මේක ඇත්තටම ලෝකේ සෑහෙන්න තැන් වල, සෑහෙන්න රටවල තියෙන ප්‍රශ්නයක්. ඇපාතයිඩ් නැතිනම් වර්ණ භේද වාදය කියන්නෙත් මේකෙම වෙනම පැත්තක්. කොටින්ම කියනවා නම් අපි මේ කතා කරන්නේ ලෝකේ මිනිස්සුන්ගේ හමේ පැහැපත් බව අඩු වැඩි වීම, එහෙම නැතිනම් කළු සුදු පරතරයත් එක්ක එන ප්‍රශ්න ගැන. ඇත්තටම හමේ පාට කළු හෝ සුදු හෝ තළෙලු වුණා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඒ ගැන තියෙන සමාජ ආකල්ප වල. ඒ කියන්නේ කළු කැතයි/පහත්, සුදු ලස්සනයි/උසස් කියලා හිතන හණමිටි මානසිකත්වේ. හැබැයි වාසනාවකට දැන් වෙනකොට ඒ තත්ත්වය සෑහෙන්න වෙනස් වේගෙන යනවා. වෙනස් වේගෙන ගියා කියල සමාජයෙන් සම්පූර්ණයෙන්ම තුරන් වෙලා නෑ. ඒ නිසා තාමත් සමහරු ඉන්නවා තමන් සුදු නෑ කියලා, එහෙම නැතිනම් පැහැපත් නෑ කියලා හිත කරදර කරගන්න. අන්න ඒ නිසා අපි හිතුවා, ඒ හිත් කරදරය නැති කරගන්න ටිප්ස් කීපයක් ලබාදෙන්න.
1. විද්‍යාත්මකව හිතන්න
පළවෙනිම කාරණාව තමයි මේක. ඇයි මිනිස්සු හමේ පාටින් කළු හරි සුදු හරි තළෙලු හරි වෙන්නේ? සරලයි. කෙනෙක්ගේ හමේ තියෙන මෙලනින් මට්ටම අනුව තමයි හමේ පාට තීරණය වෙන්නේ. ඒ මෙලනින් මට්ටම තීරණය වෙන්නේ අපේ බුද්ධිය උසස්ද, බුද්ධිය අඩුද, තත්ත්වයෙන් උසස්ද, තත්ත්වයෙන් අඩුද වගේ කාරණා උඩ නෙවෙයි. මෙලනින් මට්ටම තීරණය වෙන්නේ අපේ අතීත මුතුන් මිත්තෝ ජීවත් වුණේ මොන භූගෝලීය පසුබිමකද වගේ කාරණා උඩ. ඇත්තම කියනවා නම්, සුදු ජාතිකයෝ, කළු ජාතිකයෝ වගේ එව්වා අපි හදාගත්තු දේවල්. කොකේසියානුවෝ, ආසියාතිකයෝ, ස්වදේශික ඇමරිකානු, අප්‍රිකානු වගේ එව්වත් මානව විද්‍යාවේ පහසුවට හදාගත්තු එව්වා. සරල කතාව වෙන්නේ අපි ඔක්කොම එක පෘතුවියක ජීවියෝ කියන එක තමයි. ගතිගුණ වල හොඳ නරක අතින් මිසක් වෙන කිසිම දේකින් එක මනුස්සයෙක්, තව මනුස්සයෙක්ට වඩා උසස් හෝ පහත් වෙන්නෙ නෑ. අන්න ඒ විද්‍යාත්මක සත්‍යය තේරුම් ගන්න එක තමයි පළවෙනි කාරණාව.
2. ජීවිතේ දිනන්න පැහැපත් වීම අදාළද?
ජීවිතේ ජයගන්න සම පැහැපත් වීම අදාළද? එහෙම නැතිනම් සම අඳුරු වර්ණ වීම අදාළද? ලේසි උත්තරේ තමයි නෑ කියන එක. අමාරු උත්තරේ තමයි ඒක ටිකක් සංකීර්ණයි කියන එක. හරි, අපි ඒක පැහැදිළි කරගමු. ඇත්තටම ශ්‍රී ලංකාව වගේ රටක සමේ වර්ණය පැහැපත් මිනිස්සු වගේම සමේ වර්ණය අඳුරු මිනිස්සුත් ඕන තරම් ඉන්නවා. එතකොට ඉන්ටර්වීව් එකකට ගියහම හමේ වර්ණය දිහා බලලා කෙනෙක්ව ජොබ් එකට ගන්නෙ නැහැනේ. සමහර විට එහෙම වෙන්න පුළුවන්. හැබැයි අපි හැමෝම එකඟ වෙනවා එහෙම කරන්න බෑ, ඒක වැරදියි කියලා. අන්න එතකොට, අපිට ජීවිතේ තැනකට යන්න හමේ වර්ණය අදාළම නෑ.
හැබැයි දැන් ඔය වර්ණභේදවාදය වගේ දේවල් එක්ක, සමහර රටක ඔය සමේ වර්ණය කියන එක ජීවිතේ දිනනවා කියන කතන්දරේට අදාළ වෙන්න පුළුවන්. ඒක තමයි සංකීර්ණ කතාව. හැබැයි ඒ තත්ත්වය පවා මේ වෙනකොට වෙනස් වෙමින් තමයි පවතින්නේ. ඒ නිසා, තමන්ට සාර්ථකත්වයට යන්න වුවමනාවක් තියෙනවා නම්, ඒත් සමේ වර්ණය කියන එක ඒ වගේ රටකදී පවා අදාළ නොවෙන තැනට වැඩ කරන්න පුළුවන්.
3. ලස්සන සමක්, ලස්සන පෙනුමක්
මෙන්න මේක වෙනම කාරණයක්. අපි හැමෝටම ලස්සනට ඉන්න පුළුවන්. අපි හැමෝටම ලස්සන වෙන්න පුළුවන්. ඒකට අපි උපතින් ජෛව විද්‍යාත්මකව අරගෙන එන සමේ වර්ණය මොකක්ද කියන එක අදාළ වෙන්නෙ නෑ. උදාහරණයක් විදියට කිවුවොත්, අපි අපේ ශරීර සුවතාව ගැන, ශරීර සෞඛ්‍යය ගැන හරියට හොඳට හිතනවා නම්, ඒකේ කොටසක් තමයි සම ආරක්ෂා කර ගැනීමත්. ඒ කියන්නේ, අපි කළු පාට වුණත්, සුදු පාට වුණත්, නිරෝගී ලස්සන සමක් තියෙනවා නම්, ඒක තමයි වැදගත් වෙන්නේ. ඉතින් අන්න ඒකට අපිට කරන්න ඕන තරම් දේවල් තියෙනවා. සමබල පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගන්න එකේ ඉඳලා, දවසකට ප්‍රමාණවත් තරමින් වතුර බොන එක දක්වා කරන්න දේවල් තියෙනවා. අන්න එතකොට අපිට නීරෝගී ලස්සන සමක් එක්ක ලස්සන පෙනුමක් තියෙනවා නම්, ඇත්තටම හමේ පාට මොකද්ද කියන එක අදාළ නෑ.
අමතක කරන්න එපා, කළු පාට මොඩ්ල්ස්ලා ඕන තරම් මේ ලෝකේ ඉන්නවා.
4. සාර්ථකත්වය කරා නොපසුබටව
අර කලින් කියපු සාර්ථක වෙන්න සමේ පෙනුම අදාළද නැද්ද කියන කාරණාවට මේකත් සම්බන්ධයි. අපිට කළුයි කියලා හිතේ අප්සට් එකක් තියෙනවා නම්, ඒකට කරන්න තියෙන එක දෙයක් තමයි තමන්ගේ ජීවිතේ සාර්ථකත්වය කරා මෙහෙයවන එක. තමන්ට හොඳ පදනමක් දාගන්න එක. එතන ඉඳන් නොපසුබටව සාර්ථකත්වය කරා ඉදිරියට යන එක. ඒකෙන් දේවල් දෙකක් වෙනවා. එකක් තමයි තමන්ට ඉතාම හොඳ ආත්ම විශ්වාසයක් තමන් කෙරෙහි ඇතිවෙන එක. අන්න ඒ වගේ ආත්ම විශ්වාසයක් අපිට තියෙනකොට, අපේ හමේ පාට මොකද්ද කියන එක අපිට අදාළම නැතුව යනවා. දෙවෙනි කාරණාව තමයි, සමාජයට අපිව හමේ වර්ණය අනුව දකින්න ඉඩක් නැති වීම. ඒ වෙනුවට අපේ සාර්ථකත්වය ඔස්සේ තමයි සමාජය අපිව දකින්නේ.
5. සුවිශේෂීත්වයක් ඇති කරගන්න
උඩ කියපු විදියට අපි ගැන හොඳ ආත්ම විශ්වාසයක් ඇති කරගන්න සහ සමාජයට අපිව හොඳ ආත්ම විශ්වාසයකින් යුතුව ඉදිරිපත් කරන්න අදාළ වෙන තවත් දෙයක් තමයි අපි සුවිශේෂී වීම. ඒ කියන්නේ, අපේ ඇඳුමින් පැළඳුමින් වුණත් විශේෂ වීම. අපේ ගතිලක්ෂණ වලින් පවා විශේෂ වීම. මේක ඇත්තටම කරන්න අමාරු වැඩක් නෙවෙයි. හිතන්න මේක තමන්ව බ්‍රෑන්ඩ් එකක් බවට පත් කරගැනීමක් කියලා. අපි අනිත් හැමෝම අඳින පළඳින විදිය අනුව නැතුව, අපේ ශරීරයේ විදියට, අපේ හමේ වර්ණයට අනුව, අපේම විදියකට සුවිශේෂී විලාසිතාවක් තෝරගන්නවා. ඒ වගේ දේකට ඒ සම්බන්ධ එක්ස්පර්ට්ලගේ උදවු ගන්න පුළුවන්. ඒ වගේම, අපි හැසිරෙන, කතාබහ කරන විදිය පවා අපිට හොඳ පැත්තට සුවිශේෂී කරගන්න පුළුවන්. අපි අන්න ඒ විදියට සුවිශේෂී මනුස්සයෙක් විදියට අපිව බ්‍රෑන්ඩ් කරගත්තහම, අපිව මුණගැහෙන කිසිම කෙනෙක්ට අපේ හමේ පාට අදාළ වෙයි කියලා හිතනවද?
6. ආදරේ: එයාගේ තෝරාගැනීම් සහ මගේ තෝරාගැනීම්
මෙන්න මේක නම් ටිකක් සංවේදී කාරණයක්. මොකද මේක පුද්ගලික තෝරාගැනීම් සම්බන්ධ කාරණාවක් නිසා. දැන් ලව් කරන්න කෙනෙක්ව තෝරගන්නකොට ලෝකේ ගොඩක් අයට යම් යම් තෝරාගැනීම් තියෙනවා. සමහරු හොයනවා උස, සුදු කොල්ලෙක්ව. සමහරු හොයනවා තමන්ට වඩා මිටි, කොන්ඩෙ දිග, තළෙලු කෙල්ලෙක්ව. ඔය වගේ විවිධ තෝරාගැනීම් තියෙනවා. දැන් එතකොට අපි කියමු කවුරුහරි කෙනෙක් අපි කළුයි කියලා ප්‍රතික්ෂේප කළා කියලා? හිත රිදෙනවද? ඔව්, ඒක එහෙම තමයි. ඒත් ඒක පර්සනල් ගන්න එපා. අපිට කෙනෙක්ගේ කැමැත්ත වෙනස් කරන්න බැහැනේ. අපි කන කෑම වර්ග වගේම, කන්න ආස නැති කෑම වර්ග තියෙනවා. ඒ වගේ තමයි. විශේෂයෙන්ම ආදරය, විවාහය වගේ තැනකදී කෙනෙක් තමන්ගේ පුද්ගලික තෝරාගැනීම් වලට තැන දීම විවේචනය කරන්න අපිට බෑ.
හැබැයි අපි කියමු කෙනෙක් අපිව ආදරේ කරන්න හරි, ජීවිතේ එකට ගෙනියන්න හරි තෝරගෙන, ඊට පස්සෙත් අපේ හම පැහැපත් නෑ කියලා වෙනස්කම් කරනවා කියලා. ආන්න ඒක ප්‍රශ්නයක්. එහෙම නම් කෙලින්ම උන්දැගෙ පස්සට පයින් දෙකක් දීලා ඒ සම්බන්ධයෙන් අයින් වෙන්න. එච්චරයි!
7. තමන්ගේ අදහස් වෙනස් කරගන්න
අන්තිමට ඉතින් මේ හැමදෙයක්ම කැරකිලා එන්නේ අපි ඇත්තටම අපි ගැන හොඳ හැඟීමකින්, ආත්ම විශ්වාසයකින් ඉන්නවාද කියන තැනට තමයි. අපි මුලින්ම අපේ හිතෙන් මේ කළු සුදු භේදය අතඇර ගන්න ඕන. කළුයිද සුදුයිද කියන එක සම්පූර්ණයෙන්ම ජීව විද්‍යාත්මක සාධකයක් මිසක්, සමාජ තත්ත්වයට හරි උස් පහත් භේදයකට හරි අදාළ කාරණාවක් නොවෙයි කියන එක අපි වටහා ගන්න ඕන. අපි ඒක තේරුම් ගන්න කොට, අපිට ඒකෙන් වෙනසක් දැනෙන්නෙ නෑ. අපිට ඒකෙන් වෙනසක් නොදැනෙන කොට, අපිට අපි ගැන හොඳ ආත්ම විශ්වාසයකින්, ආත්ම සම්මානයකින් ජීවත් වෙන්න පුළුවන් වෙනවා. අන්න එතකොට, අපි වටේ ඉන්න අයටත් අපේ ඒ ආත්ම විශ්වාසය දැනෙනවා. අන්න එතකොට කවුරුවත් අපි කළුයි කියලා වෙනසක් කරන්න හිතන එකක් නෑ.
දැන් පැහැදිළියිනේ කළු වීම හෝ සුදු නොවීම කියන්නේ කිසිසේත්ම ගැටළුවක් නෙවෙයි කියන එක. කිසිම කෙනෙක් හමේ පැහැය නිසා කිසිම තැනකදී කොන් වෙන්න අවශ්‍ය නැහැ. එහෙම කොන් කිරීමක් හරි වෙනස් කොට සැලකීමක් හරි වෙනවා නම්, දෙපාරක් හිතන්නෙ නැතුව ඊට විරුද්ධව නැගී සිටින්න.
Leave a Reply