රෙදි, ඇඳුම් නිසා සිදුවෙන වැඩි දෙනෙක් නොදන්නා පරිසර ගැටළු

රෙදි විවීම කියන්නේ පැරණි දෙයක්. ඉස්සර නම් අපි රෙදි කෑල්ලක් අරගෙන ගිහින් ළඟම ටේලර් සාප්පුවෙන් මහගත්තා. එතකොට රෙදි සහ නූල් විතරයි අමතරව එකතු වෙන්නේ. තව ඕනිනම් බොත්තම්, කොලර් වගේ දේවල් තියෙයි. ඒත් ෆැෂන් ජනප්‍රිය වීමත් එක්ක විවිධ ආකාරයේ රෙදි කිහිපයක්, විවිධ මැටීරියල් හැඩ වැඩ එක්ක එන්න ගත්තා. ඇරත් වර්තමානයේ රෙදි වර්ග, ඇඳුම් වර්ග වැඩියි. ඉතින් මේ නිසා රෙදි නැවත භාවිතය සඳහා රීසයිකල් කිරීම කරන්න අමාරු වැඩක්. ඉතින් මේ රෙදි නිසා ඇතිවන පරිසර ගැටළු ගැන අපි සොයා බලමු.

 

 

1. ඉවතලන රෙදි ප්‍රමාණ

ඇමරිකාවේ විතරක් 2017 වර්ෂයේදී ආසන්නව ටොන් මිලියන 13ක රෙදි අහක දාලා තියෙනවා. සාමාන්‍ය ඇමරිකානුවෙක් රෙදි කිලෝ 37ක් අවුරුද්දකට අයින් කරනවා. ලෝකේම ගත්තොතින් ටොන් මිලියන 92ක රෙදි පෙරදි ලෝක ජනතාව විසින් ඉවත දානවා. මේ යන විදිහට 2030 වෙද්දි ටොන් මිලියන 134ක පමණ රෙදි පෙරදි ලෝකයා විසින් භාවිතා කරලා ඉවත දාවිය කියලා මත පළවෙලා තියෙනවා. මේ රෙදි බොහොමයක් එකතු වෙන්නේ ලෑන්ඩ් ෆිල් විදිහට. ඒ කියන්නේ කිසිම නැවත භාවිතාවක් නැතිව කෙලින්ම භූමියට මුදා හැරෙන රෙදි විදිහට.

 

 

2. රෙදි හදන්න ගන්න දේවල්

රෙදි නිපදවන්න ගන්න දේවල් කියන්නෙත් එක්තරා හානියක්. මේ රෙදි නිපදවන්න ගන්න පෙට්‍රෝලියම් අමුද්‍රව්‍ය වලින් හදන රෙදි ආදිය ලේසියෙන් දිරන්නේ නැහැ. ඒ වගේම මේ රෙදි නිපදවන්න කපු වවනවා. මල් බෙරි ගස් වවනවා. නූල් වියන්න වෙනමම හම්බු පන් වගේ ගස් වර්ග වගා කරනවා. ඉතින් මේ වගාවන්ටත් ලෝක වශයෙන් විශාල පරිමාණයෙන් ජලය, පොහොර සහ භූමිය නාස්ති වෙනවා. ලෝක හරිතාගාර විමෝචන වායු වලින් 10%ක් පමණ රෙදි නිපදවීම සඳහා වියදම් වන බව සොයාගෙන තියෙනවා.

 

 

3. රෙදි පාවිච්චිය

මේ රෙදි පාවිච්චිය කියන්නේත් වෙනස් වෙන දෙයක්. අපේ රටේ වුණත් ඇති හැකි අය නිතරම ඇඳුම් ගන්නවා සහ ඒවා ඉක්මනින්ම ඉවත දානවා. සාමාන්‍ය ඇඳුමක් අවුරුදු 2ත් 10ත් අතර කාලයක් පාවිච්චි කරන බව සොයාගෙන තියෙනවා. එයින් යට ඇඳුම් සහ ටී ෂර්ට් අවුරුදු දෙකකට අඩු කාලයක් තමයි පාවිච්චි කරන්නේ. ඉතුරු සූට් සහ කෝට් ආදිය නම් අවුරුදු හයක් විතර පාවිච්චි කරනවා. මීට වසර 15කට පෙර මිලදී ගත් ඇඳුම්වලට වඩා 60%කට වැඩි ප්‍රමාණයක ඇඳුම් ගණනක් වර්තමානයේ පුද්ගලයෙක් විසින් මිලදී ගනු ලබන බව පැවසෙනවා. 

 

 

4. නැවත භාවිත කරන ප්‍රමාණය

ඇමරිකාවේ ඉවත දාන රෙදි වලින් 13.6%ක් පමණයි කුමන ආකාරයකින් හෝ රීසයිකල් කරන්න ගන්නේ. ලෝකයේම ගත්තා වුණත් රෙදි ඇඳුම් වලින් 12%ක් පමණක් නැවත පාවිච්චි කරන බවක් තමයි සොයාගෙන තියෙන්නේ. කඩදාසි, වීදුරු සහ ප්ලාස්ටික් බෝතල පිළිවෙළින් නැවත පාවිච්චි කිරීම 66%, 27% සහ 29% තරම් ලොකු අගයක් ගන්නවා. ඒත් රෙදි හැම එකටම වඩා නැවත පාවිච්චි කිරීමේ හැකියාව අඩුයි.

 

 

5. ඇයි රෙදි නැවත පාවිච්චිය අමාරු? 

අපි කඩදාසි ගත්තොත් අපි පාවිච්චි කරන කඩදාසි බොහොමයක ඒ කඩදාසි වර්ගය පමණයි ඇතුළත් වන්නේ. ඒ නිසා ඒවා නැවත පාවිච්චි කරන එක ලේසියි. ඒත් අපි ඇඳුමක් ගත්තාම ඒකේ විවිධ වර්ගවල රෙදි, නූල්, බොත්තම්, පටි පීත්ත, මැහුම්, කොලර් ආදිය තියෙනවා. අපි සමාජයේ මුණගැහෙන අය කාණ්ඩයක් ගත්තොත් මිනිස්සු දහදෙනෙක් පාරේ ඇඳන් යන්නේ දස ජාතියක ඇඳුම්. එතකොට ඒවා සියල්ල එකතු වුණාම රීසයිකල් කරන එක සෑහෙන අමාරු මෙහෙයුමක් වෙනවා.

 

 

6. රෙදි වල අවසානය

දියුණු රටවලින්, ඒ කිව්වේ එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ඇමරිකාව වගේ රටවලින් අප්‍රිකාවේ ඝානාව වගේ දුප්පත් රටවලට රෙදි තොග ගණන් යවනවා. ඒ රෙදි වලින් හොඳ රෙදි ඒ දුප්පත් රටවල මිනිස්සු භාවිතා කරනවා. ඒත් එයිනුත් සැළකිය යුතු කොටසක් අපතේ යනවා. යුරෝපීය සහ ඇමරිකානු රටවල මෝස්තර නිර්මාණය වෙන්නේ ඒ රටවල රුචිය සහ තත්ත්වයන්ට අනුව. උදාහරණ විදිහට යුරෝපීය රටවල ඉවතලන වින්ටර් ක්ලෝත් හෙවත් ශීතල කාලයට අඳින කෝට් ඇඳුම් ආදිය ඝානාව වැනි රටවල ජනයාට නැවත පාවිච්චියට වැඩක්ම නැහැ. ඒවා කෙලින්ම ඉවත දාන්නට වෙනවා.

 

 

7. රෙදි කාර්යක්‍ෂමව පාවිච්චි කිරීම

ෆැෂන් රැලි වලට අහුවෙන්නේ නැතිව රෙදි බොහෝ කාලයක් පාවිච්චි කරන එක ගැන බටහිර රටවලත් දැන් කතාබහක් ඇතිවෙලා තියෙනවා. මොකද රෙදි නැවත පාවිච්චියට සකසා ගන්න එක ඉතාම අපහසු දෙයක්. රෙදි ඇඳුම් දුප්පත් රටවලට යවන්න පුළුවන් වුවත් ඒ රටවලට ඒක නැවත ගැටළුවක් වෙනවා. ඉතින් අපි රෙදි මහන රටක් නිසා අපිට රෙදි විවිධ ආකාරයෙන් ලාබෙට ගන්න ලැබෙනවා. ඒත් රෙදි ඇඳුම් පාවිච්චියේදි ඒවා පිරිමැස්මෙන් වඩාත් ඵලදායීව යොදාගන්න හැකිනම් එය පෘථිවියේ පරිසරය සම්බන්ධයෙන් හොඳ පියවරක් වෙනවා.

 

 

බුදුන් වහන්සේ නිවන ආදී ලෝකෝත්තර ජීවිතය ගැනත් ලෞකික භික්ෂු ජීවිතය ගැනත් වැදගත් කරුණු කියා තිබෙනවා. රෙදි එවකට මිල අධික, සොයාගන්නට අමාරු දෙයක් වූ නිසාදෝ අමු සොහොනේ රෙදි වලින් සිවුරු පිළියෙල කරගැනීමට ඇතැම් භික්ෂූන් පෙළඹිලා තිබුණා. ඒ වගේම සිවුරක් සකසා ගැනීම වගේම එය ඉවත ලෑමත් පරිසරයට වඩාත් හිතකර විදිහට කරන්නට බුදුන් වහන්සේ මග පෙන්වලා දී තියෙනවා. ඉතින් අපිත් ලාබෙට හමුවන නිසා හෝ අලුත් ෆැෂන් නිසා නිකරුණේ රෙදි ගොඩවල් ගෙදර ගොඩ ගහගන්නේ නැතිව පරිසරය ගැන හිතලා අල්පේච්ඡ විදිහට රෙදි පාවිච්චි කරන්න හුරු වෙමු. එය අපේ පසුම්බියට වගේම පරිසරයටත් හොඳ දෙයක්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *