දළදා මාළිගාව කියන්නෙ ලෝකවාසී බෞද්ධ ජනතාවගේ ඇති මහත් ගෞරවයට පත්‍ර වෙන ස්ථානයක්. ඒ බුදුරජාණන්වහන්සේගේ වම් යටි දළදා වහන්සේ මහනුවර දළදා මාළිගාවේ වැඩවාසය කිරීම හේතුවෙන්. දළදා වහන්සේ මහනුවරට වැඩම කරවීම පළමුවන විමලධර්මසූරිය රජු සමයේ සිදු වූ අතර ඉන් පසුව දළදා වහන්සේ උදෙසා කරන වතාවත් යම් පමණකට වෙනස් වූ බවක් පෙනෙන්නට තියෙනවා. කොහොම උනත් එදා ඉඳන් සුළු සුළු වෙනස්කම් සහිතව පැවතීගෙන එන සම්ප්‍රදායික වත් පිළිවෙත් අදත් සිද්ද කෙරෙනවා. ඒ වතාවත් කරන්නත් එදා ඉඳන්ම පැවත එන තනතුරු රාශියක් එහෙමත් තියෙනවා. ඉතින් බොහෝ දෙනෙක් නොදන්නා දළදා මාළිගාවේ එදා ඉඳන් පවතින තානාන්තර කිහිපයක් ගැන දැනුවත් කරන්නයි අපි අද ලෑස්ති වෙන්නෙ. විශේෂයෙන් කියන්න ඕනේ මේ තනතුරු පරම්පරාවෙන් පරම්පරාවට පැවතීගෙන එන දේවල්. නැතුව වැටුපක් වෙනුවෙන් කරන රැකියාවල් නෙමෙයි. ඒ හැමෝම මේ කර්යයන් කරන්නෙ දළදා හාමුදුරුවන්ට කරන සැළකීමක් විදිහටයි.
1. දියවඩන නිළමේ
දියවඩන නිළමේ තනතුර ගොඩක් ඈත කාලෙක ඉඳල අපේ ඉතිහාසයේ තිබුණු තනතුරක්. ඒ දළදා මාලිගාවට සම්බන්ධ වීම නිසා නෙමෙයි. මේ තනතුර මුලින් ඇති වුණේ රජුට දිය සැපයීමේ කටයුතු ඉටු කිරීමට පත් කළ නිලධාරියා විදිහටයි. පස්සේ ඉංග්‍රීසින් ලංකාව යටත් කරගැනීමෙන් පස්සේ ඔවුන් දළදා වහන්සේ සහ දළදා මාළිගාවේ ුගිහි භාරකරු වශයෙන් එවකට රාජකාරි කරපු දියවඩන නිළමේ නිල වශයෙන් පත් කරනවා. ඉතින් ඔහුගේ මූලික කාර්යය වෙන්නේ දළදා වහන්සේ ආරක්ෂා කිරීම. ඊට අමතරව දළදා මාළිගාවේ කළමනාකරණය, දළදා වහන්සේට තේවාවන් ඉෂ්ට කිරීම, දළදා පෙරහැර සංවිධානය කිරීම වගේ දේවල් ඇතුළත් වෙනවා. විශේෂයෙන් දළදා වහන්සේ වැඩ සිටින කරඬුවලින් එක කරඬුවක යතුර දියවඩන නිළමේ භාරයේ පවතිනවා.
2. කාරියකරවන කෝරාළ
දළදා මාළිගාවේ දියවඩන නිලමේට පසුව සිටින ඉහළම තනතුර මේ කාරියකරවන කෝරාළ තනතුරයි. ඉතින් ඒ නිසාම දළදා මාළිගාවේ සියළුම දේවල් හොයාබලන කාර්යය පැවරෙන්නේ කාරියකරවන කෝරාළ තැනටයි. විශේෂයෙන් දළදා තේවාවන් වලට අදාළ කටයුතු අඩුපාඩුවකින් තොරව කලට වෙලාවට සිදුකරවීම ප්‍රධානයි. ඊට අමතරව තනතුරේ වැදගත්කම පෙනෙන්නට දළදා පෙරහැර ගමන් කිරීමේදී විශේෂ ස්ථානයක් කාරියකරවන කෝරාළට වෙන් කර තියෙනවා. ඒ දළදා කරඬුව වැඩමවන හස්තියාට ඉදිරියෙන් ගමන් කිරීමට හැකි වීමයි.
3. ගජනායක නිළමේ
ගජනායක නිළමේ තනතුර කියන්නෙ දළදා මාළිගාව සතුව තියෙන ඇත් පන්තිය භාරව ඉන්න පුද්ගලයාට හිමි තනතුරයි. අතීතයේ රජුගේ ඇත් පන්තිය භාරව සිටි තැනැත්තා හෙබවූ තනතුර මෙය වන අතරම ඉන් පසුව ඒ තනතුර දළදා මාළිගාවේ ඇත් පන්තිය භාරව ඉන්න තනතුර බවට පත්වුණා. දළදා පෙරහැරේදී ගජනායක නිළමේ ඔහුට හිමි අංකුසය අතැතිව හස්තියකු පිට ගමන් කරනවා ඔයාල දැකලා ඇති.
4. කවිකාර මඩුව
රජ කාලෙ රජුරුවන්ගේ ගුණ ගායනා කරන්න වෙනම පත් කරලා හිටියා කණ්ඩායමක්. ඉස්සර කවිකාර මඩුව කිව්වේ ඔන්න ඔය කණ්ඩායමටයි. නමුත්, පසු කාලීනව ඒ කවිකාර මඩුව දළදා හාමුදුරුවන්ට ගුණ ගායනා කරන්න පත් වුණා. ඉතින් මේ අය බුදු ගුණ කවි විදිහට ගායනා කරන එකයි කරන්නෙ. විශේෂයෙන් පෝය දිනවල සහ බදාදා දින වල මාළිගාව ඇතුළෙදි මේ කවි ගායනා කිරීම සිද්ද වෙනවා. විශේෂයෙන් දළදා පෙරහැරෙත් මේ කණ්ඩායම ගමන් කරනවා. ඒ උඩැක්කිය සහ පන්තේරුව කියන වාදන භාණ්ඩ වාදනය කරමින් ඉතා ලයාන්විත කවි ගායනා සිදුකරමින්.
5. වට්ටෝරු රාළ
දළදා මාළිගාවේ උඩු මහලේ සඳුන් කුටිය භාරව පත් කරලා ඉන්නෙ වට්ටෝරු රාළ කියන තනතුරයි. එහි තැන්පත් කරලා තියෙන රන් භාණ්ඩ සහ තේවා උපකරණ සහ අනෙකුත් උපකරණ ආරක්ෂා කරගැනීම ඔහුගේ කාර්යභාරයයි. ඒ වගේම තේවා කටයුතු වලදී ඒවාට සහය වීම සහ විශේෂයෙන් පහල මාලයේ යතුරු තේවාව අවස්ථා වලදී කර තබාගෙන යාම අමතර කාර්යයන් වෙනවා. ඒ වගේම වට්ටෝරු රාළ දියකැපුම් පෙරහැරටත් සහභාගී වෙනවා.
6. ගෙපරාළ
ගෙපරාළ අපි ඉහතින් කතා කරපු වට්ටෝරු රාළ ගේ සහයකයා විදිහට හඳුන්වන්න පුළුවන්. ගෙපල් බරාඳය භාරව රාජකාරී කරන්නෙ ගෙපරාළයි. තේවා අවස්ථාවලට උණු පැන් සැපයීම, දහවල් බුද්ධ පුජාව මුළුතැන්ගෙයි සිට ගෙනයාම වගේ කටයුතුත් කරන්නෙ මොහු විසින්. විශේෂයෙන් කුඩා දරුවන් දළදා වහන්සේට පූජා කිරීම කරන්නෙ ගෙපරාළ ගේ මුලිකත්වයෙන්.
7. නැකත් මොහොට්ටාල
නැකත් මොහොට්ටාලගේ කාර්යය වෙන්නෙ දළදා මාලිගාවේ සතර මංගල්‍යයන් සඳහා නැකත් පිළියෙළ කිරීමයි. විශේෂයෙන් පෙරහැර මංගල්‍යය සඳහා නැකත් පිළියෙළ කරලා ඒ නැකත් දියවඩන නිළමේ තුමාට භාරදී පෙරහරට අවසර ලබාගැනීමත් ඔහු සිදු කරනවා.
Leave a Reply