රිලැක්ස් වෙන්න ඕනැද? ඒකට සෙට් වෙන යූටියුබ් චැනල්ස් ටිකක් බලමුද?

දැන් රිලැක්ස් වෙන්න බලන්න පුළුවන් යූටියුබ් චැනල්ස් කියපු ගමන් අපේ ඔළුවට එන්නේ ඔය මෙඩිටේෂන් මියුසික් තියෙන, එහෙම නැතිනම් සිතාර් මියුසික් තියෙන, නැතිනම් වෙන මොනවා හරි රිලැක්සේෂන් මියුසික් තියෙන වෙබ් එකක්නේ. හැබැයි ඒවලින් විතරක් නෙවෙයි රිලැක්ස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට අතිදැවැන්ත යන්ත්‍ර සූත්‍ර වලින් කොහොමද එක එක ඒවා හැදෙන්නේ කියලා බලාගෙන ඉන්නකොටත් අපි රිලැක්ස් වෙනවා. සමහර වෙලාවට ඔය එක එක ඒවා නිර්මාණය කරන විදිය බලාගෙන ඉන්නකොටත් අපි රිලැක්ස් වෙනවා. අන්න ඒ නිසා අපි බලමු අපි මේ කියන තාලේ වෙනස් විදියේ රිලැක්සින් වයිබ් එකක් තියෙන යූටියුබ් චැනල්ස් මොනවද කියලා! 

 

1. Bonsai Releaf/ Bonsai Empire

බොන්සායි කලාව ගැන දන්නවනේ. නිකමට හිතන්න, බොන්සායි කරන්න ඕන ගහක් තෝරාගෙන, ඒක ගාණට කප්පාදු කරන එක, කම්බි වලින් වෙලන එක, කොටින්ම ඒ ගහ කලා නිර්මාණයක් බවට කෙමෙන් කෙමෙන් පත් කරන එක කොයි තරම් ඉවසීම අවශ්‍ය කාරණාවක්ද? ආන්න ඒ ඉවසීම සහ නිර්මාණශීලීත්වය මුසු වුණු කර්තව්‍යය මනා පළපුරුද්දක් තියෙන බොන්සායි නිර්මාණ කරුවෙකු සිදුකරන හැටි, ගහක් කප්පාදු කරමින් ක්‍රමානුකූලව තමන්ට අවශ්‍ය හැඩයට ගන්න හැටි බලාගෙන ඉන්න එක කොයි තරම් හිත සන්සුන් කරන අත්දැකීමක්ද? ආන්න ඒ අත්දැකීම ලබාගන්න පුළුවන් යූටියුබ් චැනල් දෙකක් තමයි මේ. ඇත්තටම මෙතනින් වඩාත්ම භාවනාවක අත්දැකීමකට ලඟා වෙන්නේ Bonsai Releaf චැනල් එක. හැබැයි ඒකේ තාම ඒ තරම් වීඩියෝස් නෑ. එතකොට Bonsai Empire චැනල් එකේ නම් සෑහෙන්න වීඩියෝස් තියෙනවා. ඒවා ටිකක් ටියුටෝරියල් පැත්තටත් බරයි. ඒත් අර හිත රිලැක්ස් කරන ගුණයෙන් අනූනයි.

 

2. My Porch Prints – Junk Journal Tutorials

ජන්ක් ජර්නලින් ගැන අපි මීට කලින් කියලා තියෙනවා. අපි ඉවත දාන එක එක දේවල් අරගෙන, ඒවා නිර්මාණශීලී විදියට හැඩගස්වමින්, අපූරු නව නිර්මාණයක් බවට පරිවර්තනය කරන එක ඇත්තටම සෑහෙන්න ඉවසිල්ලක් සහ නිස්කලංක මනසක් එක්ක කරන්න ඕන දෙයක්. ඒ වගේම එහෙම නිර්මාණ සිද්ධ කිරීම දිහා බලාගෙන ඉන්න එකෙන් අපේ හිතත් නිස්කලංකත්වයට පත් වෙනවා.

My Porch Prints – Junk Journal Tutorials කියන්නේ, මෙන්න මේ විදියට අපිට දෙයක් ඉගෙන ගන්නත්, ඒ වගේම හිත රිලැක්ස් කරගන්නත් බලන්න පුළුවන් යූටියුබ් චැනල් එකක්. විශේෂයෙන්ම මේ චැනල් එක කරන කෙනා කතා කරන විදියෙන් පවා අපිට හරිම රිලැක්ස් ගතියක් දැනෙනවා. ඒ වගේම, එක එක විදියේ ඉවතලන දේවල් වලින් එයා අපූරු නිර්මාණ කරන විදිය කියලා දෙන හැටි බලාගෙන ඉන්න එකත් හරියට හිත සන්සුන් කරන අත්දැකීමක් වෙනවා.

 

3. Little King Goods

සම්භාණ්ඩ හදන හැටි දැකල තියෙනවද? එක පාරටම හිතනකොට සම්භාණ්ඩ නැතිනම් ලෙදර් ක්‍රාෆ්ට් කියන්නේ එහෙම හිත රිලැක්ස් කරන දෙයක් කියලා හිතෙන්නෙ නැහැනේ. එහෙමද හිතන්නේ? එහෙමනම් මේ

Little King Goods යූටියුබ් චැනල් එක පැත්තේ ගිහින් බලන්න. ඇත්තටම Little King Goods කියන්නේ වාණිජ මට්ටමෙන් හෑන්ඩ්මේඩ් ලෙදර් ක්‍රාෆ්ටින් කරන කෙනෙක්ගේ වීඩියෝ බ්ලොග් එකක්. හැබැයි එයා සම්භාණ්ඩ හදන හැටි බලාගෙන ඉන්න ආසයි. මෙයාගෙ ලෙදර් වලින් අනං මනං හදන යූටියුබ් වීඩියෝස් වල කිසිම විදියකට දේවල් කරන විදිය කියලා දෙන්නෙ නෑ. සම්පූර්ණයෙන්ම සද්ද නැතුව, කතා නැතුව තමයි වැඩේ යන්නේ. හැබැයි එයාගේ හරිම පිළිවෙලට තියෙන වර්ක්ෂොප් එකේ, එක එක විදියේ ටූල්ස් පාවිච්චි කරමින් හරිම අපූරුවට සම් වලින් නිර්මාණයක් කරන විදිය බලාගෙන ඉන්න ආසයි. හිත සම්පූර්ණයෙන්ම රිලැක්ස් වෙනවා ඒක බලාගෙන ඉන්නකොට.

 

4. Kobeomsuk furniture

ඔය වඩු වැඩ එහෙම කරන දිහා බලාගෙන ඉන්න ආස හිතෙන්නෙ නැද්ද? වඩු ශිල්පියෙක් ක්‍රමානුකූලව ලීයක් හැඩගස්වන විදිය, ඒක ගාණට කපලා කරලා මට්ටම් කරලා ගන්න විදිය, ඊට පස්සේ එහෙම හදාගත්තු ලී එකතු කරලා ගාණට මිම්මට තියලා, පුරුද්දලා සම්පූර්ණයෙන්ම අළුත් ලී බඩුවක් නිර්මාණය කරන විදිය බලාගෙන ඉන්න එකම හරි රිලැක්සින් එක්ස්පීරියන්ස් එකක් නෙවෙයිද? ආන්න ඒ එක්ස්පීරියන්ස් එක, පෙරදිග රටවල තියෙන නිස්කලංක ගතියත් එක්ක ලබාදෙන්න Kobeomsuk furniture යූටියුබ් චැනල් එක සමර්ථ වෙනවා. ඇත්තටම කොරියානු වුඩ්වර්කින්ග් ස්ටුඩියෝ එකක් වෙන Kobeomsuk furniture චැනල් එකේ තියෙන ලී බඩු නිර්මාණය කරන විදිය පවා හරිම නිස්කලංක විදියට සිද්ධ වෙන්නේ. ඒකත් එක්ක ගිණිකොනදිග ආසියානු රටවලට ආවේණික සරල සුන්දරත්වයත් මේ වීඩියෝස් වලින් මොනවට දැනෙනවා.

 

5. TheRelaxingEnd 

අන්බොක්සින් වීඩියෝස් බලලා තියෙනවද? ඒ කියන්නේ, ඔය විවිධාකාරයේ ප්‍රොඩක්ට්ස් පැක් කරලා එන පෙට්ටියෙන් එළියට ගන්නවා පෙන්නන වීඩියෝස්? ඇත්ත කතාව තමයි, ලෝකේ සෑහෙන්න දෙනෙක් මේ අන්බොක්සින් වීඩියෝස් බලලා සතුටු වෙනවා කියන එක. ඒකේ හරි රිලැක්සින් ගතියක් තියෙනවා. ඉතින් අන්න ඒ අන්බොක්සින් වල තියෙන රිලැක්සින් ගතිය භාවනාවක ලෙවල් එකකට අරගෙන ගිහින්, අමුතුම අත්දැකීමක් ලබාදෙන යූටියුබ් චැනල් එකක් තමයි TheRelaxingEnd කියන්නේ. මේකේ අපිට ඇත්තටම පේන්නේ සුදු අත්වැසුම් දෙකකින් වැහුණු අත් දෙකක් විතරයි. ගොඩක් වෙලාවට සම්පූර්ණ සුදු පසුතලයක තමයි මේ අන්බොක්සින් එක වෙන්නේ. කිසිමාකාරයක දෙයක් කියන්නෙත් නෑ. පෙට්ටි අරින, වහන, කපන සද්ද විතරයි ඇහෙන්නෙත්. මේක දිහා බලාගෙන ඉන්නකොටත් හිත නිවෙනවා!

 

6. Restore Machines

‍රෙස්ටොරේෂන් කියන්නේ විද්‍යාත්මක කාරණාත් එක්කත් බැඳුණු අපූරු ආට් එකක්. දැන් ඕනම දෙයක් විනාස වෙලා යනවනේ කාලයාගේ ඇවෑමෙන්. උදාහරණයක් විදියට ගත්තොත්, අපේ සීයා පාවිච්චි කරපු රේඩියෝ එක දැන් සම්පූර්ණයෙන්ම මළ බැඳිලා, කෑලි කැඩිලා විනාස වෙන්න ඔන්න මෙන්න තියෙන්න පුළුවන්. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම නෂ්ට වෙලා ගිහිල්ලා නැතිනම්, අපිට ඒක අරගෙන ගලවලා, සුද්ධ පවිත්‍ර කරලා, කැඩුණු කෑලි අළුතින් දාලා හදලා ගන්න පුළුවන්. ආන්න ඒක තමයි රෙස්ටොරේෂන් කියන්නේ. ඉතින් මෙහෙම අපූරු අතීත දේවල් රීස්ටෝර් කරන එක, එහෙම නැතිනම් ප්‍රතිසංස්කරණය කරන එක ඇත්තටම බලාගෙන ඉන්න වටිනා දෙයක්. හිත නිස්කලංක කරවන දෙයක්. ආන්න ඒ අත්දැකීම ලබාගන්න පුළුවන් යූටියුබ් චැනල් එකක් තමයි Restore Machines කියන්නේ! මේ යූටියුබ් චැනල් එකේ පරණ මොඩ්ල් කාර් එකක ඉඳලා විවිධාකාරයේ වාහන අනුරූ ප්‍රතිසංස්කරණය කරනවා.

 

7. Andy Phillip

ඔය වුඩ් ටර්නින් කියලා ආට් එකක් තියෙනවා දන්නවද? ඒක කරන්නේ මෙහෙමයි. ලී හෝ වෙනත් ඕනෑම දෙයක්, ලියවන පට්ටලේක හිර කරලා වේගෙන් කරකැවෙන කොට ඒකේ කෑලි ගාණට ඉවත් කරලා කලා කෘතියක් නිර්මාණය කරන එක තමයි එතනදී කරන්නේ. සමහරු මෙතනදී එපොක්සි රෙසින් වලින් තවත් හැඩයන් ලී වලට එකතු කරලා, වෙනමම ආකාරයක ආට් එකක් නිර්මාණය කරනවා. ආන්න එහෙම කලාත්මක වැඩ කරන කෙනෙක්ගේ යූටියුබ් චැනල් එක තමයි Andy Phillip කියන්නේ. මේ චැනල් එකේ වුඩ්ටර්නින්ග් කලාවෙන් නිර්මාණය කරන දේවල් කලාකෘතියකට සම වෙනවා වගේම, එදිනෙදා ජීවිතේටත් ප්‍රයෝජනවත්. ඒ හැමදේකටමත් වඩා මේ ආට් එක දිහා බලාගෙන ඉඳීමෙන්ම හිත නිස්කලංක වෙනවා!

 

දැන් ඔය කියපු යූටියුබ් චැනල් වලට අමතරව, ඕන නම් මනස රිලැක්ස් කරගන්න රිලැක්සින්ග් මියුසික් එහෙම තියෙන යූටියුබ් චැනල් වලට සවන් දෙන්නත් පුළුවන්. ඒ විදියේ යූටියුබ් චැනල්ස් කීපයක් ගැනත් අපි ඉදිරියේදී ලියනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *