ඉන්දියාවේ ප්‍රාන්ත ගැන තොරතුරු (තුන් වැනි කොටස)

ඉන්දියාවේ ප්‍රාන්ත පිළිබඳව අපි ගෙනාපු දෙවැනි ලිපියටත් පාඨක ඔබගෙන් ඉතාමත් ඉහළ මට්ටමේ ප්‍රතිචාර ලැබිලා තිබුණා. මේ නිසා අපි හිතුවා අද ඔබට එම ලිපි පෙළේ තුන්වැනි කොටස ගෙන එන්න. සමාජ මාධ්‍යවල බහුල වශයෙන් අදහස් දක්වන බොහෝ දෙනෙක් ඉන්දියාව පිළිබඳව සෘණාත්මක ආකල්පයක් දැක්වූවත් නිහඬ බහුතරය ඉන්දියාවේ ජයග්‍රහණ පිළිබඳ නිරන්තර අගය කිරීමට ලක් කරන බවත්, අපේ අසල්වැසි ඉන්දියාව පිළිබඳව අපි දන්නා ප්‍රමාණය අල්පයක් බව පිළිගන්නා පිරිසක් බවත් ඒ ප්‍රතිචාරවලින් අපිට පැහැදිළි වුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ භූ දේශපාලනය සම්පූර්ණයෙන්ම පාහේ බැඳිලා තියෙන්නේ ඉන්දියාවත් එක්ක. එහෙමනම් අපි තවත් ඉන්දීය ප්‍රාන්ත කිහිපයක් පිළිබඳව අපි අද දැන ගනිමු.

 

ඉන්දියාවේ ප්‍රාන්ත ගැන තොරතුරු

ඉන්දියාවේ ප්‍රාන්ත ගැන තොරතුරු (දෙවෙනි කොටස)

 

1.චටස්ගා

මේ ප්‍රාන්තයේ නම අහපු ගමන් ඔබට පුදුමත් හිතෙන්න පුළුවන් මේ වගේ ප්‍රාන්තයක් ඉන්දියාවේ තියෙනවද කියලා. චචටස්ගා ප්‍රාන්තය නිර්මාණය වෙන්නේ 2000 දී. මධ්‍ය ප්‍රදේශයේ කොටසක් තමයි මෙනමින් ප්‍රාන්තයක් විදිහට ප්‍රකාශයට පත් කෙරුණේ. මෙවැනි ප්‍රාන්තයක් පිළිබඳ යෝජනාව 1920 තරම් අතීතයකට දිව යන අතර එම ප්‍රදේශයේ ජනතාව දිගින් දිගටම කළ වැඩවර්ජන සහ  උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් ලෙස තමයි මධ්‍ය ප්‍රදේශ් ආණ්ඩුව මේ ප්‍රදේශය නව ප්‍රාන්තයක් විදිහට ප්‍රකාශයට පත්කරන්න තීරණය කළේ.

 

2. ජාර්කන්ඩ්

මෙම ප්‍රාන්තයද බිහිවූයේ 2000 වර්ෂයේ දී වන අතර ඊට පෙර මෙය පැවතියේ බිහාර ප්‍රාන්තයේම කොටසක් ලෙසටයි. කෙසේ නමුත් ඉන්දියාව නිදහස ලබන අවධියේදී පටන්ම මෙම ප්‍රදේශය වෙනම ප්‍රාන්තයක් ලෙසට ප්‍රකාශයට පත්කළ යුතු බවට වන ඉල්ලීම දිගින් දිගටම පැවතුණා. ඊට එක හේතුවක් ලෙස දක්වනු ලැබුවේ මෙම ප්‍රදේශය ආශ්‍රිතව ගෝත්‍රික ප්‍රජාව ජීවත් වීමයි. කෙසේ නමුත් ඊට බලය හිමි පාර්ශ්වවලින් නිසි ප්‍රතිචාර හිමි වුණේ නැහැ. මුල් කාලයේදී ප්‍රාන්ත රජයෙන් ඊට දැඩි විරෝධයක් එල්ල වුවත් අවසානයේදී ජාර්කන්ඩ් ජනතාව සිය අභිලාෂය සාර්ථක කර ගැනීමට සමත් වුණා.

 

3. මනිපූර්

මෙම ප්‍රදේශය මුල්කාලීන ඉන්දියාවට අයත්ව තිබූ ප්‍රදේශයක් නොවන අතර මෙම රාජ්‍යයේ පාලකයාව සිටි අවසාන මහරාජාවරයා ඉන්දියාව නිදහස ලබා ගැනීමත් සමග එම ප්‍රදේශය ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත් කිරීමට සිය එකඟතාවය පළ කළා. මේ නිසාම මෙම ප්‍රාන්තය තුළ ඉන්දියාවෙන් නිදහස ලබාගැනීමට වන ව්‍යාපාරයක්ද සක්‍රීයව පවතින අතර මෙම නිසා ඉන්දියානු රජයේ විශේෂ අවධානය මෙම ප්‍රාන්තය වෙත යොමුව තිබෙනවා.

 

4. මේගල්‍යා 

මෙම ප්‍රාන්තයේ නිර්මාණය කෙරෙන්නේ අසාම් ප්‍රාන්තයට අයත්ව තිබෙන දිස්ත්‍රික්ක දෙකක් එකට එක් කිරීම මගිනුයි. මෙම ප්‍රාන්තයේ නමෙහි වාචික අර්ථය වන්නේ “වළාකුළු නවාතැන” යන්නයි. මෙහි නමින්ම හැඟෙන පරිදි මෙම ප්‍රාන්තය සුන්දරත්වයෙන් අනූන ප්‍රාන්තයක්. කෘෂිකාර්මික ආර්ථිකයක් සහිත මෙම ප්‍රාන්තයේ  භූමියෙන් විශාල ප්‍රමාණයක් වනයෙන් වැසී පවතිනවා.

 

5. මීසෝරාම් 

මෙම ප්‍රාන්තයද අතීතයේ ඇසෑම් ප්‍රාන්තයේ කොටසක්ව පැවති අතර කලක් මෙම ප්‍රදේශයේද ඉන්දියාවෙන් වෙන්ව යාමේ ව්‍යාපාරයක් පැවතුණා. බංග්ලාදේශය සහ මියන්මාරය සමඟ දේශ සීමාවේ පවතින නිසා මෙම ප්‍රාන්තය  ආර්ථික වශයෙන් මෙන්ම ක්‍රමෝපායික වශයෙනුත් ඉන්දියාව තුළ වැදගත්කමක් උසුලනු ලබනවා. නමුත් මෙම ප්‍රාන්තයේ ජනතාව අනෙකුත් ප්‍රාන්තවලට වඩා දිළිඳු බවින් යුක්ත වන අතර ඔවුන් වෙනුවෙන් ආර්ථික ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ප්‍රාන්ත රජය සහ ඉන්දියානු මධ්‍යම රජය අත්වැල් බැඳ ගනිමින් කටයුතු කරනු ලබනවා.

 

6. නාගාලන්තය

නාග නම් ජන වර්ගයට අයත් ගෝත්‍රික ප්‍රජා කණ්ඩායම් රාශියක් මෙම ප්‍රාන්තය ආශ්‍රිතව ජීවත් වෙනවා. මෙම ගෝත්‍රික ප්‍රජාව සහ ඇසෑම් ප්‍රදේශය අත්පත් කරගත් බ්‍රිතාන්‍ය ජාතිකයන් අතර නිතර නිතර ගැටුම් ඇති වුණු අතර එමඟින් දෙපාර්ශවයටම දැඩි හානි සිදුවුණා. ඉන්දියාව නිදහස ලබා ගැනීමේදී මේ ප්‍රදේශවල ජනතාව ආරම්භයේ දී ඇසෑම් ප්‍රාන්තය තුළම තමන්ට ස්වාධීපත්‍යයක් ලබා දෙන ලෙස ඉල්ලීම් කළ අතර පසුව එම ඉල්ලීම වෙනම ප්‍රාන්තයක් දක්වා වෙනස් වුණා. එම ඉල්ලීමට ඉන්දීය මධ්‍යම රජයේ අනුමැතිය ලැබුණත් අද දක්වාම නාගාලන්තය තුළ නොසන්සුන්තාව දිගින් දිගටම පවතිනවා.

 

7. ඔඩීෂා 

අශෝක රජ සම්බන්ධ මහාවංශ  කතා පුවතේ එන පුරාණ කාලිංග රාජ්‍යයේ සීමා පැතිර තිබුණේ වර්තමාන ඔඩීෂා ප්‍රාන්තය තුළයි. මේ නිසා ඉන්දීය පුරා කතාවල මෙන්ම ඉන්දීය ඉතිහාසය තුළත් මෙම ප්‍රාන්තය ආශ්‍රිතව බොහෝ වැදගත් සිදුවීම් සිදුවී තිබෙනවා. මුල්කාලයේදී ඔරිස්සා ලෙස හැඳින්වුණු මෙම ප්‍රාන්තයේ නිල නාමය ලෙස මේ වන විට භාවිතා වන්නේ ඔඩීෂා යන්නයි.

 

ඇතැම් විට සංචාරකයන් විදිහට ඔබ මේ ප්‍රාන්තයක හෝ ප්‍රාන්ත කීපයක සංචාරය කරලා තියෙන්න පුළුවන්. ඒ අත්දැකීම් ගැන කමෙන්ට් එකකින් කියන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *