දරුවන් සමග කොරෝනා නිවාඩුව කම්මැලි නැතිව ගත කරන්න උපදෙස්

දැන් දරුවෝ ගෙදර ඉන්න අරං සෑහෙන කාලයක්. දැන්නම් එයාල ගැන ඇතැම් ගෙවල් වල දෙමාපියන්ට තරහත් එනවා වැඩියි. දෙමවුපියන් කියන වෙලාවට එයාල පාඩම් කරන්නේ නැහැ. කරත් උනන්දුවක් නැහැ. ෆෝන් ගේම්, වීඩියෝ බලනවා නිමක් නැහැ. යූ ටියුබ් බලනවා ආදී පැමිණිලි ගොඩක් තියෙනවා. ඉතින් දරුවන්ට දැන් ආයෙත් පාසැල් ගියත් ආයෙත් කොවිඩ් තත්ත්වය එක්ක මොන වගේ තත්ත්වයක් එයිද කියලා හිතන්න අමාරුයි. අපි බලමු දරුවන්ගේ පැත්තෙන් ඔවුන්ට ගෙදර ජීවිතේ දැනෙන බෝරින් ගතිය නැතිකරන්න අපිට කරන්න පුළුවන් දේවල් ටිකක්.

 

1. උයන පිහන වැඩ දරුවන් සමග

කෑම හදන වැඩට සම්බන්ධ වෙන්න තියෙනවානම් හැම දරුවාම වගේ කැමතියි. ඒත් ඉතින් අපිට තියෙන පොඩි කුස්සියේ එයාල ඇවිත් විනාසයක් කරයි කියලා අපිට බයයි. ඒත් පොඩි අයත් එක්ක හදන්න පුළුවන් පොඩි පොඩි දේවල්‍ තියෙනවා. දැන් නම් යූටියුබ් එකේ තියෙන දේවල් පොඩි අයත් එක්කම බලලා, එයාලත් එක්කම එකතු වෙලා ඒවා හදන්න ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා. හදපු කෑම රසබලන්න වගේම හදන වැඩටත් දරුවෝ දායක කරගත්තොත් ඒක පසුව අපිට පහසුවක් වෙනවා වගේම එයාලටත් හොඳ අත්දැකීමක් වෙනවා.

 

2. වවන වැඩ සහ උද්‍යාන වැඩට දායක කරගැනීම

අපි වවන තැනකට, මල් හිටවන තැනකට පොඩි කෙනෙක් ආවොත් සාමාන්‍යයෙන් වෙන්නේ මුලින්ම එයාව ගෙදරට ගිහින් ඇරලවන එක. නැත්නම් හැම දේම අදිනවා, අවුල් කරනවා, එයා මඩ නානවා වගේ කරදර සිද්ද වෙනවා. ඒත් දැන් අර දැන්වීම් වල යන විදිහටම ඉස්සරට වඩා හොඳ සේදුම් කුඩු වර්ග තියෙනවා. යන්ත්‍ර තියෙනවා. එනිසා දරුවා පිරිසිදු කරගන්නත් ලේසියි. ඉතින් අපි උද්‍යාන වැඩක් කරනවා නම් ඒකට දරුවාව දායක කරගන්න එක ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. එයාටත් වෙනමම පැළයක්, පෝච්චියක් දීලා එයාගේම පැළයක් බලාකියාගන්න හැටි හුරුකරවන්න ඕනි. එතකොට පැළ ගැන, පරිසරය ගැන ඇඟෙන්ම එන ආදරයක් පොඩි අයට ඇතිවෙනවා.

 

3. පරණ කාලේ සෙල්ලම් දරුවන්ට ඉගැන්වීම

දැන්නේ ඔය වීඩියෝ ගේම්, යූටියුබ් තියෙන්නේ. ඒවායෙන් දරුවන් වර්තමානය ගෙවනවා තමයි. ඒත් අපි ටිකක් හිතලා බැලුවොත් අපිට පුළුවන් ඔය තියෙන ඔන්ලයින් ස්ටෝරුවකින් කැටයක් ඕඩර් කරලා කැට සෙල්ලමක් කරන්න. නැතිනම් කාඩ් පැක් එක අරං කාඩ් සෙල්ලමක් කරන්න පුළුවන්. දාම්, චෙස් වගේ දේවලුත් පොඩි අයගේ ඔළුවට හොඳයි. අපි දරුවන්ට යම් යම් දේ එපා කියනවා හා සමානවම ඔවුන්ට අපි අපේ පොඩි කාලේ කරපු පංච දැමීම, බට්ටා පැනීම වගේ දේවලුත් හුරු කරන්න ටිකක් උත්සාහ ගනිමු.

 

4. එළිමහනේ වැඩ වලට අවධානය යොමු කිරීම

එළිමහන කියන්නේ අපිට ඕනිම දෙයක්. ඉර අවුව විටමින් ඩී වලට වගේම අපේ මානසික සෞඛ්‍යයටත් ඕනි වෙනවා. ඉතින් දැන් නම් ගෙවල් වල එළිමහන අපිට අඩුයි. ඒත් ඉතින් තියෙන ටිකේ හරි සෙල්ලම් කරන්න පොඩි අය දිරිමත් කරන්න ඕනි. අපි පොඩි කාලේ බට්ටා පැන්නා, ඉරි පැන්නා, කල්ලි ගැහුවා, බෝල ගැහුවා ආදී වැඩ කළා. ඒ වගේම දැන් පොඩි අයත් ඒ දේවල් කරන්න ආසයි. ඉතින් එළිමහනේ සෙල්ලමටත් දරුවන් ටිකක් පුරුදු වුණොත් ඒක ගේම් ගහන්න එපා කියලා නිතරම බනිනවාට වඩා වැඩි වටිනාකමක් තියේවි.

 

5. ගෙදර දොර බඩු සමග සෙල්ලම් කරන්නට ඉඩ දීම

පුටු කොට්ට අදිනවා, මෙට්ට අදිනවා, කොට්ට ටික ගේ පුරා දානවා කියලා දරුවන්ට නිතර අම්මලාගෙන් මැසිවිලි අහන්නට වෙනවා. ඒත් අපි මොහොතකට හිතලා බැලුවොත් අපිට ඔය දරුවන් වල් කරනවා කියලා කියන දේවල් අස් පරස් කරන්න දවසටම විනාඩි තිහක් යන්නෙත් නැහැ. හැමදාම දරුවන් කැමති විදිහට කොට්ට, මෙට්ට, පුටු ආදියෙන් බලකොටු හදන්න, සෙල්ලම් ගෙවල් හදන්න, කෑ ගහන්න ඉඩ ලබාදෙන්න බැහැ. ඒත් සතියට දවසක් වත් අලාබ හානි ගැන අවධානයෙන් ඉඳලා දරුවන්ට කැමති විදිහට ගේ ඇතුළේ සෙල්ලම් කරන්න ඉඩ දෙන එක කරන්න පුළුවන් නම් හොඳයි.

 

6. කුඩා සතුන්, කුරුල්ලන් ගැන අධ්‍යයනය කර දිනපොත් හැදීම

ලංකාවේ නම් මහල් නිවාස ඇරුණාම පොඩි ගෙදරක වුණත් අවට පරිසරයක් තිබෙනවා. කුහුඹු සතුන්, කුරුමිණියන් ආදී සතුන් දිහා බලන් ඉඳීම වැඩි වැඩ එක්ක කාර්යබහුල අපිට නම් පිස්සුවක්. ඒත් දරුවන්ට එහෙම නැහැ. ඔවුන්ට ලේනුන්, මයිනන්, දෙමලිච්චන් වගේ ගෙවල් වලට නිතර එන සතුන් වගේම කුහුඹුවන්, කුරුමිණියන් ආදී කුඩා සතුන්ගෙත් බලන්න දේවල් තියෙනවා. වෙනස්කම් තියෙනවා. ඒ ස්වාභාවික පරිසරයේ තියෙන වෙනස්කම් ගැන දරුවන්ට චිත්‍ර අඳින්න, ඒ ගැන ලියන්න දුන්නොත් ඔවුන් වඩාත් අවධානයෙන් ඒ දේවල් ගැන නිරීක්ෂණය කරාවි.

 

 

7. යාළුවන් සහ ඥාතීන් සමග කතාවට දරුවන් සම්බන්ධ කරගැනීම

දරුවන්ට යාළුවන් හෝ ඥාතීන් සමග කතාකරන්න කිව්වම බොහෝවිට වෙන්නේ වැඩිහිටි අය ඇවිත් දරුවන්ගෙන් අහන සාමාන්‍ය ප්‍රශ්න පත්තරේ අහන එක. ඒත් දරුවන්ව පවුලේ හෝ හිතවත් සෙසු දරුවන් සමග සම්බන්ධ කරන්න පුළුවන් නම් වටිනවා. වීඩියෝ වලින් යාළුවා හදපු සරුංගලය බලන්න, යාළුවාගේ ගෙදර බලන්න පොඩි අයත් කැමතියි. වැඩිහිටියන් නම් ආච්චි, සීයා සහ වඩාත් ලෙංගතු ඥාතීන් ආදී කැමති අය ඔවුන්ට වීඩියෝ ඇමතුම් හරහා සම්බන්ධ කරන්න පුළුවන් නම් හොඳයි.

 

විදෙස් රටවල, බටහිර රටවල දරුවන්ට එදිනෙදා ජීවිතයේ තනියම වැඩ කරගන්න හොද පුහුණුවක් දෙනවා. ඒක නිසා ඒ දරුවන් ලොකු වෙද්දි හොඳ ස්වාධීන ගති පැවතුම්, පෞරුෂ ලක්ෂණ තියෙන අය බවට පත් වෙනවා. ඉතින් අපේ දරුවනුත් නිතරම පාඩම් වැඩටම යොමු කරන්නේ නැතිව ගෙදර දොර වැඩ, වත්තෙ පිටියේ වැඩ, උයන පිහන වැඩ ආදියට යම් තරමකින් හෝ දායක කරගෙන ජීවිතය ගැන පොඩි පොඩි අත්දැකීම් ගන්න එයාලට හුරු කරවන එක හොඳ වැඩක්.