ලිංගික අධ්‍යාපනය කියන්නේ ශ්‍රී ලංකාවේ නං සෑහෙන්න ප්‍රශ්නකාරී වෙලා තියෙන දෙයක්නේ. ඒකේ පුදුමයක් නෑ. ගොඩක් අය හිතන්නේ කුඩා දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමෙන් කුඩා දරුවෝ අනවශ්‍ය විදියට ලිංගිකත්වයට යොමු වේවි, එහෙම නැතිනම් අපේ “සංස්කෘතියට” හානි වේවි කියලා තමයි. හැබැයි කුඩා දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් දියුණු ක්‍රමවේද තියෙන රටවල නම් එහෙම මනස්ගාත නැහැ. “නියම වයසෙදී” දරුවන්ට “හරි විදියට” ලිංගික අධ්‍යාපනය ලබාදෙන්නේ කොහොමද කියන එක ගැන ඒ රටවල හරි ක්‍රමවේද තියෙනවා. සාමාන්‍යයෙන් මේ සම්බන්ධයෙන් විශේෂඥයෝ එකඟ වෙන කාරණාවක් වෙන්නේ, කුඩා වයසේ ඉඳලම දරුවන්ට තමන්ගේ ශරීරය ගැන යම් දැනුමක් ලබාදීම අවශ්‍ය බවත්, වයස අවුරුදු 5, 6 වගේ වෙනකොට -ඒ කියන්නේ පාසල් යන වයසේදී- ලිංගික අධ්‍යාපනයේ මූලික කරුණු දරුවන්ට කියා දීම යෝග්‍ය බවත් තමයි.
හරි, ඒ ලිංගික අධ්‍යාපනය ආරම්භ කරන්න ඕන වයසනේ. ලිංගික අධ්‍යාපනය දරුවෙක්ට ලබාදිය යුතු “හරි විදිය” මොකක්ද? ආන්න ඒක ගැනත් බොහොම ප්‍රවේසම් වෙන්න ඕන. එතනදී අපි වැරදි තොරතුරු දරුවන්‍ට ලබාදෙනවා කියන්නේ, අනාගතයේදී ඒ වැරදි නිවැරදි කරන එක අසීරු වෙන්න පුළුවන්. ආන්න ඒ නිසා තමයි අපි දෙමාපියෝ විදියට දරුවන්ට “හරි විදියට” ලිංගික අධ්‍යාපනය ලබාදෙන්නේ කොහොමද කියන එක ගැන දැනුවත් වෙන්න ඕන. මේ ඒකට උපදෙස් කීපයක්!
1. තමන් දැනුවත්ද?
මේක තමයි දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදෙන්න කලින් කරන්න ඕන ප්‍රධානතම කාරණාව. ඒ තමයි තමන් මුලින් ලිංගිකත්වය ගැන දැනුවත් වෙලා ඉන්න එක. විහිළුයි වගේ කියලා හිතුවද? නෑ, මේක තමයි විහිළුයි වගේ පෙනුනත් ඇත්ත. ගොඩක් වෙලාවට දෙමාපියෝ වෙලා ඉන්න වැඩිහිටියන්ටත් හරි ලිංගික අධ්‍යාපනයක් නෑ. හරි, වැඩිහිටියෝ සෙක්ස් කරලා තමයි දරුවෝ හදලා තියෙන්නේ. හැබැයි සෙක්ස් කරන්න දන්නවා කියන්නේ ලිංගිකත්වය ගැන දන්නවා කියන එක නෙවෙයි. අන්න ඒ නිසා, දරුවන්ට ලිංගිකත්වය ගැන උගන්නන්න කලින් තමන් ලිංගිකත්වය ගැන ඉගෙන ගන්න ඕන. කොහොමද හරියට ලිංගිකව හැසිරෙන්නේ කියන එක දැනගත්තට මදි, සේෆ් සෙක්ස් ගැන, ලිංගිකත්වයේ ආචාර ධර්ම ගැන හරියට දන්නෙ නැතිනම්. ආන්න ඒ නිසා ඒ දේවල් ගැන තමන් දැනුවත් වීම තමයි මූලික පියවර වෙන්නේ.
2. සුරංගනා උත්තර දෙන්න එපා
ගොඩක් අම්මලා තාත්තලා දරුවෝ අහනකොට තමන් ආවේ කොහෙන්ද කියලා, ලබාදෙන ජනප්‍රිය උත්තර තියෙනවා. “රෝස කැලෙන් ඇහින්දේ”, “කොකෙක් ගෙනැත් දැම්මේ”, “සුරංගනාවෙක් තමයි පුතාව ගෙනැත් දැම්මේ” වගේ හරිම හුරතල් උත්තර දීලා ලිස්සලා යන්න තමයි ගොඩක් අම්මලා තාත්තලා උත්සාහ කරන්නේ. හැබැයි අපි කියන්නේ ඒක ඉතාම වැරදියි කියලා. එහෙම සුරංගනා උත්තර ලබාදීමෙන්, දරුවෝ ඒවා විශ්වාස කරනවාටත් වඩා, දරුවන්ට දැනගන්න ඕන වෙන හරි උත්තරේ නොලැබෙන එකයි වෙන්නේ. එතකොට දරුවෝ ඒ උත්තරේ ලබාගන්න උත්සාහ කරන්නේ සමහර විට වැරදි තැනකින් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා, කුඩාම දරුවන්ට නම් තේරෙන විදියට සුරංගනා කතා නැතුව හරි පිළිතුරු දෙන්න පුළුවන්. “පුතාගේ අම්මයි තාත්තයි දෙන්නට දෙන්නා හරිම ආදරෙයි, ඒ දෙන්නගේ ආදරේ උපරිම තැනකට ආවහම තමයි ඒ දෙන්නා එකතුවෙලා දරුවෙක් හදන්නේ, තාත්තා අම්මගේ බඩේ බබෙක්ව තැන්පත් කරනවා, එතකොට අම්මා මාස ගාණක් බඩේ බබාව ලොකු මහත් කරලා මේ ලෝකෙට ගේනවා”. ඔන්න ඔය වගේ පිළිතුරක් වුණත් පොඩි දරුවෙක්ට ප්‍රමාණවත්.
3. තමන්ගෙන් ප්‍රශ්න අහන්න ධෛර්යමත් කරන්න
මෙන්න මේකත් ඉතාම වැදගත් කාරණාවක්. ගොඩක් වෙලාවට අම්මලා තාත්තලා සෑහෙන්න පැකිලෙනවනේ ලිංගිකත්වය වගේ දේවල් ගැන කතා කරන්න. එතන තියෙන ප්‍රශ්නය මේකයි. ලිංගිකත්වය ගැන අම්මලා තාත්තලා කතා කරන්න පැකිළුණොත්, දරුවෝ තමන්ට ලිංගිකත්වය ගැන තියෙන කුතුහලය නිරාකරණය කරගන්නේ, ඒ ගැන තියෙන ප්‍රශ්න අහන්නේ කාගෙන්ද? ගොඩක් වෙලාවට සම වයසේ කෙනෙක්ගෙන් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් පෝර්නෝග්‍රැෆි වලින් වෙන්න පුළුවන්. හැබැයි ඒ එක තැනකින් වත් හරි, නිවැරදි උත්තර ලැබෙයිද කියන එක සැකයි. ආන්න ඒ නිසා, තමන්ගෙන් ප්‍රශ්න අහන්න දරුවන්ට ධෛර්යමත් කරන්න ඕන. විශේෂයෙන්ම ලිංගිකත්වය ගැන ප්‍රශ්නයක් ඇහුවහම මග අරින එක, දරුවන්ට සැර වැර කරන එක දෙමාපියෝ කිසිසේත්ම නොකළ යුතු දේවල්.
4. තමන්ගේ ශරීරය සහ අනෙකාගේ ශරීරය
පළවෙනි කාරණාව: ලිංගිකත්වය ගැන දරුවොත් එක්ක කතා කරනකොට, ශරීර අවයව වලට හුරතල් නම් දාලා කතා කරන්න එපා. පුතාගේ පීපී එක, නංගිගේ චූචූ එක වගේ වචන පුංචිම ළමයින්ට හොඳයි. හැබැයි පාසල් වියේ දරුවෙක්ට තමන්ගේ සහ අනෙකාගේ ශරීරය ගැන කියලා දෙනකොට අනිවාර්යයෙන්ම නිවැරදි යෙදුම් භාවිතා කළ යුතුයි. ඒකට හේතුව වෙන්නේ, එහෙම නැතිනම් තමන්ගේ ශරීරාවයව සම්බන්ධයෙන් කාටූන් අදහසක් මිසක්, යතාර්ථවාදී බැරෑරුම් බවක් දරුවන්ගේ ඔළුවට යන්නේ නැති වීම.
ඊලඟට පැහැදිලිවම කොහොමද කාන්තා ශරීරයක් පිරිමි ශරීරයෙන් වෙන් වෙන්නේ කියන එක පැහැදිලි කරලා දෙන්න ඕන. ඒකට අවශ්‍ය නම් රූප සටහන් යොදාගත්තත් කමක් නෑ. හැබැයි එතනදී කරන්න ඕන දරුවෙක්ට තේරුම් ගන්න අමාරු මහ සංකීර්ණ දේවල් කියලා දෙන එක නෙවෙයි. සරලවම ශරීර වල වෙනස් කම් කියලා දෙන එක. ඒ වගේම ඕනම කෙනෙක්ගේ ශරීරයකට ගරු කළ යුතු බව කියලා දෙන එක.
5. ලිංගිකත්වයේ සහ ශරීරයේ වගකීම සහ ගරුත්වය
ඕනම කෙනෙකුගේ ශරීරයට ගරු කිරීම කියලා දෙන එක කොටස් දෙකක් විදියට ගන්න පුළුවන්. එකක් තමයි, විරුද්ධ ලිංගිකයෙකුගේ වුණත්, සමාන ලිංගිකයෙකුගේ වුණත් ශරීරයකට අවසරයකින් තොරව අත තියන එක, අවසරයකින් තොරව බලන්න උත්සාහ කරන එක වැරදියි කියන එක තේරුම් කරලා දීම. එතකොට ලිංගිකත්වය ගැන තියෙන කුතුහලයෙන් තව කෙනෙක්ගේ ශරීරයක් බලන්න දරුවෙක් උත්සාහ කරන එකක් නෑ.
ඊලඟට උස, මිටි, මහත, කෙට්ටු, කළු, සුදු, අවයව වැඩි, අවයව අඩු, ආබාධයන් තියෙන යනාදී ඕනෑම ශරීරයක් තියෙන කෙනෙක්ව මනුෂ්‍යයෙක් විදියට පිළිගන්නත්, ගරු කරන්නත් කියලා දීම. අන්න එතකොට අනාගතයේදී බොඩි ෂේමින් කරන මිනිස්සු බිහි වෙන එක අඩු වෙයි.
මේ ඇරෙන්න, ලිංගිකත්වය ගැන ටෙක්නිකල් කාරණා අතරතුරදීම, ලිංගිකත්වය ගැන සමාජීය කාරණාත් කියලා දෙන්න ඕන. ඒ කියන්නේ, තමන්ට නිසි වයස එනකල් ලිංගික ක්‍රියා සිදු නොකිරීමේ වැදගත්කම, කිසිම විටක ලිංගිකත්වය අන්‍යෝන්‍ය කැමැත්තෙන් මිසක් ලබා නොගැනීමේ වැදගත්කම, වයස අඩු කෙනෙක්ව කිසිසේත්ම ලිංගිකත්වයට පොළඹවා නොගත යුතු බව මෙතනදී කියලා දෙන්න පුළුවන්.
6. ආරක්ෂාව!
මේක දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමේ තියෙන බරපතලම කොටසක්. මෙතනදී ප්‍රධාන වශයෙන්ම තමන් ආරක්ෂා වීම ගැන කියලා දෙන්න ඕන. ඒ කියනේ, තමන්ගේ ශරීරය අඳුනන හෝ නාඳුනන වෙනත් කිසිම කෙනෙක්ට අතපත ගාන්න හෝ නොදීම, එහෙම දෙයක් වුණොත් වහාම දෙමාපියන්ට කියන්න ඕන කියන එක තේරුම් කරලා දෙන්න ඕන. ඒ වගේම, වයස අවුරුදු 18 වෙනකල් විවාහ වෙන්න අවසරයක් නැති එක, වයස අවුරුදු 16 ට අඩු ඕනෑම කෙනෙක් එක්ක කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ලිංගික ක්‍රියා සිද්ධ කිරීම වරදක් කියන එක තේරුම් කරලා දෙන්න ඕන.
ඊට පස්සේ ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග ගැන, ආරක්ෂිත ලිංගික හැසිරීම් ගැන, උපත් පාලන ක්‍රම ගැන එහෙමත් තේරුම් ගන්න පුළුවන් වයසේ ඉන්න දරුවෙක්ට කියලා දෙන එක හොඳයි.
7. තමන්ගේ අදහස් නිවැරදිව: හොඳම දේ දරුවන්ට
ඉස්සර කාලේ සමහර අම්මලා තාත්තලා මැදි වයසක් වෙනකල්ම හෝමෝසෙක්ෂුවලිටි, ඒ කියන්නේ සමරිසි භාවය වගේ දේවල් ගැන දැනගෙන හිටියෙ නෑ. හැබැයි දැන් සමාජේ ඒවා මැජික් නෙවෙයි. දැන් සමාජේ ඒවා වැරදි දේවල්, මානසික රෝගාබාධ කියලා හිතන්නෙත් නෑ. ආන්න ඒ නිසා, අපේ දරුවන්ටත් වයස අවුරුදු දොළහ, දාහතර කාලය වෙනකොට වෙනත් වෙනත් ලිංගික නැඹුරුතාවයන් ගැන කියලා දෙන්න වෙනවා.
හැබැයි එහෙම දේවල් කියලා දෙන්න කලින්, තමන් ඒ ගැන තියෙන අදහස් නිවැරදි වෙන්න ඕන. උදාහරණයක් විදියට තමන්ට හොමොෆෝබියාවක් – ඒ කියන්නේ සමරිසි නැඹුරුතාවන් තියෙන අය ගැන ද්වේෂයක්, පිළිකුලක්- එහෙම තියෙනවා නම්, වහාම ඒක තමන් මුලින් නැති කරගෙන ඉන්න ඕන. ඊට පස්සේ පුළුවන් දරුවන්ටත් ඒ ගැන සමබරව කියලා දෙන්න. එතනදී තමන්ගේ ලිංගික නැඹුරුතාවය පිළිගන්නේ කොහොමද කියන එකත්, ඒ වගේම වෙනත් මනුස්සයෙක්ගේ ලිංගික නැඹුරුතාවය පිළිඅරගෙන, කිසිම වෙනසක් කිරීමෙන් වැළකෙන්නේ කොහොමද කියන එකත් දරුවාට කියලා දෙන්න ඕන.
8. ගරුකටයුතු පුරවැසියෙක්
මේක පොදුවේ ලිංගිකත්වයට විතරක් අදාළ කාරණාවක් නෙවෙයි. හැබැයි දරුවන්ට ලිංගිකත්වය ගැන කියලා දෙනකොටම මේ ගැනත් කියලා දෙන එක සුදුසුයි. ඒ තමයි, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මොකක් වුණත්, පොදුවේ මනුස්සයෙක්ට ගරුත්වයෙන් සළකන්නේ කොහොමද කියන එක. විශේෂයෙන්ම දැන් සමාජයේ තියෙන ගැටළුවක් වෙන, කාන්තාවන්ව ලිංගික වස්තූන් විදියට හඳුනාගන්න එක, ස්ත්‍රී පුරුෂ භාවය ඔස්සේ සිදුකෙරෙන කොන් කිරීම් වගේ දේවල් ගැන, ඒවා නොකරන්නේ කොහොමද කියන එක ගැන හරියට කියලා දෙන්න පුළුවන් ලිංගිකත්වය ගැන උගන්නන අතරතුරදීම. අපි අන්න ඒ වගකීම හරියට කළොත්, අපේ දරුවාත් ගරු කටයුතු පුරවැසියෙක්, හොඳ මනුස්සයෙක් විදියට වැඩෙනවා අපිට දකින්න පුළුවන් වෙයි.
දැන් පැහැදිළියිනේ. වයස අවුරුදු 5, 6 වෙනකොට ලිංගිකත්වය ගැන කුතුහලාත්මක වෙන දරුවෙක්ට නියම ලිංගික අධ්‍යාපනය ගෙදරින් -ඒ කියන්නේ දෙමාපියන්ගෙන්- ඉගෙන ගන්න ලැබෙන එක තමයි හරි විදිය. අවශ්‍ය කාලෙදී පාසැලෙනුත් ඒ අධ්‍යාපනය ලැබෙයි. ආන්න එතකොට, නියම විදියට ලිංගිකත්වය ගැන දන්න, තවත් මනුස්සයෙක්ට ගරු කරන්න දන්න පුරවැසියෙක් බිහිවෙන්න අඩිතාලම වැටෙයි!
Leave a Reply