ඔෆිස් එකේ සිද්ධ වෙන ලිංගික හිරිහැර නවත්තාගන්නේ මෙහෙමයි!

ලිංගික හිරිහැර සහ ලිංගික හිංසනය කියන්නේ රටේ ලෝකේ දකින්න ලැබෙන ඇත්තම ඇත්ත ප්‍රශ්නයක්. ඒ වගේම, විශේෂයෙන්ම ලිංගික හිංසනයට සහ ලිංගික හිරිහැරයට මුහුණ දෙන්නේ කාන්තාවෝ කියන එකත් බොරුවක් නෙවෙයි. දැන් ඔය ලිංගික හිරිහැර ඕන තරම් තමන් වැඩ කරන තැන, ඔෆිස් එකේ එහෙමත් සිද්ධ වෙනවා. ඇත්තටම මේ වෙනකොට නම් ඒ ගැන බොහොම විවෘතව කතාබහ ඇතිවෙන නිසා ඒවා පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. හැබැයි නැත්තටම නැති වෙලා කියන්න බෑ.

දැන් මේ ඔෆිස් එකක රාජකාරි කරන අල්ලපනල්ලේ ලිංගික හිරිහැර වලට ලක් වෙනවා කියන එක අතිශයින්ම අසීරු අත්දැකීමක්. ආන්න ඒ නිසා අපි හිතුවා, කාන්තාවක් වේවා පිරිමියෙක් වේවා රාජකාරි කරන තැන, වැඩ කරන තැන, ඔෆිස් එකේ කිසියම් ආකාරයක හෝ ලිංගික හිංසනයකට පාත්‍ර වෙනවා නම්, ඒකෙන් ගැලවෙන්න, ඒකට විරුද්ධ වෙන්න කරන්න ඕන දේවල් ලැයිස්තුවක් හදන්න.

 

1. සෙක්ෂුවල් හැරෙස්මන්ට් අඳුනාගන්න

මුලින් කරන්න ඕන දේ තමයි මේක. සෙක්ෂුවල් හැරෙස්මන්ට් කියන්නේ මොනවද කියලා අඳුනගන්න එක. ඇත්තටම සෙක්ෂුවල් හැරෙස්මන්ට් වලට අනවශ්‍ය විදියට ලිංගික හැඟීමකින් සිද්ධ වෙන ස්පර්ෂ කිරීම්, ලිංගික හැසිරීමකට පොළඹවාගන්න කරන උත්සාහ කිරීම්, විවිධ වාසි ලබාදීම වෙනුවෙන් ලිංගික පහස ඉල්ලීම්, වාචිකව හෝ කායිකව හෝ කරන ලිංගිකත්වය සම්බන්ධ වුණු හිරිහැර කිරීම් මේ ලිංගික හිරිහැර ගණයට වැටෙනවා. ඒ කියන්නේ කෙනෙක්ව අපහසුතාවයට පත් වෙන විදියට “ඩබල් මීනින්” කතා, කුණුහරුප කතා කීමේ ඉඳලා, බලහත්කාරයෙන් විවිධ ලිංගිකත්වයට අදාළ ඡායාරූප පෙන්වීම දක්වා දේවල් ලිංගික හිරිහැර විදියට ගන්න පුළුවන්.

ඒ වගේම, රස්සාවක උසස්වීම් හරි වෙනත් ප්‍රතිලාභ ලබාදෙන්න අල්ලසක් විදියට ලිංගිකත්වය ලබාගැනීම් වල ඉඳලා, කෙනෙක්ට ලිංගික ආරාධනා හෝ ලිංගික අල්ලස් ඉල්ලීම් සිදුකරලා ඒවා නොලැබුණහම වැඩ කරන තැන ඉන්න අමාරු කරන එක පවා සෙක්ෂුවල් හැරෙස්මන්ට් වලට අයිතියි.

ඉතින් සේවා ස්ථානයේ සෙක්ෂුවල් හැරෙස්මන්ට් වලට විරුද්ධ වෙන්න නම්, මුලින් සෙක්ෂුවල් හැරෙස්මන්ට් කියන්නේ මොනවද කියලා අඳුනගෙන ඉන්න ඕන.  

 

2. නියපොත්තෙන් කඩන්න

සමහරු සේවය කරන තැන සෙක්ෂුවල් හැරස්මන්ට් වලට ලක් වෙන්නේ, ඒක ඔඩු දුවන්න දෙන නිසා. උදාහරණයක් විදියට ගත්තොත්, අපි කියමු අපිත් එක්ක වැඩ කරන මනුස්සයෙක් අපිට කොච්චරවාත් ඩබල් මීනින් කතා කියමින් ව්‍යංගයෙන් සෙක්ස් ඉල්ලනවා කියලා. ඔන්න අපි හිතනවා එකට වැඩ කරන තැන මනුස්සයෙක්ව තරහ කරගන්න බැහැනෙ කියලා. එහෙම හිතලා ඒ ඩබල් මීනින් කතා වලට අමාරුවෙන් හිනා වෙලා ඉන්නවා. ඉතින් ඔන්න අර මනුස්සයා තවත් ධෛර්යමත් වෙනවා. තව තවත් කරදර කරනවා. අන්තිමට ඒක බලහත්කාරකමකට උත්සාහ කිරීමක් දක්වාම දුර දිග යනවා.

හැබැයි අපි ඒ මනුස්සයා මුලින් අපිට ඩබල් මීනින් කතා කියන වෙලාවෙම ඒකට විරුද්ධ වුණා නම් ඒ ගැටළුව නැහැ නේද? “මාත් එක්ක ඔව්වා කියන්න එපා, මම ඔව්වා අහන්න කැමති නෑ” කියල පළවෙනි වතාවෙම කිව්වා නම්, සමහර වෙලාවට ඒක එතනින් ඉවර වෙන්න තිබුණා නේද? ආන්න ඒ නිසා මතක තියාගන්න, නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරවෙන් කපන්නත් අමාරු තැනට වැඩෙන්න ඉඩ තියන්න එපා. තමන් අකමැති හැසිරීමක් සේවය කරන තැන කවුරුහරි පෙන්නනවා නම්, ඒකට ඒ මොහොතෙම විරුද්ධ වෙන්න.

 

3. එරෙහිව නැගී සිටින්න

සාමාන්‍යයෙන් වැඩ කරන තැනක එකිනෙකා එක්ක සාමාන්‍ය ජෝක්ස් විතරක් නෙවෙයි, ඔය ඩබල් මීනින් කතන්දර, කුණුහරුප කතන්දර වුණත් කතා කරගන්න එක සාමාන්‍යයිනේ. හැබැයි ඒවලට වුණත් තමන් අකමැති නම් කෙලින්ම කියන්න පුරුදු වෙන්න ඕන.  

දැන් අපි කියමු ඔහොම ඩබල් මීනින් ජෝක්ස් අනං මනං කතා වෙන එක අපිට අවුලක් නෑ කියලා. හැබැයි තමන්ට මෙතනදී හොඳ සාමාන්‍ය දැනීමක් තියෙන්න ඕන, මොකද්ද සීමා ඉර කියන එක. පොදුවේ ඩබල් මීනින් කතාවක් කියලා හිනාවෙන එකයි, තමන්ට ලිංගික ආරාධනා කරන විදියේ, තමන්ට අපහසුවක් දැනෙන විදියේ ඩබල් මීනින් කතා කියන එකයි දෙකක්. ආන්න එතකොට ඒකට එරෙහිව වහාම නැගී සිටින්න ඕන. ගහගන්න, මරාගන්න නෙවෙයි. ඒත් ඒකට විරුද්ධව නිර්භීතව කතා කරන්න ඕන.

ඒ වගේම තව දෙයක්. ලිංගික හිරිහැරයක් සිද්ධ වෙන්නේ තමන්ට නොවෙන්න පුළුවන්. වෙනත් කෙනෙක්ට වෙන්න පුළුවන්. අන්න එතනදී වුණත්, අපිට පුළුවන් වෙන්න ඕන ඒ ලිංගික හිරිහැරයට, හිංසනයට විරුද්ධව නැගී සිටින්න.

 

4. තමන්ගේ ලිංගිකත්වය පාවිච්චි නොකරන්න

සෙක්ෂුවල් හැරෙස්මන්ට් නැතිනම් ලිංගික හිරිහැර කිරීම් වලින් බේරෙන්න අවශ්‍ය නම්, මෙන්න මේ දේ නොකර ඉන්න වගබලාගන්න ඕන. දැන් සමහරු ඉන්නවා, තමන්ගේ වාසිය තකා ලිංගිකත්වය පාවිච්චි කරනවා, ඊට පස්සේ “අනේ මට ලිංගික හිරිහැර කරනවා” කියලා වින්දිත පාට් එක දානවා. අන්න ඒක හරියන්නෙ නෑ. උදාහරණ ගමු. සමහරු හිතනවා බොස්ට “දෙන්න වගේ” ඉඳලා දෙන්නෙ නැතුව ජොබ් එකේ උඩට යන්න. එතකොට ඒ වෙනුවෙන් බොස්ගේ ලිංගික ආසාවන් ඇවිස්සෙන විදියට හැසිරීමේ ඉඳලා, බොස් එක්ක ලිංගික හැසිරීමකට ආසයි කියලා කියන එක දක්වා දේවල් කරනවා. හැබැයි ඊට පස්සේ බොස් සෙක්ස් ඉල්ලගෙන පස්සෙන් එන්න ගත්තහම ගිහින් කම්ප්ලේන් කරනවා. ඒවා හරියන්නෙ නෑ. ලිංගික හිරිහැර වලින් මිදී ඉන්න හිතට ගන්න ඕන වගේම, කිසිම මොහොතක සේවා ස්ථානයේ තමන්ට වාසියක් ලබාගන්න තමන්ගේ ලිංගිකත්වය පාවිච්චි නොකරන්නත් දැනගෙන ඉන්න ඕන. එහෙම නැතුව තමන්ගේ අතේ බාගයක් වැරැද්ද තියාගෙන පස්සේ වික්ටිම් කාඩ් එක ප්ලේ කරන්න ගියාට තේරුමක් වෙන එකක් නෑ. 

 

5. දක්ෂ වෙන්න

අපි සේවා ස්ථානයකදී දක්ෂ වෙන්න ඕන මොනවටද ඇත්තටම? සරලයි. අපි දක්ෂ වෙන්න ඕන අපි කරන වැඩේට. අපි දක්ෂ වෙන්න ඕන ඉහළට යන්න. කොටින්ම කියනවා නම්, අපේ වෘත්තිය හරියාකාරව කරන්නත්, අපේ වෘත්තියේ හරියාකාරව ඉහළට යන්නත් දක්ෂ වෙන්න ඕන. ඇත්තටම එහෙම දක්ෂතා එක්ක වැඩ කරන කෙනෙක්ට නම් රස්සාවේ ස්ථාවර වෙන්න හෝ ඉහළට යන්න හෝ රැඳී ඉන්න හෝ සෙක්ෂුවල් ෆේවර්ස් කරන්න, ලිංගික අල්ලස් දෙන්න කිසිසේත්ම අවශ්‍ය වෙන්නෙ නෑ. ඒ වගේම, ඒ වගේ අයගෙන් සෙක්ෂුවල් ෆේවර්ස් ඉල්ලන්නත් කෙනෙක් දෙපාරක් හිතන්න පුළුවන්.

අපි මෙතනදී දක්ෂ වෙනවා කියලා කියන්නේ මේකයි. ලේසි පාරවල් හොයන්නේ නැතුව, තමන් කරන කාර්යයේ ප්‍රවීණයෙක් වෙන්න කැපවීමෙන් වැඩ කරන එක. දේවල් හොයලා බලලා ඉගෙන ගන්න එක. තමන්ගේ කොලිෆිකේෂන් හදාගන්න එක. ඒ වගේම, වැඩිදුරටත් ඉගෙන ගන්න එක. අන්න එහෙම දක්ෂතාවය නිසා ඉහළට යනකොට, ආයෙ කිසිම කෙනෙක්ට කතන්දර කියන්න ඉඩකුත් නෑ!

 

6. ලැජ්ජාවට පත් නොවෙන්න

ඇත්තටම සේවා ස්ථානයේ ලිංගික හිරිහැර වළක්වා ගන්න නම් මේ කාරණාව ඉතාම වැදගත්. දැන් සමහරු තමන්ට සෙක්ෂුවල් හැරස්මන්ට් එකකට මුහුණ දෙන්න සිද්ධ වුණහම අසීමිත ලැජ්ජාවකට පත් වෙනවා. ඒ ලැජ්ජාව නිසාම තමන්ට මුහුණ දෙන්න වුණු ඒ සිදුවීම හංගාගෙන ඉන්නවා. ඒකෙන් අනර්ථ තුනක් සිද්ධ වෙනවා. එකක් තමයි, තමන්ට විඳින්න සිද්ධ වුණු හිරිහැරය වෙනුවෙන් තමන්ට සාධාරණයක් ඉෂ්ට නොවීම. දෙවෙනි එක තමයි, ලැජ්ජාව නිසා සද්ද නැතුව ඉන්න තාක්කල් තමන්ට නැවත නැවතත් ඒ ලිංගික හිරිහැරයට මුහුණ පාන්න සිද්ධ විය හැකි වීම. ඒ වගේම, තමන් ලැජ්ජාව නිසා තමන්ට විඳින්න සිද්ධ වුණු ලිංගික හිරිහැරය ගැන කතා නොකිරීම හේතුවෙන්, ආයෙත් වෙනත් කෙනෙක්ටත් ඒ විදියටම ලිංගික හිරිහැර විඳින්න සිද්ධ වීම. මොකද, ලිංගික හිරිහැර ලබන වින්දිතයා සද්ද නැතුව ඉන්නකොට පීඩකයා තව ධෛර්යමත් වෙන එක තමයි වෙන්නේ. ආන්න ඒ නිසා, වහාම ලජ්ජාව පැත්තක තියලා සෙක්ෂුවල් හැරස්මන්ට් වලට එරෙහිව නැගී සිටීම හෝ ඒ ගැන රිපෝට් කිරීම අනිවාර්යයි.

 

7. හරි විදියට රිපෝට් කරන්න

ගොඩක් වෙලාවට කෙනෙක් හිතන්න පුළුවන්, තමන්ට සේවාස්ථානයේ ලිංගික හිරිහැරයකට මුහුණ දෙන්න සිද්ධ වුණොත්, ඒක කියන්න කෙනෙක් නැහැයි කියලා. උදාහරණයක් විදියට ගත්තොත්, ලිංගික හිරිහැරයක් කරන්නේ තමන්ගේම බොස් නං, අපි ඒක කියන්නෙ කාටද? උත්තරේ සරලයි. කියන්න ඕන අදාළ බොස්ටත් ඉහළින් ඉන්න බොස් කෙනෙක්ට සහ මානව සම්පත් අංශයට. ආයතනයක කොයි තරම් ලොකු බොස් කෙනෙක්ට වුණත්, සෙක්ෂුවල් හැරෙස්මන්ට් කරලා, ඒක රිපෝට් වුණහම බේරෙන්න තියෙන ඉඩ සෑහෙන්න අඩුයි. විශේෂයෙන්ම දැන් කාලේ ඒ සම්බන්ධයෙන් සෑහෙන්න කතා බහ සිද්ධ වෙන නිසාම, ඒ වගේ දේවල් වලින් බේරෙන්න අමාරුයි.

හැබැයි අපි කියමු මානව සම්පත් අංශයට හෝ ඉහළ බොස් කෙනෙක්ට පැමිණිලි කළා කියලත් ඒකට විසඳුමක් නැහැ කියලා. ආන්න එතකොට ඒකට සාධාරණය ඉෂ්ට කරන්න පුළුවන් රටේ නීතියට. කතා කරන්න නීතීඥවරයෙක් එක්ක. ඊට පස්සේ නිල වශයෙන් පැමිණීල්ලක් කරන්න.

 

ඇත්තටම ලිංගික හිරිහැරයකට හෝ හිංසනයකට පාත්‍ර වෙන එක අතිශයින්ම අසුන්දර, දරන්න අමාරු අත්දැකීමක්. එහෙම දේකට මුහුණ දීලා නැති කෙනෙක්ට ඒක කවදාවත් තේරුම් ගන්න බැරි වෙයි. ආන්න ඒ නිසා තමයි අපි සමාජයක් විදියට එදිනෙදා ජීවිතේදී, ඔෆිස් එකේදී විඳින්න සිද්ධ වෙන ලිංගික හිංසන හිරිහැර වලට විරුද්ධව නැගී සිටින්න වුවමනා වෙන්නේ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *