යට ඇඳුම් ගැන අමුතුම කතන්දර

යට ඇඳුම් කියන්නේ පොඩි දේවල්. ඒත් ඒකට ෆැෂන් වලදි ලොකු වටිනාකමක් ලැබෙනවා. පුරුෂයින්ට කොයි හැටි වුණත් කාන්තාවන්ට සිය යට ඇඳුම් මගින් ආකර්ෂණය වැඩි කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ යට ඇඳුම් වර්ග ගණනාවක් තියෙනවා. අපි පුරුදු පුහුණු වෙලා ඉන්නේ වර්ග කිහිපයකට වුණත් මේ එක් එක් වර්ග ගැන දැනගත්තොත් අපිට ඒවා හරහා අපේ පෙනුම ඔප්නංවාගන්නට පුළුවන්. ඉතින් මේ යට ඇඳුම් ගැන කරුණු කාරණා කිහිපයක් අපි බලමු.

 

 

1. කඩදාසි යට ඇඳුම් 

1960 – 70 කාලේ කඩදාසි වලින් හදාපු යට ඇඳුම් කාන්තාවන් අතර ජනප්‍රිය වුණා. නිතර ගමන් බිමන් වල යෙදෙන කාන්තාවන්ට යට ඇඳුම් සෝදාගැනීම ගැටළුවක් වුණා. ඒ එක්ක වරක් ඇඳලා විසික් කරන්න පුළුවන් මේ යට ඇඳුම් වඩාත් ආකර්ෂණීය වුණා. අතීතයේදි මේ යට ඇඳුම් සේදීමට විවිධ ක්‍රමවේද තිබුණා. අද වුණත් පොදු තැන්වලින් රෙදි හෝදන උදවිය බොහෝවිට යට ඇඳුම් ඒ එක්ක දාන්නේ නැහැ. ලංකාවේ එතරම් ජනප්‍රිය නැති වුණාට තවමත් අන්තර්ජාලයේ ඇමසන් ආදී අඩවිවල මේ වරක් භාවිතා කර ඉවත දැමිය හැකි කඩදාසි යට ඇඳුම් තියෙනවා.

 

 

2. ඩේවිඩ්ගේ හෙළුව වැසීම

අපේ සීගිරි බිතුසිතුවම් වල ඉන්න කාන්තාවන්ගෙන් වැඩි දෙනෙක් සිය පුන් පියයුරු නිදහසේ විදහාගෙන තමයි ඉන්නේ. කලා කෘතියක් විදිහට ලස්සන වුණාට දැන් ගැහැනු අය එහෙම ඉන්නෙ නැහැ. ඒ නිසාම සංස්කෘතිය ගැන කතාවෙන ඇතැම් අවස්ථාවල මේ සීගිරි කාන්තාවන්ට බ්‍රා අන්දවන්නද කියන එකත් ඉස්මතු වෙනවා. එකල වික්ටෝරියා රැජින මයිකල් ආන්ජලෝගේ ඩේවිඩ් පිළිමය බලන්න ගියාම එයාගේ හෙළුව දකී කියලා ඒ ඩේවිඩ් පිළිමයේ ලිංගය ආවරණය කරලා තියෙනවා. ඒ අනුව පිළිමයක් වුණු ඩේවිඩුත් යටට ඇඳපු කාලයක් තිබිලා තියෙනවා.

 

 

3. පැරණි ශේප්වෙයාර්

19 – 20 සියවස් වල ගැහැනු ඇඳුමට ඇඟට හිර වූ, ඇඟ ඇද බැඳ තබාගන්නා තද ඇඳුම් ඇතුළත් වුණා. ඒ හරහා කාන්තාවන්ගේ  ඉඟ සුඟ සිහින්වට හැඩකර පෙන්නුවා. ඒත් මේවා ඇඳගෙන ඉඳීම ලේසි වැඩක් වුණේ නැහැ. ඉතින් දැන් නම් මේ ඇඟ හිරවෙන ශේප්වෙයාර් වෛද්‍යවරුන් විසින් හොඳයි කියලා රෙකමදාරු කරන්නේ නැහැ. දැනටත් පැරණි චිත්‍රපට වල පෙන්නුම් කරන ආකාරයෙන් එදා ලන්ඩන්, නිව්යෝක් ආදී පුරාණ නගරවල සිටි කාන්තාවන් මේ හිර යට ඇඳුම් වලින් සිරුර සකසා ගත්තා.

 

 

4. පැඩඩ් බ්‍රා සහ ස්පෝට්ස් බ්‍රා

බ්‍රා ගැන කියද්දි දැන් උත්සව අවස්ථා ආදියට අඳින පපුව විශාල කරන පැඩඩ් බ්‍රා තියෙනවා. මේවා මුලින්ම ඇවිත් තියෙන්නේ පපුව විශාලනය කරන යෙදවුමක් විදිහට 1913 දී. දැනට තියෙන ස්පෝට්ස් බ්‍රා එක නම් මුලින්ම අස්සයෝ පදින කාන්තාවන් පාවිච්චි කරලා තියෙනවා. ඉන් පසුව බයිසිකල් පැදීම, බාධක දිවීම ආදියටත් වෙනමම කෝසෙට් එකක් පාවිච්චි කරලා තියෙනවා. එය පසුකාලෙක ස්පෝට්ස් බ්‍රා බවට පරිවර්තනය වුණා.

 

 

5. තොන්ග්ස්

තොන්ග්ස් මුලින්ම ආවේ පිරිමින්ටත් එක්ක. ලොස් ඇන්ජලීස් වල ඒ කාලේ පොදු ස්ථානවල නාන සෙල්ලම් කරද්දි හෙළුවෙන් නාන්න තහනම් වුණා. ඒ එක්ක පොඩියට අවශ්‍යම තැන විතරක් කවර් කරගන්න ගෑනු, පිරිමි දෙපාර්ශවයටම මුල්ම තොන්ග් එක ආවා. දැන් නම් මේ තොන්ග්ස් වගේ යට ඇඳුම් විලි වසාගැනීමේ කාර්යයට විතරක් නෙමෙයි, ලිංගික කාර්යයේදී ඒ අවස්ථාවන් ලස්සන කරගන්නත් පාවිච්චි කරනවා.

 

 

6. කීයක් විතර තියාගන්නවද?

ලංකාවේ අපිට නම් යට ඇඳුම් තොග ගණන් තියාගන්න සිරිතක් නැහැ. කිහිපයක් තියාගෙන පට්ට ගහන එක තමයි බොහෝවිට වෙන්නේ. ඇමරිකාවේ නම් සාමාන්‍ය කාන්තාවක් යට ඇඳුම් 21ක් පමණ ස්ටොක් එකක් තියාගන්නවා. එයින් 10%ක් විතර කාන්තාවන් ළඟ යට ඇඳුම් කට්ටල 35ක් පමණ තියෙනවා. මේවා විවිධ වර්ණයෙන්, විවිධ වර්ගයෙන්, විවිධ අවස්ථාවන්ට ගැළපෙන්න තියෙනවා. සමහර විට සෘතු භේදය නිසා ඒ ඒ සෘතුවලට අදාළවත් ඔවුන්ගේ යට ඇඳුම් කලෙක්ෂන් එක වැඩි වෙනවා ඇති.

 

 

7. වැරදි සයිස් එක

බ්‍රා සයිස් ගැන කොපමණ චාට් තිබුණත් වැඩි හරියක් ගෑනු අය වැරදි සයිස් එකේ බ්‍රා අඳින බවක් තමයි වාර්තා වෙන්නේ. ඇමරිකාවේ කරන ලද පර්යේෂණයකින් වැරදි සයිස් එකේ බ්‍රා අඳින අය ප්‍රමාණය 80%ක් තරම් වැඩි බව සොයාගෙන තියෙනවා. බ්‍රා එකකින් සිරුරට හොඳ පෙනුමක් ලැබෙනවා. ඒත් වැරදි සයිස් එකේ බ්‍රා එකක් පළඳිනකොට ඒකෙන් අපේක්ෂා කරන ස්ථාවර පෙනුම අභියෝගයට ලක්වෙන බවක් තමයි පර්යේෂකයින් කියන්නේ.

 

යට ඇඳුම් නිෂ්පාදනය කියන්නේ බිලියන ගාණක් මුදල් හුවමාරු වෙන ව්‍යාපාරයක්. ලංකාවත් මේ යට ඇඳුම් සැලසුම් කිරීම සහ නිෂ්පාදනය කිරීම අතින් මූලික තැනක් ගත් රටක්. අපේ බන්දුල ඇමතිතුමාත් ලංකාවේ කාට හරි යට ඇඳුම් හිඟයක් ඇත්නම් එතුමාට දැනුම් දෙන්න කියලත් මාධ්‍ය සාකච්ඡා වලදි කිව්වා. ඉතින් යට ඇඳුම් ගැන ඔයාලට කරුණු කීපයක් මේ හරහා දැනගන්න ලැබෙන්නට ඇති බව අපි විශ්වාස කරනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *