ඉදිලා වැටිලා යන ජම්බු වලින් හදන්න පුළුවන් කෑම වර්ග ටිකක්

ජම්බු කාලෙට ඉතින් ජම්බු ගස් වල රතු බල්බ් දාලා වගේ අමුතුම සිරියක්නෙ තියෙන්නෙ. ඒ තරමට ජම්බු වැහි වැහැලා. කාලා කාලා ඇති උනාම ඔහේ බිම වැටෙන්න අරින එකේ ජම්බු වලින් රස කෑම ටිකක් හදමුද? සමහර එව්වනම් කාලයක් තියාගන්නත් පුළුවන්. 

 

1. ජම්බු දෝසි

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ජම්බු ග්‍රෑම් 500
  2. සීනි ග්‍රෑම් 200
  3. ලුණු ටිකක්
  4. දෙහි යුෂ ටිකක්
  5. ඉඟුරු කෑල්ලක්
  6. එනසාල් කුඩු ටිකක්

 

  • ජම්බු ටික කෑලි කපාගෙන ඇට අයින් කරගන්න. මැටි හට්ටියක් අරගෙන ජම්බු ටික දාලා අඩු ගින්දරේ ලිපේ තියන්න. 
  • මේකට සීනි, ලුණු, එනසාල්කුඩු හා ඉඟුරු කෑල්ලත් තලලා එකතු කරන්න. වතුර කෝප්ප 1/2ක් දාලා කලවම් කරන්න. 
  • විනාඩි 20ක් වගේ යනකොට බුබුළු දාලා වතුර හිඳෙන මට්ටමට එයි. ඒ වෙලාවෙ දෙහි යුෂ දාලා තවත් විනාඩි 5ක් වගේ තියලා ලිපෙන් බාගන්න. 

 

2. ජම්බු තෙලට

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සෝදා කපාගත් ජම්බු කෝප්ප 1
  2. ලියාගත් ළූණු ගෙඩි 1/2
  3. සීනි ටිකක්
  4. චොප්කරගත් කරපිංචා ටිකක්
  5. චොප්කරගත් සුදුළූණු බික් 4
  6. ‍රම්පෙ කොළයක්
  7. තෙල් ටිකක්
  8. කෑලිමිරිස් තේ හැඳි 1
  9. මිරිස්කුඩු තේ හැඳි 1
  10. ලුණු ටිකක්
  11. කපාගත් අමුමිරිස් කරල් 1

 

  • ඇට ඉවත් කර කපාගත් ජම්බු වලට ලුණු හා මිරිස්කුඩු ටිකක් අත ගාලා පැය කාලක් තියන්න. 
  • තාච්චියක් ලිපේ තියලා තෙල් ටිකක් දාගන්න. මේකට චොප්කරගත් සුදුළූණු, ළූණු, කරපිංචා හා රම්පෙ දාලා තෙම්පරාදු කරගන්න.  
  • ඊළඟට අමුමිරිස් ටික දාලා කෑලිමිරිස් හා මිරිස්කුඩු දාගන්න. සීනි ටිකත් එකතු කරලා කලවම් කරලා ජම්බු ටික දාලා වහලා තැම්බෙන්න තියන්න. රස අනුව ලුණු දාලා ලිපෙන් බාගන්න. 

 

3. ජම්බු ජූස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ජම්බු ගෙඩි 5-6
  2. වැනිලා අයිස්ක්‍රීම් ස්කූප් 1
  3. සීනි තේ හැඳි 2
  4. වැනිලා ටිකක්
  5. ලුණු ටිකක්

 

  • ජම්බු ටික සෝදලා පොඩි කෑලි කපලා ඇට අයින් කරගන්න. මේකට ඉහත කිව්ව සියල්ලම දාලා වතුර කෝප්ප 1/2ක් වගේ දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. 

 

4. ජම්බු ජෑම්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ජම්බු කෝප්ප 1
  2. සීනි කෝප්ප 1
  3. ජීවාණුහරණය කරගත් ජෑම් බෝතල් 1
  4. එනසාල් ඇට 2
  5. ලුණු ටිකක්

 

  • ජම්බු ටික පොඩි කෑලි වලට කඩලා ඇට ඉවත් කරලා පොඩ්ඩක් බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේක පෑන් එකට දාලා ලිපේ තියලා සීනි ටිකත් දාලා හැඳි ගාන්න. 
  • එනසාල් ඇට 2 කුඩු කරලා එකතු කරන්න. රස අනුව ලුණු ටිකක් දාගන්න. දැන් මේක හොඳට හැඳි ගාලා බුබුළු දානකොට ලිපෙන් බාන්න. 
  • තද පාටට අවශ්‍ය නම් කලරින් එකතු කරන්න. ජීවාණුහරණය කරපු බෝතලේට දාල ෆ්‍රිජ් එකට දාන්න. 

 

5. ජම්බු චට්නි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ජම්බු ග්‍රෑම් 500
  2. සීනි ග්‍රෑම් 200
  3. තරමක ඉඟුරු කෑල්ලක්
  4. කරාබු නැටි 4-5
  5. සුදුළූණු බික් 5
  6. කුරුඳු පොතු කෑලි 2
  7. මිරිස්කුඩු තේ හැඳි 4-5
  8. විනාකිරි ටිකක්
  9. මුද්දරස්පලම් ටිකක් 
  10. ලුණු ටිකක් 

 

  • ජම්බු ටික තරමක කෑලි කපාගන්න. ඇට ඉවත් කරගන්න. 
  • ඉඟුරු, සුදුළූණු හොඳට චොප් කරලා පේස්ට් එකක් හදලා මැටි හට්ටියක් අරගෙන ජම්බු ටික හා පේස්ට් එක දාලා වතුර ටිකක් දාලා භාගෙට වගේ තම්බගන්න. 
  • මේකට කරාබු නැටි, මිරිස්කුඩු, සීනි, විනාකිරි හා කුරුඳු පොතු දාලා තවත් විනාඩි 10ක් අඩු ගින්දරේ පිසගන්න. 
  • රස අනුව ලුණු දාගන්න. ටිකකින් මුද්දරස්පලම් ටික දාලා විනාඩි 5ක් වගේ හැඳිගාලා ලිපෙන් බාගන්න. 

 

6. ජම්බු අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ජම්බු 
  2. ලුණු හා ගම්මිරිස්කුඩු
  3. කෑලිමිරිස් ටිකක්
  4. සීනි ටිකක්
  5. විනාකිරි මේස හැඳි 1

 

  • ජම්බු ටික තරමක කෑලි කපලා අනික් ඔක්කොම දාලා හොඳට කලවම් කරගන්න. කැමති නම් ජම්බු ටිකක් තම්බලා ගන්නත් පුළුවන්. 

 

7. ජම්බු ස්ටූ (ටොපින්)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සෝදා ඇට ඉවත්කරගත් ජම්බු කෝප්ප 1
  2. සීනි කෝප්ප 1/2
  3. කුරුඳු පොතු කෑල්ලක්
  4. වැනිලා ටිකක්

 

  • ජම්බු ගෙඩිය දෙකට පලාගන්න. ඇට ඉවත් කරගන්න. 
  • සීනි වලට වතුර කෝප්ප 1/4ක් දාලා ලිපේ තියන්න. කුරුඳු පොතු කෑල්ලත් දාගන්න. ජම්බු ටිකත් දාගන්න. දැන් කෑලි පොඩි නොවෙන්න හැඳිගාන්න. 
  • වැනිලා ටිකත් දාලා සීනි දියවෙනකල් හැඳිගාලා ලිපෙන් බාගන්න. ඩෙසර්ට් ටොපින් එකක් විදියට අයිස්ක්‍රීම් වලට උඩින් දාගන්න පුළුවන්. නැත්නම් පැණි රස කන්න කැමති අයට නිකම්ම කන්නත් පුළුවන්.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *