දැන් සාමාන්‍යයෙන් ඔය බොන යාළුවෝ ටික ඉන්නවනේ. ගොඩක් වෙලාවට ඔය හැම බොනපාට් සෙට් එකකම එක යාළුවෙක් හරි දෙන්නෙක් හරි ඉන්නවා බොන්නෙ නැති. එතකොට ඉතින් එක්කෝ අර බොනපාට්ලට මේ අමද්‍යප එකාව පේන්න නෑ, ඉතින් උන් ටික ට්‍රයි කරනවා මේ අමද්‍යප යාළුවාටත් පොවන්න. එහෙම නැත්තං අමද්‍යප බුවාට මේ බොනපාට්ලා සෙට් එක පේන්න බෑ, ඒත් යාළුවෝ හින්දා ඉවසගෙන ඉන්නවා. එහෙමත් නැතිනං මේ අමද්‍යප බුවා අර බොනපාට්ලා බොන අතරේ, උන්ගේ සයිඩ් බයිට් එක බවට පත් වෙනවා බොන්නෙ නැති නිසාම. දැන් ඔහොම තමයි කතන්දරේ යන්නේ. හැබැයි ඉතින් ඔය අතරේ ඉන්නවා, බොනපාට්ලාටත් කිසිම අවුලක් නැති, කුදාර් වෙන්න ගහන බොනපාට්ලා මැද්දේ වුණත් බොන එවුන්ටත් වඩා ආතල් එකේ ඉඳලා ආතල් ගන්න දන්න අමද්‍යප බුවාලා. ආයෙ ඒ සමහර අමද්‍යප බුවාලා කෙලින පිස්සු වලට අර බීපු එවුන් ටිකත් පදිරි. ඒ වගේම, බොන එවුන්ටත් මේ අමද්‍යප බුවාගෙන් කිසිම කරදරයක්, අවුලක් නෑ.
ඉතින් කොහොමද අන්න ඒ විදියේ ආතල් අමද්‍යප බුවෙක් වෙන්නේ? ඒ ගැන තමයි අපි මේ කියන්න හදන්නේ!
1. සුරාමේරය මජ්ජපමා දට්ඨානා!
දැන් ඔය නොබොන සමහරු ඉන්නවා බොන තැනකට අහම්බෙන් සෙට් වුනත් කරන්නේ අර්ථයෙන් ධර්මයෙන් දේසනා කරනවා කොහොමද නොබී ඉන්නේ කියන එක ගැන. ආයෙ බොන එවුන්ට බෝතලේ අරගෙන මුගේ ඔලුවට අතාරින්නත් බෑ බණෙන් දෙසන නිසා. බෝතලෙන් ෂොට් එකක් දාගෙන බණ දේසනාව අහන්නත් බෑ, සුරාව පාපයක් කියලාම පටන් අරගෙන දේසනා කරන නිසා. මුන්දැලා ඉතින් කෙලින්ම සුරාවේ ආදීනව, සුරාව නිසා පවුල් විනාස වෙන අයුර එහෙම තමයි දේශනා කරන්නේ. මෙහෙම යාළුවෙක් ඉන්න එක නං බොන එවුන්ගේ පූරුවේ පාපයක් ඕං!
ඒ අතරේ තව අමද්‍යප යාළුවෝ ඉන්නවා, කෙලින්ම ගණන් හදන එක තමයි කරන්නේ. දැන් සුරාවට මාසෙකට කොයි තරම් වියදං කරනවද? ආ එහෙමනං, ඒ ගාණ එකතු කරලා ගත්තොත්, අවුරුදු දහයක් යනකොට කාර් එකක් ගන්න පුළුවන් නේද? ඔන්න ඔහොම ටෝක්ස් තමයි දෙන්නේ.
ඉතින් අපි කියන්නේ, තමන් අමද්‍යප වෙන එකේ කිසිම ගැටළුවක් නෑ. කෙලින්ම ධර්මයට අනුව ජීවත් වෙන එකේ කිසිම ගැටළුවකුත් නෑ. හැබැයි ඉතින් අර බොන එවුන්ගේ ආතල් කඩන්න යන්න එපා. උන් තමන්ගේ සල්ලි වලින් නොබොන තාක්කල්,
2. බයිට් සහ සැන්ඩි මරන්ඩෙපා!
අමද්‍යප බුවෙක් බොන පාටියකට සෙට් වුණාම වෙන එක ලොකු අවුලක් තමයි මේක. ආයෙ පටන් ගත්ත ගමන්ම අමද්‍යප බුවා පටන් ගන්නවා බයිට් ටිකට වැඩේ දෙන්න. ආයෙ එළුවා කොළ කන්නැහේ පොර බයිට් තසිම කාගෙන කාගෙන යනවා. අනික් එවුන් සමහර වෙලාවට දකින්නෙත් නෑ බයිට් එක ශීඝ්‍රයෙන් ඉවර වේගෙන යනවා කියලා. පස්සේ ෂොට් එකක් දාගෙන බයිට් එක දිහා බලනකොට බයිට් දීසිය ඉවර කරලා දීසියත් ලෙවකාලා. ඉතින් උන්ට ෂොට් එකට බයිට් එකට ගන්න වෙන්නේ අර අමද්‍යප බුවාව තමයි. ඊට පස්සේ ඊලඟ ෂොට් එක දාන්න සැන්ඩි එක දිහා බලනකොට මෙන්න අරූ සැන්ඩි එකත් කටේ තියාගෙන ඇදලා දාලා. දැන් ගහපංකෝ ඉතුරු අරක්කු ටික අමුවෙන්!
හැබැයි ආතල් අමද්‍යප බුවෙක් මෙන්න මේ විදියේ බයිට් සහ සැන්ඩි මරුවෙක් නෙවෙයි. පොර කලින්ම තමන්ට වෙනම සොෆ්ට් ඩ්‍රින්ක් හරි වෙන තමන් බොන මොනවා හරි දෙයක් සෙට් කරලා තියාගන්නවා. ඕන නං තමන්ට වෙනම බයිට් එහෙමත් ගෙන්න ගන්නවා. අන්න එතකොට බොන සෙට් එකට අමද්‍යප බුවාව කරදරයක් වෙන්නෙ නෑ.
3. නොබිව්වත් කොන්ද කෙළින්!
දැන් ඔය බීපු එවුන් එක්ක සමහර වෙලාවට හරිම අමාරුයි ගේම ගහන්න. එක්කෝ බලෙන් පොවන්න හදනවා. එක්කෝ නොබොන එකාට අනං මනං කියනවා. හැබැයි ඉතින් නොබොන එකා මෙතනදී අර නැවෙන, වැනෙන ඩයල් එකක් වෙලා බෑ. තමන් බොන්නෙ නැතිනම් තමන් බොන්නෙ නෑ. ඉතින් අන්න ඒ විදියේ හොඳ කොන්දක් තියෙනකොටත්, අර බොන එවුන්ට පිළිගන්න පුළුවන් මූ බොන්නෙ නෑ, හැබැයි බොන එවුන් එක්ක ඉන්න අවුලකුත් මූට නෑ කියන එක. එතකොට ආයෙ කාට කාට වුණත් අවුල් වෙන්න දෙයක් නෑ.
හැබැයි තව දෙයක්. කොන්ද කෙළින් තියෙනවා කියන්නේ අර බොන එවුන් එක්ක ගෝරි දාගන්න, ගේම ඉල්ලන්න යනවා කියන එක නෙවෙයි. කොහොමත් සමහරුන්ට දෙකක් දාගත්තට පස්සේ ඉවසීම නැතිවෙනවා, කරන කියන දේවල් තේරෙන්නෙ නැතුව යනවා. ඒ ගැන අපි ඊලඟට කතා කරනවා. ඒත් අමද්‍යප ඩයල් එකට හැකියාව තියෙන්න ඕන තමන්ගේ කොන්දත් කෙළින් තියාගෙන, ඩිප්ලොමැටික් ලෙවල් එකෙන් තත්ත්වය හැන්ඩ්ල් කරන්න.
4. ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය!
බිව්වට පස්සේ සමහරුන්ට ඉවසීම, සිහිය අනං මනං සම්පූර්ණයෙන්ම නැතිවෙලා යනවා කියන එක බොරුවක් නෙවෙයිනේ. අන්න එතකොට තමයි ඔය කෂිලි බිෂිලි වලි ඇදෙන්නේ. විශේෂයෙන්ම ඔය සමහර බීපු එවුන්ගේ වලි නිසා, නොබී ඉන්න එකෙක්ට තියා, මහා ශාන්තිවාදී තවුසට වුණත් මළ පනින අවස්ථා එනවා.
හැබැයි අපි මේ කියන අමද්‍යප ආතල් බුවාට හොඳ ඉවසීමක් තියෙනවා. දැන් බීපු එකෙක් සමහර වෙලාවට දේශපාලනේ හරි වෙන මොකක් හරි ඇදගෙන හිටු කියලා වාද කරනවා. ගේම ඉල්ලනවා. දැන් අපිට මේ බීපු එකා එක්ක වාද කරලා දිනන්න පුළුවන්ද? දිනන්න පුළුවන් වුණත්, ඒකෙන් වැඩක් තියෙනවද?දැන් මේ අපේ අමද්‍යප ආතල් බුවා ඔය කාරණාව දන්නවා. ඒ නිසා මිනිහව මළාට බීපු එකෙක්ට වාදෙකට පටලෝ ගන්න බෑ. පොර ඕනම එකකට “මල්ලි හරි මල්ලි” කියලා තමන්ගෙ ආතල් එකේ ඉන්නවා! ආයෙ බීපු එකෙක් ඇවිත් තමන්ට මොන කුණු කතන්දර කියලා බැන්නත්, බීපු එකා එක්කම ඒවලට හිනා වෙවී ගාණක් නැතුව ඉන්න අපේ මේ අමද්‍යප ආතල් බුවාට පුළුවන්!
5. සිංදුවක් කියලා තමන්ගෙ ආතල් එක අරන්!
අමද්‍යප ආතල් බුවෙක් කියන්නේ නිකම්ම බීපු සෙට් එක කියන කතාවලට ඔළුව වන වනා කම්මැලි කමේ ඉන්න ඩයල් එකකුත් නෙවෙයි. එහෙම ඉන්න නම් ඉතින් ඇත්තටම බොන්න සෙට් වෙන්න ඕනෙත් නෑනේ. අපේ අමද්‍යප ආතල් බුවා සාමාන්‍යයෙන් ඕනම තැනකට ගිහින් තමන්ගේ ආතල් එක ගන්න ඩයල් එකක්. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ ආතල් එක ගන්න වෙරි වෙන්නම ඕන නෑ කියන එකත් පොර දන්නවා. ආන්න ඒ නිසා, අපේ අමද්‍යප ආතල් බුවාත් හොඳට සිංදුවක් කාරිය කියලා, ඕන නං ඩාන්ස් එකක් එහෙමත් දාලා තමන්ගේ ෆන් එක උපරිමයෙන් ගන්නවා, තමන්ගේ බොනපාට් යාළුවෝ ටිකත් එක්ක. සමහර වෙලාවට පිට ඉඳන් බලන එකෙක්ට හිතෙන්න පුළුවන් අර බීපු එවුන් ඔක්කොටම වඩා බීලා, වැදිලා තියෙන්නේ අපේ අමද්‍යප බුවාට කියලා. අවුලක් නෑ. ආවෙ ආතල් එකක් ගන්නනේ. කාටත් කරදරයක් නැති ආතල් එකක් ගත්තට කිසිම ගැටළුවක් නෑ!
6. රහස් රකී ඒ මිනිසා!
මෙන්න මේක ටිකක් සෙන්සිටිව් කාරණාවක්. සමහරු ඉන්නවා බිව්වට පස්සේ ආයෙ බොක්කෙ තියෙන දේත් එළියට දානවා. සමහර දේවල් පිට මිනිස්සු දැන නොගත යුතු රහස් වෙන්නත් පුළුවන්. ඒත් ඉතින් බිව්ව වෙලාවට ඕවා ඔලුවට එනවැයි. හැබැයි ඉතින් සාමාන්‍යයෙන් හොඳ ෆිට් එකක් තියෙන බොන සෙට් එකක් අතරේ එහෙම රහස් එළියට ආවත්, ඒවා බොන මේසෙන් එහාට යන්නේ කලාතුරකින්. සමහර වෙලාවට අනික් එවුන් ටිකත් බීලා නිසා උන්ට ඕක ඔළුවට යන්නෙත් නෑ. ඒත් අමද්‍යප බුවාත් මෙතන ඉන්නවනේ!
ඇත්තටම අපි කියන විදියේ අමද්‍යප ආතල් බුවෙක් බොහොම විශ්වාස කටයුතුයි. තමන්ගේ බීලා ඉන්න යාළුවෝ මොන දේව රහස් එළියට දැම්මත් අමද්‍යප ආතල් බුවා එව්වා පස්සෙ කාලෙක පාවිච්චි කරන්නේ හෝ ලීක් කරන්න තියාගන්නෙ නෑ. ඇත්තටම අමද්‍යප ආතල් බුවා එහෙව් කෙලින් ඩයල් එකක් කියලා දන්න නිසාම, අනික් බොන යාළුවන්ට අමුතුවෙන් පරිස්සං වෙන්න ඕන කියලා හිතෙන්නෙත් නෑ.
7. කොන්ට්‍රෝල් මිතුරා!
දැන් මුළු සෙට් එකම කුදාර් වෙන්න ගහලා, කරටි කැඩිලා වැටුණොත් එහෙම, එතන වගකීම් සහගත කෙනෙක් නැතුව යනවනේ. එක්කෝ එතන ඉන්න බිව්වට එහෙම සිහිය නැතිවෙන්නෙ නැති ඩයල් එකක් වගකීම ගන්න ඕන. එහෙම නැතිනම් ඉතින් අපේ අමද්‍යප ආතල් බුවා තමයි එතන කොන්ට්‍රෝල් එක තියෙන වගකීම් සහගත ඩයල් එක වෙන්නේ. විශේෂයෙන්ම බීපු එවුන්ට තැන තැන පාරේ වැටෙන්න දෙන්නෙ නැතුව ආරක්ෂිතව ගෙවල් බලා ඇරලවන එක හෝ අඩු ගාණේ ටැක්සියකට හරි ගොඩකරවන එක කරන්න පුළුවන් කොන්ට්‍රෝල් මිතුරා වෙන්නේ අපේ අමද්‍යප ආතල් බුවා. ඒ ඇරෙන්න බීපු තැන පොඩ්ඩක් පිළිවෙලක් කරලා තියලා, ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් දේවල් කළමනාකරණය කරන්න ඉන්නෙත් මේ අමද්‍යප ආතල් බුවාම තමයි.
ආන්න එහෙම කොලිටියක් තියෙන අමද්‍යප බුවෙක් කියන්නේ ඉතින් ඕනම බොනපාට් සෙට් එකකට සම්පතක්!
එහෙමනම් ඉතින් බලන්න ඊලඟ දවසේ අපේ බොන යාළුවෝ ටික සෙට් වීමකට කොහොම හරි කරලා ගෙන්න ගන්න ට්‍රයි කරන විදියේ අමද්‍යප බුවෙක් වෙන්න පුළුවන්ද කියලා!
Leave a Reply