ඔබට මතක ඇති මීට සති කීපයකට කලින් අපි මේ ලිපි මාලාවේ පළමු කොටස ඔබ වෙත ගෙන ආවා. ඒ සඳහා ඔබෙන් ඉතාමත් ඉහළ මට්ටමින් ප්‍රතිචාර ලැබිලා තිබ්බේ ලිපිය සඳහන් කළා වගේම ලංකාවෙන් හමුවෙච්ච මිල කළ නොහැකි මැණික් පොකුරක් පිළිබඳව කතාබහක් ඇතිවෙලා තිබ්බ පසුබිමක. අද වෙද්දී නම් ඒ මැණික් පොකුර සමාජ මාධ්‍ය වලට වගේම ප්‍රධාන පෙළේ මාධ්‍යවලටත් අමතක වෙලා ගිහිල්ලා. අපිට ඒ ගැන හරි තොරතුරු දැනගන්න හම්බවෙන්නේ ඉදිරියේදී කියලා තමයි උපකල්පනය කරන්න පුළුවන්. එහෙමනම් ඒ ගැන වැඩිදුරටත් කතා කරන්නෙ නැතුව ලංකාවේ මුණගැහුණු මිල කළ නොහැකි තවත් මැණික් කීපයක් පිළිබඳව දැනගනිමු.
1. රොසර් රීව්ස් ස්ටාර් රූබී (Rosser Reeves Star Ruby)
මෙම මැණික හමුවී තිබෙන්නේ ශ්‍රී ලංකාවෙන් බව සනාථ වී ඇතත් එහි ඉතිහාසය පිළිබඳව විස්තරාත්මක වාර්තාවක් නැහැ. දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන රොසර් රීව්ස් මෙම මැණික තමන් යන සෑම තැනකම රැගෙන ගියේ එය තමන්ට වාසනාව කැඳවන බව විශ්වාස කළ නිසයි. ඔහුගේ නමින් මෙම මැණික නම් කෙරෙන අතර පසු කලෙක ඔහු විසින් මෙම මැණික ස්මිත්සෝනියන් ආයතනය වෙතට පරිත්‍යාග කරනු ලැබුවා.
2. බ්ලැක් ප්‍රින්ස් රූබී (Black Prince Ruby)
මෙම මැණිකේ මුල්බිම ශ්‍රී ලංකාවද එසේත් නැතිනම් ටජිකිස්ථානයද යන්න පිළිබඳව මතභේදයක් තිබුණත් එය ශ්‍රී ලංකාවේ වීමට වැඩි ඉඩකඩක් පවතින බව බොහෝ ඉතිහාසඥයන් විශ්වාස කරනවා. මෙම මැණිකේ අයිතිය බ්‍රිතාන්‍ය රජ පවුලට හිමිවී තිබෙන්නේ 1367 තරම් ඈත අතීතයේ වන අතර වර්තමානයේදී ඉම්පීරියල් ස්ටේට් ක්‍රවුන් නම් කිරුළේ මධ්‍යයේ මෙම මැණික රඳවා තිබෙනවා.
3. එම්ප්‍රස් මාරියාස් සැපායර් (Empress Maria’s Sapphire)
රුසියාවේ රජකළ දෙවැනි ඇලෙක්සැන්ඩර් අධිරාජයා ලන්ඩනයේ පැවති වෙළඳ ප්‍රදර්ශනයකදී මෙම මැණික මිලදී ගෙන තිබෙන්නේ සිය අධිරාජිනිය වන මාරියා වෙනුවෙනුයි. ඇගේ මරණයෙන් පසුව රුසියානු රජය බාරයට පත් වුණ මෙම මැණික වර්තමානයේ දී රුසියානු දියමන්ති භාරයේ සුරක්ෂිතව පවතිනවා.
4. බිස්මාක් සැපායර් (Bismarck Sapphire)
1920 දී පමණ ලංකාවෙන් හමු වී ඇතැයි සඳහන් වන මෙම මැණික පිළිබඳවද විවිධ පරස්පරතා පවතිනවා. ඇතැම් වාර්තාවලට අනුව බුරුමයේදී මෙම මැණික හමුවී ඇති අතර විකුණා තිබෙන්නේ ලංකාවේදියි. කෙසේ නමුත් මැණික් ඉතිහාසඥයන් බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ මෙම මැණික හමු වී තිබෙන්නේ ලංකාවෙන් බවයි. බිස්මාක් නම් කුලීන කාන්තාවකට මෙම මැණික ඇගේ සැමියා විසින් සිය මධුසමය අතරතුර තිළිණයක් ලෙස ලබාදී ඇති අතර පසු කාලයක ඇය විසින් එය ස්මිත්සෝනියන් ආයතනයට පරිත්‍යාග කොට තිබෙනවා.
5. දි අයි ඔෆ් ලයන් (The Eye of Lion)
අති දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන මෙම මැණික හමුවී තිබෙන්නේ පැල්මඩුල්ලේ කුඹුරකින් බව ජනප්‍රවාදවල කියවෙනවා. මෙම මැණිකේ අයිතිය ඉද්දමල්ගොඩ පවුලට හිමිවුණු අතර එම පරම්පරාවේ පසුකාලීන සාමාජිකයන් විසින් එහි අයිතිය ස්මිත්සෝනියන් ආයතනය වෙත පවරා තිබෙනවා.
6. ද ස්ටාර් ඔෆ් අර්ටබාන් (The Star of Artaban)
මෙම මැණික වර්තමානයේදී ස්මිත්සෝනියන් ආයතනයේ ප්‍රදර්ශනයට තබා තිබෙන අතර ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති බවට වාර්තා තිබුණත් ඒ අතීතය පිළිබඳව විස්තරාත්මක සටහනක් නැහැ. හෙන්රි වෑන් ඩයික්ගේ “දි අදර් වයිස් මෑන්” නම් කතාවේ එන චරිතයක් ඇසුරෙන් මැණික සඳහා නම තබා තිබෙනවා.
7. ස්ටාර් ඔෆ් බොම්බේ (Star of Bombay)
මේ මැණිකේ නම නිසා ඇතැම් පාර්ශව මෙහි අයිතිය ඉන්දියාවට ලියා දීමට තැත් කළත් මැණික් විශේෂඥයන්ගේ අදහස වන්නේ මෙම මැණික ශ්‍රී ලංකාවෙන් හමු වුණු එකක් බවයි. වර්තමානයේ ස්මිත්සෝනියන් ආයතනයේ ප්‍රදර්ශනයට තබා ඇති මෙම මැණික කැරට් 182 ක බරකින් යුක්ත වනවා. දැනට ඇති වාර්තාවලට අනුව ඩග්ලස් ෆෙයාර්බෑන්ක් නම් ධනවතා 1920 දී පමණ සිය බිරිඳට මෙම මැණික ත්‍යාගයක් ලෙස ලබාදී ඇති අතර ඇය විසින් පසුව එය ස්මිත්සෝනියන් ආයතනයට පරිත්‍යාගයක් ලෙස ලබාදී තිබෙනවා.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply