් ෆ්‍රොම් හෝම් කියන එක සාමාන්‍යකරණය වෙලා. වෙනදා අට නවය වෙනකොට ඔෆිස් දුවපු, පහ වෙනකොට වැඩ ඉවර කරල ගෙදර දුවපු රාජ්‍ය සේවකයෝ පවා වර්ක් ෆ්‍රොම් හෝම් නැතිනම් ගෙදර ඉඳන් වැඩ කිරිල්ලට හුරු වෙලා තියෙනවා. ඒක හොඳ ප්‍රවණතාවයක්. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. අනික් හැමදේකටම වගේ වර්ක් ෆ්‍රොම් හෝම් කෙරුවාවත් හරියට, ලස්සනට කරන්න අවශ්‍ය වෙන ආචාර ධර්ම එහෙම තියෙනවා. ඒ කියන්නේ හොඳ පුරුදු. ඉතින් දිගටම වර්ක් ෆ්‍රොම් හෝම් කරන්න හිතනවා නම්, මේ උපදෙස් ඔළුවේ තියාගෙන ඉන්න එක පාඩුවක් නෙවෙයි.

 

1. ඔෆීෂියල් විදියට ඔෆිස් වැඩ

ඔෆිස් වැඩ ඔෆීෂියල් විදියට නැතිනං අන්ඔෆීෂියල් විදියටද කරන්නේ? ඇත්තටම වර්කින් ෆ්‍රොම් හෝම් කරන සමහරු වැඩ කරන්නේ අන්ප්‍රොෆෙෂනල් විදියට සමහර වෙලාවට. උදාහරණයක් ගමු. දැන් ඔෆිස් එකේ ඉඳන් වැඩ කරනකොට, අපිට හිතුණු ගමන් නැගිටලා කඩේට ගිහින් පැයක් ඉඳලා එන්නෙ නැහැනේ. එහෙමනම්, ගෙදර ඉඳන් වැඩ කරනකොට, හිතුණු ගමන් ටවුමට ගිහින් ඉඳලා එන එක හරිද? කොහෙත්ම නෑ. ඇත්තටම ගෙදර ඉඳන් වැඩ කරනකොටත් තමන්ගේ වැඩ කරන පැය ගාණ ඇතුළතදී කොහේ හරි යන්න ඕන නම්, ඒක තමන්ගේ ටීම් එකේ අනික් අයට දන්නලා, තමන් එළියට ගිහින් එන්න ගත වෙන වෙලාවත් දන්නලා තමයි යන්න ඕන. ඒ වගේම, ඒ වෙලාවේ තමන් එළියට ගියා කියලා වැඩකටයුතු අතපහු වෙන්න, මීටින්ග් මිස් වෙන්නත් බෑ. අන්න ඒ හැමදෙයක්ම ගැන හිතලා තමයි එළියට යන්න ඕන.

තව දෙයක්, හරි විදිය තමයි තමන් පැයක් හෝ දෙකක් ඒ වගේ පුද්ගලික කාරණාවක් වෙනුවෙන් ගන්නවා නම්, ඒ කාලය වැඩියෙන් වැඩ කරලා කවර් කරන්නත් ඕන. අන්න ඒක තමයි නියම ප්‍රොෆෙෂනල් වීම කියන්නේ!

 

 

2. ලෙෂර් මැසේජස් එපා

මේකත් ගොඩක් වෙලාවට ගෙදර ඉඳන් වැඩ කරනකොට ඇතිවෙන්න පුළුවන් ප්‍රශ්නයක්. දැන් අපිට ගෙදර ඉඳන් වැඩ කරනකොට ඔෆිස් එකට අදාළ මෙසේජස්, ඊමේල්ස් එහෙම යවන්න කම්පියුටර් එක ගාවම ඉන්න ඕන කියලා නියමයක් නැහැනේ. අවශ්‍ය නම් අපිට ස්මාට්ෆෝන් එකෙන්, ඇඳේ ඉඳගෙනත් ඊමේල්ස් කියවලා රිප්ලයි කරන්න පුළුවන්. හැබැයි එතන මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපි බොහොම ලෙෂර් වයිබ් එකක ඉඳන් ඔෆිස් වැඩ කරන්න යනකොට, ඔෆිස් මේල්ස් වලට රිප්ලයි කරන්න එහෙම යනකොට අපි නොදැනුවත්වම ඒ මෙසේජ්, ඊමේල්ස් ලියවෙන්නෙත් හරි ලෙෂර් විදියට වෙන්න පුළුවන්. ඒ වගේම, අපි යවන ඊමේල්ස්, මෙසේජස් වල වැරදි තියෙන්නත් පුළුවන්. ඒවා හරියට ඩබල් චෙක් නොවෙන්නත් පුළුවන්.

 

ආන්න ඒ නිසා, ඔෆිස් ඊමේල් එකක්, ඔෆිස් මෙසේජ් එකක් එහෙම යවනවා නං, කරුණාකරලා ඔෆිස් මූඩ් එකට ඇවිත් ඒක කරන්න. ඒකට ස්මාට්ෆෝන් එක පාවිච්චි කළත්, කම්පියුටර් එක පාවිච්චි කළත්, වෙන මොකක් පාවිච්චි කළත් කමක් නෑ. ඔෆිස් මූඩ් එකෙන් කරන්න ඕන. යවන ඕනම මෙසේජ් එකක් යවන්න කලින් දෙපාරක් හෝ තුන්පාරක් චෙක් කරන්න ඕන. ඒක තමයි කොන්දේසිය!

 

3. පර්ෆෝමන්ස් වැදගත්

සමහරුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි, ගෙදර උඉඳන් වැඩ කරනකොට අර ඔෆිස් වයිබ් එක, ඒ කියන්නේ ඔෆිස් එකක ඉඳන් වැඩ කරනවාය කියන ගතිය නැති වීම. ඒ හින්දම නිකං නාකි බල්ලෝ කොළඹ යනවා වගේ වැඩ කරන ගතියක් සමහරුන්ගේ තියෙනවා. හැබැයි අපි මතක තියාගන්න ඕන කාරණාව සරලයි. ගෙදර ඉඳන් වැඩ කළත්, ඔෆිස් එකේ ඉඳන් වැඩ කළත්, ජොබ් එකේ අපේ පර්ෆෝමන්ස් අනිවාර්යයෙන්ම වැදගත්. ආන්න ඒ නිසා ගෙදර ඉඳන් වැඩ කරනවා කියලා නිකම්ම ඔහේ වැඩ කරන්නෙ නැතුව, තමන්ගේ පර්ෆෝමන්ස් ගැනත් හිතලා වැඩ කරන්න ඕන. අපි කලිනුත් ආටිකල් එකක කියපු විදියට, උදේ නවය වෙනකල් නිදාගෙන ඉඳලා සරම හරි නයිටිය හරි පිටින් වැඩට වාඩි වෙන්නෙ නැතුව, ඔෆිස් යනවා කියල හිතාගෙන වර්ක් ෆ්‍රොම් හෝම් කරන්න වුණත් වාඩි වෙන එක, තමන්ගේ පර්ෆෝමන්ස් වැටෙන්න නොදී තියාගන්න පුළුවන් එක ක්‍රමයක්!

 

4. ගෙදර දොරේ චැට්ස්

මේකත් අපි නිරන්තරයෙන්ම කියලා තියෙන දෙයක්. දැන් ගෙදරක ඉන්නකොට ඔෆිස් එකේ වගේ නෙවෙයිනේ. ලියුම් මාමා ඇවිත් බෙල් ගහනවා, මාළු මාමා ඇවිත් මාළු ගන්නවද අහනවා, අම්මා ඇවිත් තේ බොනවද අහනවා, පූසා ඇවිත් පුරුපුරු ගානවා, ප්‍රශ්න කෝටියයි. හැබැයි ඔය එකක් වත් ඔෆිස් එකේ ඉන්නවා නං සිද්ධ වෙන්නෙ නැහැනේ. අන්න ඒ නිසා, ඔය ප්‍රශ්න ගැටළු හැකිතාක් අවම කරගන්න ඕන ඔෆිස් වැඩ කරනකොට. විශේෂයෙන්ම ඔෆිස් කෝල් එකක හෝ මීටින් එකක ඉන්නකොට, ගෙදර දොරේ සිද්ධ වෙන චැට් වලින් බාධා වෙන එක හරිම අන්ප්‍රොෆෙෂනල්. ඒ නිසා, ගෙදර අයට කලින් කියලා තියන්න ඕන මේ වෙලාවේ ඉඳන් මේ වෙලාව වෙනකල් මං ඔෆිස් එකේ වැඩ, බාධා කරන්න එපා කියලා.

 

5. ඇඳේ ඉඳන් ඔෆිස් චැට්?

මෙන්න මේක වර්කින්ග් ෆ්‍රොම් හෝම් කරන සමහරුන්ට තියෙන ඉතාම නරක පුරුද්දක්. දැන් ඔෆිස් එකේ වැඩ කරනකොට පොඩි නිදිමතක් ආවත් කරන්න දෙයක් නැහැනේ. එහෙමම වැඩ කරන්න වෙනවා. ඉන්නම බැරි අවස්ථාවක් ආවොත් පොඩ්ඩක් මේසෙට ඔළුව තියාගන්න පුළුවන්. හරි, ඒකේ කිසිම ගැටළුවක් නෑ. හැබැයි ගෙදර ඉඳන් වැඩ කරනකොට? ආන්න එතකොට පොඩි නිදිමතක් ආවත් කෙලින්ම තමන්ගේ කාමරේට ගිහින් ඇඳේ වැතිරෙන්න පුළුවන්. හරි හරි, විනාඩි පහකට කියලා තමයි යන්නේ. හැබැයි මෙන්න පැයක් නිදි. ඔෆීෂියල් විදියට ඔෆිස් වැඩ කිරීම ගැන අපි උඩිනුත් කියලා තියෙන්නේ මෙන්න මේ වගේ අවස්ථාවන් මගහරවා ගන්න එක ගැන තමයි.

එතකොට තව වර්කින්ග් ෆ්‍රොම් හෝම් කරන කම්මැලි සත්තු කොටසක් ඉන්නවා. අර නින්දටම උපන් හාදයෝ ඉන්නේ, අන්න ඒ අය. ඒ ගොල්ලෝ ගෙදර ඉඳන් වැඩ කරනකොට දවසින් වැඩි හරියක් ඉන්නෙ ඇඳේ. ආයෙ මීටින් එකකට වුණත් සෙට් වෙන්නේ, ඔෆිස් කෝල් එකකට වුණත් ආන්සර් කරන්නේ ඇඳේ ඉඳන්. 

දැන් එහෙම මීටින් එකකදී හරි ඔෆිස් කෝල් එකකදී හරි අපිට සමහර වෙලාවට යම් යම් කරුණු දිහා බලලා උත්තර දෙන්න වෙනවා. හැබැයි ඒකට අදාළ දේවල් තියෙන්නේ ඇඳේ නෙවෙයි, ලැප්ටොප් එකේ. අන්න එතකොට ඒ කෝල් එක හෝ මීටින් එක ගත්ත කෙනාගේ කාලයත් අපරාදේ.

අනික් ප්‍රධාන කාරණාව මේකයි. අපි මීටින් එකකට හරි කෝල් එකකට හරි ඇඳේ ඉඳන් සම්බන්ධ වුණා කියල කාටවත් පේන්නෙ නෑ තමයි. හැබැයි අපේ වොයිස් එකෙන් දැනෙනවා අපි වාඩිවෙලා ඔෆිස් වැඩ මූඩ් එකේද ඉන්නේ, එහෙම නැතිනම් ඇඳේ වැතිරිලා කම්මැලි නිදිමත මූඩ් එකේද ඉන්නේ කියලා. ආන්න ඒක නිසා, කොයිම වෙලාවකවත් ඇඳේ නිදාගෙන ඉඳන් ඔෆිස් වැඩ කරන්න යන්න එපා. 

 

6. ඔෆිස් ස්පේස්

මේක ඉතින් අපි වර්ක් ෆ්‍රොම් හෝම් ගැන කතා කරනකොට නිරන්තරයෙන්ම කියන දෙයක්. ඒ තමයි තමන්ට නියමිත, නිශ්චිත ඔෆිස් ස්පේස් එකක් හදාගන්න කියන එක. ඒකට හේතුව මේකයි. එකක් අපිට ඔෆිස් එකේ වැඩ කරන්න අවශ්‍ය සියළුම දේ එක තැනක තිබීමෙන් අපේ පර්ෆෝමන්ස් ඉහළ යන්න දායකත්වයක් ලැබෙනවා. අනික, අපිට නිශ්චිත ඔෆිස් වටපිටාවක් තිබීමෙන්, ඔෆිස් වැඩ වලට අපේ වටපිටාවෙන් වෙන ඩිස්ටර්බ් වීම් අඩු වෙනවා. උදාහරණයක් විදියට කියනවා නම්, ඔෆිස් එකේ මීටින් එකක් තියෙන වෙලාවක, අපි මීටින් එකේ කතා කරන වෙලාවට නිතරෝම ගෙදර අම්මා උයන හට්ටි මුට්ටි එකට ගැටෙන සද්දේ ඇහෙනවා නම්, ඒක හරිම බාධාවක්. එතකොට අපේ ගෙදර සිද්ධ වෙන බාධාවන්ට ඔෆිස් එක පළි නෑ. අන්න ඒ නිසා, වෙනම ඔෆිස් රූම් එකක් ඕන නෑ, හැබැයි ගෙදර බාධාවන් අවම තැනක් තමන්ගේ ඔෆිස් ස්පේස් එක විදියට හදාගන්න.

 

7. අනික් අයගේ කාලය

දැන් අපි ගෙදර ඉඳන් වැඩ කරනකොට, අර ඔෆිස් පැය ගාණ කියන එක පොඩ්ඩක් ඔළුවෙන් අයින් වෙනවනේ. ඒකට සම්පූර්ණයෙන්ම කරන්න දෙයක් නැහැ ඉතින්. අනික, අපි ඔෆිස් එකේ වැඩක් කරනකොට ඔෆිස් යන දවසකදී වුණත්, වැඩේ ඉවර වුණා හෝ නැතා හෝ හරියට පහට නැගිටලා දුවන්න හදනවා නම්, අපි ඒ ජොබ් එක හරි උනන්දුවකින් කරනවා කියන්න අමාරුයි. හැබැයි ඉතින් පුරුද්දක් විදියට අපි උදේම පටන් ගත්තහම රෑ හත අට වෙනකල් ඔෆිස් වැඩ කරනවා කියන්නේ අන්න එතන කාල කළමනාකරණ ගැටළුවක් තියෙනවා.

 

කොහොම වුණත්, මේ කියන්නේ ගෙදර ඉඳන් වැඩ කරනකොට අනික් අයගේ කාලය පාවිච්චි කරන විදිය ගැන. ගෙදර ඉඳන් වැඩ කළා කියලා අනික් අයගේ කාලය ඔෆිස් පැය ගාණෙන් පස්සෙත් පාවිච්චි කරන එක වැරදියි. ඒ කියන්නේ තමන්ගේ වැඩක් ඇද ඇද ඉඳලා, ඒක ඊලඟ කෙනාට පාස් කරන්නේ හතරහමාරට නම්, අපි කියන්න ඕන ඒක ඊලඟ දවසේ ඉවර කරන්න කියලා. එහෙම නැතුව ගෙදර ඉඳන්නේ වැඩ කරන්නේ, ඔන්න ඔහේ ඉවර කරයි කියන මානසිකත්වය වැරදියි. එතකොට හදිසියේ හයට විතර මීටිමක් ගන්න එක? ඒවත් වැරදියි. එහෙම හදිසිම අවස්ථාවක් නම්, ඒ ගැන සමාව ඉල්ලලා, අනික් අයටත් ඒ වෙලාවට ෆ්‍රී වෙන්න පුළුවන්ද කියලා අහලා තමයි වැඩ කරන්න ඕන.

 

ගෙදර ඉඳන් වැඩ කළත්, අනික් අයගේ කාලය අපි කොහොමද ලබාගන්නේ කියන එක ගැන සවිඥාණික වෙන්න ඕන!

 

ඇත්තටම හරියට කරන්න දන්නවා නම්, ගෙදර ඉඳන් වැඩ කිරීම කියන්නේ සාපේක්ෂව ඉතාම සුවපහසුවෙන් වැඩි වැඩ කොටසක් කරන්න පුළුවන් ක්‍රමයක්. හැබැයි ඉතින් ඒක කරන ආට් එක දැනගෙන ඉන්න ඕන. ඒ නිසා තමයි අපි මේ උපදෙස් ටික දීලා තියෙන්නේ. අපි මීට කලිනුත් ගෙදර ඉඳන් වැඩ කරන එක ගැන ටිප්ස් කිහිපයක් දීලා තියෙනවා. ඒවත් කියවලාම ආවා නං හොඳයි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *