අපි ගෙදර බල්ලෝ ඇතිකරනකොට සමහර වෙලාවට හිතෙනවා ‘අම්මෝ අපි මුන් හින්දා විඳින දුකක්’ කියලා. ඒත් ගෙදර ඉන්න, අපේ ළඟට වෙලා ලෙංගතුව ඉන්න බලු සුරතලා කියන්නේ අපිට මිනිස් යාළුවන්ටත් වඩා විශ්වාසවන්ත සමීප කෙනෙක්. ඉතින් මේ බලු සුරතලා අපිව හැර යාම දුකක්. ඒක එහෙම වෙන්නේ ඇයි? ඒ දුක තුනී කරගන්න මොනවද කරන්න පුළුවන් කියලා අපි ටිකක් හොයා බලමු.
1. මිනිසාගේ ළඟම හිතවතෙක් වීම
මිනිසා කියන්නේ මොළයෙන් ලොකුම සතා. මිනිසාට ආසන්න කපාල ධාරිතාවය තියෙන සත්තු කොපමණ හිටියත් බල්ලා මිනිසාට කාලයක පටන්ම ලංවෙලා තියෙනවා. සේපියන් මානවයෝ බල්ලන් විවිධ කටයුතු වලට යොදාගෙන තියෙනවා. මුලින්ම මිනිස්සු විසිකරන මස්කටු කන්න හුරුවුණ බල්ලෝ පසුව ගෘහවාසයට එකතු වුණා. ඔවුන්ගෙන් එදා පටන් අද දක්වා නොයෙක් වාසි මිනිස්සුන්ට ලැබෙනවා. ඇමරිකාවේ කළ පරීක්ෂණයකින් සුරතල් බල්ලන්ව ගෙදරම සාමාජිකයෙක් විදිහට සළකන්න මිනිස්සු හුරු වෙලා තිබෙන බවට ඔප්පු වී තිබෙනවා.
2. බලු වියෝව
බල්ලගේ ජීවන කාලය අවුරුදු දහයක් විතර වෙනවා. අපි කොපමණ හොඳින් ඌව බලාකියා ගත්තත් නිසි වයසක් ආවම ඌ අපිව දාලා යනවා. මේක බල්ලන් ඇතිකරන, බල්ලන්ට ආදරය කරන අයට තියෙන කටුක අත්දැකීමක්. මේ අත්දැකීම නිසාම සමහරු නැවත බල්ලන් ඇතිකරන්නට පවා බය වෙනවා. අපි ළඟ මිනිස් ඥාතියෙක් හිටියත් ඔවුන් අපි ගෙදර ඉන්න හැම වෙලාවෙම අපිට ලෙංගතු නැහැ. බල්ලා කතාබස් නොකළත් අපි ළඟින් අපි එක්ක නිතරම ඉන්න නිසා ඒ වේදනා අපිට දැඩිව දැනෙනවා.
3. හැඬීම ලැජ්ජාවක්ද?
සුනඛ සුරතලෙකු අපි ගෙදරම ඉන්න සාමාජිකයෙක් වගේ කවලා පොවලා ලෙඩදුකේදි බලලා හදනවා. ඉතින් ඌ දාල ගියාම අඬන දොඩන එක, අවමංගල අවස්ථාවේ දුක් වෙන එක ලොකු දෙයක් නෙමෙයි. සමහර අය පසුගිය කාලේ බල්ලා වෙනුවෙන් ආගමික වතාවත් පවා කරලා තිබුණා. ඒවායෙන් පවා මානසික සහනයක් අපිට ලැබෙනවා. මේ වැළපීම, සමීපතමයා වෙනුවෙන් කරන කඳුළු සැලීම, දුක්වීම කියන්නේ බොහොම සාමාන්‍ය දෙයක්. එය තුළින් අපගේ මානසික දුර්වලකමක් නිරූපණය වෙනවා කියලා හිතන්න හොඳ නැහැ.
4. මිතුරන් සහ සමීපතමයින් සමග එක් වීම
දැන් නම් ගෙවල්වල එක බල්ලාට අමතර තව බලු සුරතලුන් ඇති කරනවා. ඒ වගේම වෙනත් සුරතල් සතුන් ඉන්නවා. වැඩිහිටියන්ට නම් ළමුන් ඉන්නවා. ඉතින් ඔය විවිධ ආකාරයේ විවිධ ජීවන භූමිකා වගකීම් මැද තමයි අපි ජීවත් වෙන්නේ. වියෝව කියන්නේ සිතට අමාරු දෙයක් තමයි. ඒත් අපි නැවතත් සාමාන්‍ය ජීවිතයට කෙමෙන් කෙමෙන් ඇතුළත් වෙන්නට ඕනි. ගෙදර අය සමග සහ අනෙක් සුරතලුන් සමග ගතකරන කාලය වැඩිකළොත් ඒ පැරණි මතකයන් හෙමෙන් හෙමින් ඈත් වෙන්න එය උදවුවක් වේවි.
5. සුරතලුන්ට වෛර කරන අය හා ඈත්වීම, ආදර කරන අය හා ලංවීම
ලංකාවේ කොපමණ බල්ලන්ට ආදරය කරන පිරිසක් හිටියත් තවමත් බල්ලන් ඇතිකිරීම සහ උන් නිවසට ගැනීම ගැන දැඩි මත තියෙන වැඩිහිටි තරුණ පිරිසක් ඉන්නවා. ඒ වගේ බල්ලන්ට එච්චරම කැමති නැති අයට බල්ලෙක් නැතිවුණු එකේ දුක හරියට දැනෙන්නේ නැහැ. ඔවුන් නිතරම ‘බල්ලා කියන්නේ ඔච්චර දුක්වෙන්න දෙයක්ද? අයියෝ ඕකත් දුකක්ද?’ ආදී දේවලින් ඔබේ සිත තවත් පාරවන්නට බලාවි. ඒ නිසා සැබැවින්ම බල්ලන්ට ආදරේ අයට විතරක් ඔයාගේ දුක කියලා එය තුනී කරගන්න උත්සාහ කරන එක වටිනවා.
6. සුභසාධන වැඩට දායක වීම
බලු සුරතලුන් වගේම වීදි වල සිටින සුනඛයොත් අපිට බොහොම සමීපයි. අපි හැකි පමණ ඔවුන්ගේ ගැනත් සොයාබලන්න කටයුතු කරනවා. ඒ වගේ සංවිධාන තියෙනවා. ඔවුන් වීදි සුනඛයින් සොයා ගිහින් බේත් හේත් කරනවා, වඳ සැත්කම් කරනවා. ඒ වගේම කෑම ආදිය දෙනවා. සංස්කෘතිකව උනත් අපි අතර බලු කපුටු දාන ආදිය දෙන ගතිසිරිත් තියනවා. ඉතින් නැසීගිය බල්ලාට පින් පැමිණවීමටත් ඒ වගේ පිංකම් උපයෝගී කරගන්න පුළුවන්. ඒ වගේම ඒවා හරහා සිතට ලොකු සහනයක් ලැබෙනවා.
7. අපේ දුක මතක සටහන් විදිහට එකතු කිරීම
අපිට දුක හිතුණාම ඉස්සර නම් පොත්වල ලියනවා. දැන් නම් කලාතුරකින් අපි ඒවා ෆේස්බුක් දානවා. ෆේස්බුක් එක ඇතුළේ වුණත් සුනඛයින්ට හිතවත් අය ඉන්න තැන් තියෙනවා. ඒ වගේම අපි වගේම සංවේදී අය ඉන්න සත්ව කව තියෙනවා. අපේ නැතිවූ යාළුවා ගැන තියෙන දුක ඒ වගේ තැනකට ගිහින් බෙදාගත්තොත් ඒ වගේ අත්දැකීම් තියෙන අනෙක් අයත් එක්ක අපිට සම්බන්ධ වෙන්න ලැබෙනවා. තවත් කෙනෙක්ට තියෙන දුක අපේ දුකට සමාන නැහැ. ඒත් එකම ජාතියේ නැතිවීම, අහිමිවීම නිසා අපිට පොදු වූ කාරණාවක් එතැනදි එකතු වෙනවා.
දියුණු රටවල ඉන්න ඇතැම් මිනිස්සු ජීවිතයේ නිදහස, පුද්ගලිකත්වය ප්‍රිය කරන නිසා ඔවුන්ට වඩාත් සමීප කෙනෙක් විදිහට බලු සුරතලෙක් තියාගෙන ඉන්නවා ඉතින් එයාලට බලු සුරතලාගේ වියෝව දරාගන්න එක තවත් අමාරුයි. ඒ නිසා එයාල වියෝවී ගිය බල්ලන් ගැන විවිධ විදිහට කතාබහ කරනවා. එකතු වෙනවා. අපි ඒ මට්ටමට ගියේ නැතත්, ඒ අත්දැකීමට මුහුණ දෙන කෙනෙක් දිහා සීරියස් විදිහට බලන්න පුරුදු වෙන්න ඕනි. ‘අපි නම් දුක් වුණේ නැහැ, මෙයාලගේ ෂෝ එක’ කියලා ඒක අමානුෂික විදිහට දකින්න හොඳ නැහැ. එක් එක් අයගේ තත්ත්වය ගැන අවබෝධයෙන්, සංවේදීව ඒ දුක දරාගන්න උදව් කරන එක අපි හැමෝම හුරුකරගන්න වටින හොඳ ගතියක්.
Leave a Reply