කැළෑහඳ චිත්‍රපටිය සම්බන්​ධ ර​ස කතා

සිංහල සිනමා ඉතිහාසය සොයා යාමේදී චිත්‍රපටයකට නැගුණු පළවෙනි නවකතාව වීමේ භාග්‍ය ලබන්නේ නවකතා චක්‍රවර්තී ඩබ්ලිව්. ඒ. සිල්වා සූරීන් විසින් රචනා කරනු ලැබූ ‘කැළෑහඳ’ නවකතාවයි. මෙම නවකතාව පාඨකයන් අතර අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ අතර කලෙක එය පාසල් විෂය නිර්දේශයටද ඇතුළත් විය. මුල් කාලීන විචාරකයන් විසින් බොළඳ නවකතාවක් ලෙස හංවඩු ගැසීමට ලක් කළද වර්තමානය වන විට ඩබ්ලිව්. ඒ. සිල්වා සූරීන් සහ එතුමන්ගේ නවකතා පිළිබඳව පැවති අදහස් යම්තාක් දුරකට වෙනස් වෙමින් පවතී. කෙසේ නමුත් කැළෑහඳ චිත්‍රපටය පිළිබඳව සිනමා විචාරකයන්ගේ අදහස් එදා මෙදාතුර වෙනස් නොවී තිබෙන අතර රසිකයන් තුළ අදටත් කැළෑහඳ පිළිබඳව ඇත්තේ ආශ්වාදනීය මතකයකි. අපි අද කැළෑහඳ චිත්‍රපටය නිර්මාණය කිරීමේදී පසුබිමෙන් අසන්නට ලැබුණු රස කතා කීපයක් ඔබ වෙත ගෙන එන්න තීරණය කළා.

 

 

1. කැළෑහඳ තෝරා ගත්ත හැටි 

දිනක් චිත්‍රපටි අධ්‍යක්ෂක බී. ඒ. ඩබ්ලිව් ජයමාන්න නාට්‍යයක් බලන්න ටවර් හෝල් ශාලාවට යනවා. නාට්‍යය නරඹන අතරතුර ඒ අසල සිටි පුද්ගලයෙකු සමග කතාබහට වැටුණු බී. ඒ. ජයමාන්න ඔහු සමග මිත්‍ර වනවා. එම පුද්ගලයා කේ. එච්. කේ ධර්මසේකර නම් ඩබ්ලිව්. ඒ. සිල්වාගේ සමීපතම මිතුරෙක්. කතාබහේ ප්‍රතිඵලයක් විදිහට තමයි ධර්මසේකර මහතා කැළෑහඳ සිනමාවට නගන යෝජනාව කරන්නේ. ඊට ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා කැමති වේද යන ප්‍රශ්නය ජයමාන්න මහතාට තිබුණු අතර ඔහුව කැමති කරගැනීමේ වගකීම ධර්මසේකර මහතා විසින් භාර ගනු ලැබ තිබෙනවා.

 

 

2. ලියුම් හුවමාරුව

ජයමාන්න මහතා සැක පහළ කළ ලෙසම සිල්වා මහතා කැළෑහඳ නවකතාව චිත්‍රපටයකට නැගීම සඳහා මුලින් අවසර ලබා දෙන්නේ නැහැ. කෙසේ නමුත් ඔවුන් දෙදෙනා ධර්මසේකර මහතාගේ මැදිහත්වීම මත ලියුම් හුවමාරු කරගන්නවා. අවසාන ලිපියේ දී ජයමාන්න මහතා “කැළෑහඳ නවකතාව ඔබ මට පවරා දෙන්නේ නම් මෙතෙක් සිංහල සිනමා චිත්‍රපට පරදවන චිත්‍රපටයක් නිෂ්පාදනය කරමි” යැයි ලියා යවා තිබෙනවා.

 

 

3. දියතලා ගමන

ඉහතින් අප කියූ ලිපියට පිළිතුරු එවා තිබුණේ ධර්මසේකර මහතා විසින් වන අතර ඔහුගේ යෝජනාව වූයේ ජයමාන්න මහතා සහ රුක්මණී, එඩී යුවළ සිල්වා මහතා එවකට වාසය කළ දියතලාව වෙත ගොස් සාකච්ඡා කිරීම කළ යුතු බවයි. ඊට සියල්ලෝම එකඟ වූ අතර එම පිරිස දියතලාව වෙත ගොස් සිල්වා මහතා හමුවනවා. එම හමුවීම අතිශයින් ප්‍රීතිදායක එකක් වූ අතර සිංහල චිත්‍රපටිවල පැවැති විහිළු ආදිය පිළිබඳව සිල්වා මහතා දැඩි විවේචනාත්මකව අදහස් පළ කර තිබෙනවා.

 

 

4. භෝජන සංග්‍රහය

අවසානයේදී කැළෑහඳ නවකතාව චිත්‍රපටියට නැගීමට අවශ්‍ය අනුමැතිය ලබා දීමට ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා එකඟ වූ අතර මේ සඳහා ගිවිසුම අත්සන් කළ දා දියතලාවේදී ඔහු විසින් සියළු දෙනාටම අනර්ඝ භෝජන සංග්‍රහයක් පවත්වනවා. මෙහි විශේෂත්වය වූයේ මංගල උත්සවයක කෑම මේසයක  මට්ටමේ රසමසවුළු සියල්ලම සකසා තිබුණේ ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා විසින්ම වීමයි. ඒ සඳහා ඔහු එක් සේවකයකුගේ පමණක් සහාය ලබාගෙන තිබුණත්, කෑම සියල්ල සැකසී තිබුණේ ඔහුගේ අතින්මයි.

 

 

5. එඩීගේ කණස්සල්ල

කැළෑහඳ චිත්‍රපටය තුළ විකට චරිතයක් නොවීම එඩී ජයමාන්න තුළ දැඩි කනස්සල්ලක් ඇති කොට තිබුණා. ඒ පිළිබඳව ජයමාන්න මහතා මුල් වතාවන්වලදී දැඩි ලෙස විරෝධය පළ කළත් අවසානයේ දී අන්දෝගේ චරිතය සමග මිසී නම් චරිතයක් එක්කොට මුල්කාලීන සිංහල චිත්‍රපටිවල නැතුවම බැරිව සිටි විකට ජෝඩුව සඳහා අවසර ලබා දී තිබෙනවා. 

 

 

6. මෝරා වැඩේවී ආලේ

කැළෑහඳ චිත්‍රපටයේ ගීත රසිකයන් අතර අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ අතර එම ගීත සියල්ලම පාහේ රචනා කරන ලද්දේ හර්බට් එම්. සෙනවිරත්න විසිනුයි. අද දක්වා ම ජනප්‍රිය “මැවිලා පෙනේවි රූපේ හදේ” ගීතය කැළෑහඳ චිත්‍රපටයට ඇතුළත් වූ අතර පළමුව එය ලියා තිබුණේ “මෝරා වැඩේවි ආලේ” ලෙසයි. කෙසේ නමුත් එහි ආරම්භය අක්ෂර විද්‍යාව අනුව සුබ නැතැයි යන මතය නිසා එම ගීතය “මැවිලා පෙනේවි” ලෙස වෙනස් වී තිබෙනවා.

 

 

7. කැළෑහඳ පාලම

කැලෑහඳ චිත්‍රපටයේ ඇතැම් දර්ශන ලංකාව තුළ රූගත කෙරුණු අතර අවසන් දර්ශනයට ඇතුළත් වුණු සංගිලි පාලම පිහිටියේ අරණායක ප්‍රදේශයේයි. පසු කලෙක ප්‍රාදේශීය දේශපාලනඥයෙකු විසින් එම පාලම නවීකරණය කොට කැළෑහඳ පාලම ලෙස නම් කර තිබෙනවා.

 

මේ ලිපිය රචනා කිරීමේදී සම්පූර්ණයෙන්ම පාහේ සිනමා කතුවර ඒ. ඩී. රන්ජිත් කුමාර මහතාගේ ලිපි පරිශීලනය කළ බව එතුමාට ගෞරවාදරයෙන් යුතුව සටහන් කරමු. එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.