ගණදෙවියන් කියන්නෙ අපි හැම කෙනෙක්ම අහල තියෙන ප්‍රසිද්ධ දෙවිකෙනෙක්. එදිනෙදා අපිට අහන්න ලැබෙන දෙවිවරුන්ගේ නම් අතරේ අනිවාර්යයෙන්ම අහන්න ලැබෙන නමක් තමයි ගණදෙවියන් කියන්නෙ. ඉතින් මේ අද කතා කරන්න යන්නෙ ඒ ගණදෙවියන්ට සම්බන්ධ මාතෘකාවක් ගැන. ගණදෙවියන්ට වගේම ගණදෙවියන් අදහන ලෝකය පුරා ඉන්න සියලුම බැතිමතුන්ට විශේෂ දවසක් ගැන. ඒ තමයි ගණදෙවියන්ගේ උපන්දිනය හෙවත් ගනේෂ් චතුර්ති දිනය. මේ දිනය හින්දු පුරාවෘත්තයේ ඇති සියලුම පූජා දින අතරින් විශේෂම පූජා දිනයක්. හින්දු බැතිමතුන් මහා ඉහළින් සමරන දිනයක්. ඉතින් අපි බලමු මේ ගණදෙවියන් සහ ගනේෂා චතුර්ති දිනය පිටුපස තියෙන කතාව වගේම මේ සැමරුම සිදුකරන ආකාරයත් මොන වගේද කියලා.
1. ගණදෙවියන් කියන්නේ කව්ද?
මුලින්ම බලමු කව්ද මේ ගණදෙවියන් කියන්නෙ කියල. අපි හැමෝම නමින් අහල තිබුණට, නිතර පන්සල් වල කෝවිල් වල දකින නිසා හැඩ හුරුකමින් හඳුනනවා වුණාට, මේ ගණදෙවියන් කව්ද කියලා සම්පූර්ණ විස්තරයක්නම් හුඟක් දෙනෙක් දන්නේ නැතුව ඇති. ගණදෙවියන් කියල කියන්නෙ බොහොම බලසම්පන්න දෙවිකෙනෙක්. මේ ගණදෙවියන්ව ගනේෂ්, විනයාගර්, ඒකදන්තන්, ලම්බෝදර්, පුල්ලෙයාර්, ගණදීපන් වගේ විශාල නම් සංඛ්‍යාවකින් හැඳින්වෙනවා. ලංකාවේ උතුරුමැද පළාත ආශ්‍රිතව මේ පුල්ලෙයාර් දෙවියන් කියන නමින් ගණදෙවියන් වන්දනා කිරීම බහුලව සිදුවෙනවා. කොහොම නමුත් දේව මණ්ඩලයේ ඉන්න බල සම්පන්නම දෙවියන් විදිහට තමයි මේ ගණදෙවියන් සැළකෙන්නේ. ඒ වගේම කොයිතරම් බලසම්පන්න වුණත් තමන්ගේ බැතිමතුන් කෙරෙහි උපරිම දයාවෙන් පසුවෙන හරිම විනෝදකාමී දෙවිකෙනෙක් විදිහටත් ගණදෙවියන් සැළකෙනවා. නැටුමට, ගැයුමට, විනෝදයට කැමති, විනෝදකාමී, පරාර්ථකාමී මිනිසුන්ට කැමති මේ ගණදෙවියන්ට කුඩා දරුවෙකුගේ වගේ මුදු මොලොක් ගති පැවතුම් තියෙන බව පැවසෙනවා.
2. ගණදෙවියන්ගේ උපත
ගණදෙවියන්ගේ මව්පිය දෙපළ වෙන්නේ ශිව දෙවියන් සහ පාර්වතී දෙවඟන. පාර්වතී දේවිය විසින් තමන්ගේ හිතේ තියෙන දරුවෙකුගේ ස්වරූපයට හඳුන් පිටි වලින් සකස් කළ පිළිමයක් ඇගේ ඉල්ලීමෙන් සැබෑ පණ ඇති දරුවෙක් බවට පත්වුණ බව තමයි ඉතිහාස කතාවල සඳහන් වෙන්නේ. මේ පිළිබඳ එකිනෙකට වෙනස් බොහොමයක් කතන්දර තියෙනවා. ගණදෙවියන්ට මිනිස් හිසක් නොමැතිව වෙනස් ඇත් හිසක් පිහිටීම ගැනත් ඒ ඇත් හිසෙහි එක දළයක් පමණක් පිහිටීම ගැනත් විවිධ මති මතාන්තර තියෙනවා. ඒ කොහොම වුනත් ගණදෙවියන් කියන්නෙ මාතෘ ගර්භයකින් උපත ලැබූ දෙවි කෙනෙක් නෙමෙයි. පිළිමය අඹන අවස්ථාවේ පාර්වතී දෙවියන් සිදුකළ ඉල්ලීම පරිදිම ගණදෙවියන් විෂ්ණු දෙවියන් තරමටම රූමත්ව, මහා බ්‍රහ්මයා තරමටම බුද්මධිත්ව වගේම ශිව එහෙමත් නැත්තම් ඊශ්වර දෙවියන් තරමටම බලවත්ව මැවුණු බව කියවෙනවා.
3. මොකක්ද මේ ගනේෂ් චතුර්ති?
කලිනුත් කිව්ව වගේ ගනේෂ් චතුර්ති, විනායක චතුර්ති, එහෙමත් නැත්තම් ගනේෂ් චතුස්ටි කියල කියන්නෙ ගණදෙවියන්ගේ උපන්දිනය. එහෙමත් නැත්තම් නිවැරදිම විදිහට කිව්වොත් හින්දු පුරාවෘත්ත වලට, විශ්වයට වගේම දේව සංකල්ප වලට ගණ දෙවියන් කියල දෙවි කෙනෙක් ඇතුළත් වුණ, මේ ගණදෙවියන් මැවීම සිදුවුණා කියලා සැළකෙන දවස. මේ දවස වසරින් වසරට වෙනස් වෙනවා. මේ දිනය සැමරීම සිදු කරන්නේ හින්දු ආගමික කැලැන්ඩරයට අනුව. කොහොම වුණත් ගනේෂ් චතුර්ති කියල කියන්නෙ ගණදෙවියන් අදහන බැතිමතුන් ඉතාමත් ආදරයෙන් මඟබලාගෙන ඉන්න දවසක්. තමන්ගේ ළඟම ආදරණීයයෙකුගේ උපන්දිනයක් සමරන්න මඟ බලාගෙන ඉන්නව වගේ තමයි ඔවුන් මේ ගනේෂ් චතුර්ති දිනය සමරන්න සැරසෙන්නේ.
4. ගනේෂ් චතුර්ති උත්සවය
ගනේෂ් චතුර්ති උත්සවය කියන්නෙ ඉන්දියාවේ මහා ඉහළින් සැමරෙන උත්සවයක්. ලෝකය පුරාම ඉන්න හින්දු බැතිමතුන් වගේම වෙනත් ආගම් වල වුණත් ගණදෙවියන් ගැන විශ්වාසයක් තියෙන, උන්වහන්සේව අදහන බැතිමතුන් වෙනම උත්සවය වෙනුවෙන්ම වීසා අරගෙන ඉන්දියාවට පැමිණෙන කාලයක් තමයි මේ කාලය. මේ ගනේෂ් චතුර්ති උත්සවය දින දහයක් පුරා සැමරීම සිදුකෙරෙනවා. උත්සවයට මාසයකට පමණ පෙර සිට මේ වෙනුවෙන්ම නිර්මාණය කරන විශාල ගණදෙවි ප්‍රතිමාවන් විදී පුරා ප්‍රදර්ශනය කරමින් ඒවාට පුද පූජා සහ වන්දනාමාන කිරීම බැතිමතුන් විසින් සිදුකරනු ලබනවා. මේ කාලයට ඉන්දියාවේ ප්‍රධාන නගර බොහොමයක් විශාල සැණකෙළියක සිරිය උසුලනවා.
5. උත්සවය අවසානය
උත්සවය අවසානයේ අර නිර්මාණය කර පුද පූජා පැවැත්වූ පිළිම මහා පෙරහැරකින් ගඟක් වැනි ජලය විශාල වශයෙන් රැඳුණු ස්ථානයකට වැඩමවලා දියේ ගිල්වීම සිදුකරනවා. ඒ විදිහට තමයි දින ගණනාවක් සිදුකරපු සැමරීම අවසන් කෙරෙන්නේ. ඒ විදිහට ජන්ම දින සැමරීම අවසන් කරන බැතිමතුන් නැවත ගණදෙවියන්ගේ උපන්දිනය උදාවෙනතුරු නොඉවසිල්ලෙන් තමයි පසුවෙන්නේ. ඉන්දියාවේ බොහොම ප්‍රසිද්ධ චරිත පවා කුමන රාජකාරී මධ්‍යයේ වුණත් මේ සැමරීම් වලට සහභාගී වෙන්න අමතක කරන්නේ නැහැ.
6. ලංකාවේ සැමරුම්
ලංකාවෙත් ගණදෙවියන් වෙනුවෙන්ම වෙන්වුණු හින්දු කෝවිල් කිහිපයක් විවිධ නගරවල පිහිටලා තියෙනවා. මේ ගනේෂ් චතුර්ති එහෙමත් නැත්තම් විනයාගර් චතුර්ති දිනය සැමරීම ඒ කෝවිල් වලත් මහා ඉහළින් සිදුකෙරෙනවා. හින්දු ආගමිකයින් වගේම අනෙක් ආගම් වල වුණත් ගණදෙවි බැතිමතුන් මේ පූජාව වෙනුවෙන්ම කෝවිල් වලට විශාල වශයෙන් ඒකරාශී වෙනවා. මේ වසරේ ගනේෂ් චතුර්ති දිනය වෙන්වෙලා තියෙන්නේ සැප්තැම්බර් 10 වෙනිදාට. කොරෝනා තත්ත්වය නිසා සෙනඟ ඒකරාශීවීම සිදු නොවුණත් ගනේෂා හෙවත් ගණදෙවිඳුන්ගේ ජන්ම දිනය සැමරීමනම් කෝවිල් ඇතුළත සිදුවෙනවා.
7. නිවසේදී සැමරීම
කොරෝනා කරදර නිසා කෝවිල් වලට යන්න නොහැකි වුණත් ගණ දෙවියන් අදහන බැතිමතුන්ට මේ ජන්ම දිනය සැමරීම නිවසේදීම සිදු කරන්න පුළුවන්. ඉන්දියාවේ හින්දු ආගමික නිවෙස් වලත් ඒ විදිහටම නිවසේදී ගනේෂ් චතුර්තිය සැමරීම සිදුවෙනවා. ඒ දිනයට ගෙවල් දොරවල් පිරිසිදු කරලා, ගණදෙවියන් වැඩහිඳුවන ආසනය පිරිසිඳු කරලා, අලංකාරව සරසලා, ගණ දෙවියන්ගේ පිළිම ස්නානය කරවීම හෙවත් අභිෂේකය, පළතුරු, කැවිලි ආදී පූජාවන් පැවැත්වීම වගේම මන්ත්‍ර, ස්තෝත්‍ර ගායනයන් එහෙමත් සිදුකරන්න පුළුවන්.
Leave a Reply