හද බැඳගත් ඇනිමේෂන් චිත්‍රපටි

ඇනිමේෂන් චිත්‍රපටිවලට පොඩ්ඩෝ වගේම ලොක්කොත් එකම විදිහට ආශා කරනවා. සමහර මනෝ විද්‍යාඥයන් කියන විදිහට පොඩි අයට වඩා සැබෑ ලෝකයෙන් බැහැරවෙලා මනෝ ලෝකයකට පිවිසිලා සංචාරය කරන්න කැමති වැඩිහිටියෝ. මේ නිසා ඇතැම් අවස්ථාවලදී ඇනිමේෂන් චිත්‍රපටි අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් සුදුසු මට්ටමටත් ගිහිල්ලා තියෙනවා කියන එක රහසක් නෙවෙයි. කොහොම වුණත් සිනමා කර්මාන්තය ඇතුළේ ඇනිමේෂන් චිත්‍රපටිවල ආධිපත්‍යය කෙමෙන් කෙමෙන් වැඩි වෙනවා. ලංකාවෙම නිෂ්පාදනය වුණු ඇනිමේෂන් චිත්‍රපටි අද එනවා හෙට එනවා කියල කිව්වට ඒකට බාලගිරි ද මන්දා. මේ සියළු කාරණා හින්දා අපි හිතුවා ලෝකයේ ජනප්‍රිය වෙච්ච ඇනිමේෂන් චිත්‍රපට කීපයක් පිළිබඳව මතකය යළිත් අවදි කරන්න.

 

 

1. Toy Story 

පික්සර් සමාගමේ සහ ඩිස්නි සමාගමේ සුසංයෝගයෙන් බිහි වුණු මෙම චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටිය සැළකෙන්නේ ලෝකයේ පළමු වතාවට පරිගණක පමණක් භාවිතා කරමින් නිපදවූ චිත්‍රපටය විදිහට. මිනිසුන් නොමැති වෙලාවට සජීවී බවට පත්වන සෙල්ලම් බඩු කිහිපයක් ආශ්‍රිතව මෙම කතා මාලාව ගොඩනැගෙනවා. 1995 දී මෙහි පළමු චිත්‍රපටිය ලොව පුරා තිරගත වීමෙන් පසු එය ඩොලර් මිලියන 350කට අධික මුදලක් උපයනු ලැබුවේ එහි නිෂ්පාදකයාවත් අපේක්ෂා නොකළ අන්දමිනුයි.

 

 

2. The Lion King

මේ චිත්‍රපටි මාලාව ලංකාව තුළත් අතිශයින් ජනප්‍රිය වූ චිත්‍රපටි මාලාවක්. සිම්බා නම් සිංහ පැටවෙකු වටා ගෙතී තිබෙන මෙම කතා මාලාවේ පළමු චිත්‍රපටිය වන “Lion King” 1994 වර්ෂයේ දී තිරගත වූ අතර එය ලොව වටා තිරගත කිරීම් මගින් ඩොලර් මිලියන  763ක ආදායමක් උපයා ගැනීමට සමත් වුණා.

 

 

3. Beauty and the Beast

ලෝකය පුරා අතිශයින් ජනප්‍රිය සුරංගනා කථාවක් වන මෙම කතාව ඇනිමේෂන් චිත්‍රපටයක් බවට පත් කිරීමට ඩිස්නි සමාගම උත්සාහ කර තිබුණේ 1930 තරම් අතීතයකදියි. ඉන්පසුව නැවතත් 1950 දී උත්සාහ කළත් එය ද අසාර්ථක වුණා. කෙසේ නමුත් 1991 වසරේදී ඔවුන් සාර්ථක වූ අතර මෙම චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ගේ මෙන්ම විචාරකයන්ගේ ද ඉහළ අවධානයට ලක් වුණා.

 

 

4. Inside Out 

සාමාන්‍යයෙන් ඇනිමේෂන් කතාවලට පාදක වන සුලභ තිර රචනයකට එහා ගිය කතාවක් මේ චිත්‍රපටිය තුළ ඇතුළත් වුණා. කුඩා දැරියක්  තුළ පවතින විවිධ හැඟීම් මත පදනම්ව මෙම චිත්‍රපටියේ කතා පුවත ගොඩනැඟුණා. මෙම තිර පිටපත් රචකයා සිය දියණියගේ හැසිරීම නිරීක්ෂණය කිරීම මගින් එය සිදු කළ බව පසුව ප්‍රකාශ කර තිබුණා. මෙම චිත්‍රපටයද බොක්ස් ඔෆිස් වාර්තා තැබීමට සමත් වූ අතර එහි පළමු වටයේ සමස්‍ත ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 858ක් පමණ වනවා.

 

 

5. Up 

තම මියගිය බිරිඳට වන පොරොන්දුවක් ආරක්ෂා කිරීමට සහ අසල්වැසි දරුවෙකුට විස්මිත ලෝකයක් පෙන්වීමට සිය නිවස මත බැලූන් දසදහස් ගණනක් ගැටගැසීම මගින් ගුවනින් දකුණු ඇමරිකාව බලා යන වයස්ගත පුද්ගලයෙකු වටා මේ කතා පුවත ගෙතී පවතිනවා. එහිදී වැඩි වශයෙන් අවධානය යොමු වන්නේ ඔහු හා කුඩා දරුවා අතර පවතින මිතුරුදමටයි. මෙම චිත්‍රපටය 2009 වසරේ දී තිරගත වූ අතර කෑන්ස් චිත්‍රපටි සම්මාන උලෙළ නියෝජනය කළ පළමු ඇනිමේෂන් චිත්‍රපටිය වීමේ වාර්තාව ද එය විසින් හිමි කර ගනු ලැබුවා.

 

 

6. Fantastic Mr. Fox

රෝල් ඩාල්ගේ මෙම නමින්ම යුතු ළමා නවකතාව ආශ්‍රයෙන් නිර්මාණය කෙරුණු මෙම චිත්‍රපටය තිරගත වූයේ 2009 වර්ෂයේදීයි. මෙම චිත්‍රපටය Mr.Fox වටා ගොඩනැගෙන අතර ඔහු විසින් සිදු කරනු ලැබූ සොරා ගැනීම්වල ප්‍රතිඵලයක් ලෙස ගොවීන් කීපදෙනෙකු Mr.Fox ඇතුළු සතුන් විනාශ කිරීමට උත්සාහ කිරීමත්, එම අභියෝගයට ඔවුන් මුහුණ දෙන ආකාරයත් මෙම චිත්‍රපටයේ තිර පිටපත තුළ විහිදී යනවා.

 

 

7  Hercules 

සුප්‍රකට ග්‍රීක වීරයෙකු වන හර්කියුලීස්ගේ ජීවිත කතාව ආශ්‍රය කරගෙන මෙම චිත්‍රපට තිර පිටපත ගොඩනැගී තිබූ අතර එහි පූර්ව නිෂ්පාදන කටයුතුවලදී විවිධ ප්‍රශ්න ඇතිවුණු බව පසුව කියවුණා. 1997 වර්ෂයේදී මෙම චිත්‍රපටය තිරගත වූ අතර නිෂ්පාදකයන් අපේක්ෂා කළ මට්ටමේ ආදායමක් එයට නොලැබුණු බව කියවෙනවා.

 

එහෙම නම් ඉතින් ඔබේ ප්‍රියතම ඇනිමේෂන් චිත්‍රපටිය ගැන සටහනක් කමෙන්ට් එකක් විදිහට එකතු කරන ගමන් මේ මේ ලිපිය ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *