දැන් උසස් පෙළ සඳහාත් දින නියම කරලා තියෙන නිසා ඔයා දැන් ඉඳලම පාඩම් කරන්න යොමු වෙලා ඇති. ඉතින් ඒ නිසා අපි හිතුවා ළඟදී විභාගෙට මුහුණ දෙන්න ඉන්න ඔයා වෙනුවෙන් විභාගයට මුහුණ දෙද්දී සැළකිලිමත් වෙන්න ඕනේ කරුණු හතක් ගැන කතාකරන්න.
1. පාඩම් කරන තැන
ඔයාට ප්‍රියජනක කැමති තැනක් ඔයාට පාඩම් කරන්න තෝරගන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් ඒ තැන පිරිසිදු, පිළිවෙළ තැනක් විදියට පවත්වාගන්න. ඒ වගේම එතන හොඳින් ආලෝකය ලැබෙන, පුළුවන් තරම් බඩු මුට්ටු විච්චූරණ නැති තැනක් කරගන්න උත්සහ කරන්න. පුළුවන් තරම් මේසයක් හා පුටුවක ඉඳන් පාඩම් කරනවා නම් ගොඩක් හොඳයි. ඒ වගේම ඇඳක වගේ තැනක පාඩම් කරන එකෙන් පුළුවන් තරම් අයින් වෙන්න…
2. විවේකයක් ලබාගන්න
එක දිගට පැය ගණනක් පාඩම් කරන වෙලාවකදි පුළුවන් නම් විනාඩි හතළිස් පහකට වරක් වගේ විනාඩි දහයක පමණ විවේකයක් ලබාගන්න. ඒ වෙලාවෙදි ඔයාට පුළුවන් නිදහසේ ඉන්න, එහෙම නැත්නම් එළියට වගේ යන්න පුළුවන් විනාඩි දහයකට. ඒකට හේතුව අපි පාඩම් කරන දේවල් මතකය විදියට මොළයේ තැන්පත් කරන්න වේලාවක් අවශ්‍ය වීමයි. ඒ නිසා එකදිගට පැය ගාණක් පාඩම් කළොත් සමහර වෙලාවට ඔයාට ඒ දේවල් මතකයේ නොරැඳෙන්න පුළුවන්…
3. පාඩමක් අවසානයේ ඒ පාඩමේ ගැටළු විසඳන්න
සාමාන්‍යයෙන් ඔයා පාඩමක් පාඩම් කරලා අවසානයේදී පුළුවන් නම් ඒ පාඩමට අදාළ ගැටළු, ඒ වගේම කලින් වසරවල පාස්ට් පේපර්ස් වල ආපු ඒ පාඩම් වල ගැටළුවලට පුළුවන් තරම් පිළිතුරු ලියන්න උත්සාහ කරන්න. අපි හැමදාම කියනවා වගේ පාස්ට් පේපර්ස් කරන එකෙන් ඔයාට ප්‍රශ්න පත්තරේ ආකෘතිය හොඳින් අඳුරගන්න පුළුවන්කම ලැබෙනවා…
4. පාඩම් කරන වෙලාව
සාමාන්‍යයෙන් ඔයා උදේ පාඩම් කරන්න කැමති කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් රෑ පාඩම් කරන්න කැමති කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා මේ දෙකෙන් ඔයා කැමති වෙලාවක් තෝරගන්න පාඩම් කරන්න. මේ වෙලාවල් දෙකේදිම පාඩම් කරද්දි එන ගැටළු මග හැර ගන්න අවශ්‍ය ටිප්ස් ගැන අපි මීට කලිනුත් කතාකරලා තියෙනවා. ඒ දේවල් ඔයාට අපේ වෙබ් අඩවියෙන් බලන්න පුළුවන්.
5. භාවනාවකට යොමු වෙන්න
සාමාන්‍යයෙන් භාවනාවක් කියපුවම ගොඩක් අය බය වෙනවා. ඒත් මේක හරිම සරල දෙයක්. ඔයාට පුළුවන් හැමදාම වගේ උදේ නැගිට්ට ගමන් සහ රෑ නිදාගන්න විනාඩි දහයකට විතර කලින් හරි අවධානයෙන් හුස්ම ඉහළට ගැනීම සහ පහළට දැමීම සිදු කරන්න. ඉතින් මේක හරිම සරල දෙයක් වගේම ඵලදායී දෙයක් ඔයාගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගන්න නම්.
6. විනෝදාංශයකට යොමු වෙන්න
ඔයාගේ කැමතිම විනෝදාංශය පොත් කියවීම වේවා, සින්දු ඇසීම වේවා, මල් හිටවීම වේවා මේ දේවල් වලටත් දවසේ යම් කාලයක් වෙන් කරගන්න. මොකද නිතරම පාඩම් කටයුතු වලම එල්ලිලා ඉන්න නිසා ඔයාට පාඩම් වලට තියෙන කැමැත්ත අඩුවෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා කැමති විනෝදාංශයක නිරත වෙන්න අඩුම තරමේ දවසකට එක පැය භාගයක්වත්…
7. හැකිතරම් පරිස්සමෙන් කාලය ගතකරන්න
වර්තමානයේ පවතින කොරෝනා වෛරසය නිසා අපි හැමෝගෙම වගේ ජීවිත ලොකු අවදානමක තියෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් නිවසින් බැහැරව යාමෙන් වළකින්න. නිතරම අත් සේදීම, එළියට යන විට මුහුණු ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම වගේ සෞඛ්‍ය නීතීන් වලට අනුකූලව ඉන්න උත්සාහ කරන්න. පාඩම් කරනවා වගේම මේ දේවල් වලටත් අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න. මොකද විභාගය ලියන්නත් අපේ සෞඛ්‍යය හොඳින් තියෙන්න ඕන නිසා.
ශශින් ප්‍රබෝද්
Leave a Reply