බයිසෙක්ෂුවල් පාට්නර් කෙනෙක් එක්ක ජීවත් වෙන්නෙ කොහොමද? මෙන්න ඒකට ටිප්ස් කීපයක්!

අපි සෙක්ස් ගැන කතා කරන කොට මේ කාලේ කතා කරන්නම අවශ්‍යම දෙයක් තමයි සෙක්ෂුවල් ඔරියන්ටේෂන් කියන්නේ. විශේෂයෙන්ම අද වෙනකොට ලෝකේ තියෙන විවිධ සෙක්ෂුවල් ඔරියන්ටේෂන්ස් නැතිනම් ලිංගික නැඹුරුතාවන් සම්බන්ධයෙන් පිළිගැනීමක් තියෙනවා. තවදුරටත් හෙටරෝසෙක්ෂුවක් එහෙම නැතිනම් කාන්තාවන් පිරිමින්ට විතරක් සහ පිරිමි කාන්තාවන්ට විතරක් ආකර්ෂණය වෙන ලිංගික නැඹුරුතාවය විතරක් නෙවෙයි ලෝකේ පිළිගැනෙන්නේ. එතනින් එහාට තියෙන ලිංගික නැඹුරුතාවයන් කොන් කිරීමත් මේ වෙනකොට අඩුවෙමින් තිබෙනවා. 

 

හරි, දැන් මුලින්ම තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. අපි දන්න හෙටරොසෙක්ෂුවල් අය බහුලව ඉන්න වග හරි. හැබැයි බයිසෙක්ෂුවල්, ගේ, ලෙස්බියන් වගේ ලිංගික නැඹුරුතාවයන් දරන්නෙත් අපි අතරෙම ඉන්න, අපේම සහෝදර සහෝදරියෝ තමයි. දැන් අද කතාව බයිසෙක්ෂුවල් අය ගැනනේ. ඒ කියන්නේ කාන්තාවක් එක්ක වුණත්, පිරිමියෙක් එක්ක වුණත් ලිංගිකව එකතු වෙන්න පුළුවන් ලිංගික නැඹුරුතාවයක් තියෙන ගැහැණු හෝ පිරිමින්. එතකොට අපි කියමු ඔයා ස්ට්‍රේට් නැතිනම් හෙටරෝසෙක්ෂුවල් කියලා. ඒ කියන්නේ ඔයා පිරිමියෙක් නම් ආකර්ෂණය වෙන්නේ ගැහැණියකට. ඔයා ගැහැණියක් නම් ආකර්ෂණය වෙන්නේ පිරිමියෙක්ට. එතකොට ඔයා ජීවිතේ ගෙනියන්න තෝරගන්න පාට්නර් බයිසෙක්ෂුවල්. ඒ කියන්නේ එයාට ගැහැණියකට වගේම පිරිමියෙක්ටත් ආකර්ෂණය වෙන්න පුළුවන්. හැබැයි එයා දැන් ආකර්ෂණය වෙලා ඉන්නේ ඔයාට. දැන් කොහොමද ඔය දෙන්නා ජීවිතේ ගෙනියන්නේ?

 

1. වෙන ඕනෙම කෙනෙක් ජීවිතේ ගෙනියන විදියටම තමයි!

පළවෙනිම කාරණාව වෙන්නේ, බයිසෙක්ෂුවල් වීම කියන්නේ පාපයක් හෝ රෝගයක් හෝ නරක දෙයක් කියලා නොහිතීම. ඒ කියන්නේ බයිසෙක්ෂුවල් වීමෙන් අපේ පාට්නර් කිසිම විදියකට විශේෂ වෙනවාය කියලා නොහිතීම. බයිසෙක්ෂුවල් කියන්නේ ඒ මනුස්සයාගේ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක, ලිංගික නැඹුරුතාව විතරයි. ඒකෙන් කියවෙන්නෙ නෑ ඒ මනුස්සයා අමුතු සත්වයෙක් කියලා. දැන් අපි කියමු අපේ පාට්නර් සර්වසම්පූර්ණ වාදියෙක් කියලා. ඒ කියන්නේ එයාට ඕනම දෙයක් සර්ව සම්පූර්ණත්වයට ආසන්න වෙන්න ඕන. ඒක එයාගේ කොලිටි එකක්, ගති ලක්ෂණයක්. එතකොට එයත් ඔයත් කරන්න ඕන යම් කිසි මැද තැනකට ඇජස්ට් වෙන එකනේ. අන්න ඒ වගේ බයිසෙක්ෂුවල් වීම කියන්නෙත් අසාමාන්‍ය දෙයක් නෙවෙයි කියන එක තේරුම් ගන්න ඕන. අඩු ගාණේ අමුතුවෙන් ඇජස්ට් වෙන්න දෙයක්වත් නෑ. බයිසෙක්ෂුවල් කෙනෙක් එක්ක ජීවත් වෙන්න ඕනම් වෙන ඕනම කෙනෙක් එක්ක ජීවත් වෙන විදියට තමයි කියන එක තේරුම් ගන්න ඕන.

 

2. චීට් කරයිද?

මේක ඇත්තටම බයිසෙක්ෂුවල් මනුස්සයෙක්ව ඩේට් කරන සමහරුන්ට ඔළුවට එන ගොන් ප්‍රශ්නයක්. ඒ කියන්නේ බයිසෙක්ෂුවල් වීම මත කෙනෙක් අපිට චීට් කරයිද කියන එක. ඇත්තටම දෙන්නෙක් එකට ජීවත් වෙන්න තීරණය කරන්නම ඕන දෙන්නට දෙන්නා ආදරයක් තියෙන නිසා. එතනින් එහාට අනික් හැමදෙයක්ම ගොඩනැගෙන්න ඕන ඒ ආදරයට පාදක වෙන අවබෝධය සහ විශ්වාසය සහ ලෙංගතු හැඟීම මතනේ. හැබැයි එතකොටත් මනුස්සයෙක් තමන්ගේ පාට්නර්ට හොරෙන් වෙනත් කෙනෙක් එක්ක සෙක්ස් කරන්න හරි, සයිඩ් සම්බන්ධයක් පටන් ගන්න හරි පුළුවන්. බයිසෙක්ෂුවල් වීම ඒකට අදාළ වෙනවද? කොහෙත්ම නෑ. සමහර විට කෙනෙක් වද වෙන්න පුළුවන් “මගේ ගෑණි හෙටරොසෙක්ෂුවල් වුණා නම් මට මිනිස්සු එක්ක යන එක විතරයි නවත්තන්න වෙන්නේ, දැන් ගෑණි බයිසෙක්ෂුවල් නිසා ගෑණු එක්කයි මිනිස්සු එක්කයි දෙගොල්ලගෙන්ම පරිස්සම් කරගන්න වෙනවා” කියලා. ඒක මෝඩ කතාවක්. චීට් කරන්න අවශ්‍ය කෙනා චීට් කරනවා. ඒකට ඔරියන්ටේෂන් එක අදාළ නෑ.

 

3. පොසෙසිව් නොවෙමුද?

සාමාන්‍යයෙන් ඉතින් කපල් එකක් නම්, එකිනෙකා ගැන ඕනවට වඩා පොසෙසිව් වෙන එකෙන් ප්‍රශ්න ඇති වෙනව මිසක් වෙන දෙයක් වෙන්නෙ නෑ. හැබැයි බයිසෙක්ෂුවල් පාට්නර් එක්නෙක් ඉන්නකොට මේ පොසෙසිව්නස් එක, ඒ කියන්නේ කරන කියන හැමදේම හොයාබලන්න, වල්ගෙ වගේ පස්සෙන් එල්ලිලා ඉන්න, ජේලර් කෙනෙක් වගේ මුර කරන්න තියෙන අවශ්‍යතාවය වැඩි වෙන්නත් පුළුවන්. නිකමට හිතන්න, සාමාන්‍යයෙන් හෙටරොසෙක්ෂුවල් වයිෆ් කෙනෙක් ඉන්නකොට පොසෙසිව් හස්බන්ඩ් කෙනෙක් අවුල් යන්නේ වයිෆ් වෙන පිරිමියෙක් එක්ක කතා කළොත් විතරයි. හැබැයි බයිසෙක්ෂුවල් වයිෆ් කෙනෙක් ඉන්න පොසෙසිව් හස්බන්ඩ් කෙනෙක්ට වයිෆ් පිරිමියෙක් එක්ක විතරක් නෙවෙයි, වෙන ගෑණියෙක් එක්ක කතා කළත් ෆුල් අවුල් යනවා. ඉතින් එතකොට බයිසෙක්ෂුවල් වයිෆ් කරන්න ඕන සමාජ ආශ්‍රයෙන් වළකින එකද? නැහැනේ. ආන්න ඒ නිසා, අපි කියන්නේ පොදුවේ ලව් කරනකොට, දෙන්නෙක් එක්ක එකට ජීවත් වෙනකොට පොසෙසිව් වෙන්න යන්නේ නැතුව, එකිනෙකාගේ අවකාශය දීලා සතුටින් සමාදානෙන් ඉන්න කියලා තමයි!

 

4. වෙනස් ටේස්ට් එකකට අවස්ථාව නැති වුණු එක ප්‍රශ්නයක් වෙයිද?

බයිසෙක්ෂුවල් මනුස්සයෙක්ව ඩේට් කරනකොට හරි එකට ජීවත් වෙනකොට හරි කෙනෙක්ට ඔළුවට එන තව කාරණයක් මේක. “මාව මදි වෙයිද?” කියන එක. ඒක කියන්න බෑ. මදිවෙන්න පුළුවන්. හැබැයි ඒකට බයිසෙක්ෂුවල් වෙන්න අවශ්‍ය නෑ. පාට්නර් හෙටරොසෙක්ෂුවල් වුණත්, දෙන්නා අතර සෙක්ස් ලයිෆ් එක හොඳ නැති නම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. බයිසෙක්ෂුවල් කියලා එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්න තියෙන ඉඩ වැඩි වෙන්නෙ නෑ.

 

බයිසෙක්ෂුවල් මනුස්සයෙක් කැමති වෙයිද එක ෆ්ලේවර් එකකට විතරක් හිර වෙලා ඉන්න? ඒකට තමයි එකට ජීවත්වීම කියන්නේ. දැන් එහෙමනම් හෙටරොසෙක්ෂුවල් මනුස්සයෙක්ටත් එක මනුස්සයෙක් එක්ක විතරක් පවුල් කන්න වෙනවනේ. ඇත්තම කතාව මේකයි. බයිසෙක්ෂුවල් මිනිස්සු සෑහෙන්න එක සම්බන්ධතාවයකට විතරක් බැඳිලා ජීවත් වෙනවා. අපි උඩිනුත් කියපු විදියට තව අයව සෙක්ස් ලයිෆ් එකට ඕනද කියන එකට ලිංගික නැඹුරුතාවය අදාළ නෑ.

 

යම් විදියකට එහෙම තව අයව සෙක්ස් ලයිෆ් එකට ඕන කියලා හිතනවා නම්, දෙන්නත් එක්ක සන්නිවේදනය කරලා ඒක විසඳගන්න පුළුවන්.

 

5. සන්නිවේදනය අනිවාර්යයි

මේක ඉතින් අපි හැමදාමත් කියන කාරණයක්නේ. ඕනම සම්බන්ධතාවයකට, ඕනම දේකට සන්නිවේදනය අත්‍යාවශ්‍යයි. ආන්න ඒ නිසා තමන්ට තියෙන ඕන ප්‍රශ්නයක් කතා කරලා විසඳගන්න එක තමයි ඕනම කපල් එකක් කරන්න ඕන. එතකොට තමන්ගේ පාට්නර් බයිසෙක්ෂුවල් නම්, ඒක ගැනත් කරන්න ඕන හරියට දෙන්නා කතාබහ කරලා විසඳගන්න එක තමයි. එතනදී ඉතින් විවෘත මනසකින් දෙන්නම ඒ දිහා බැලීමත් අනිවාර්යයි. ඒ වගේම, ඔළුවේ වෙන වෙන ස්ටීරියෝටයිප් නැතුව සෙක්ෂුවල් ඔරියන්ටේෂන් දිහා බැලීමත් අනිවාර්යයි. උදාහරණයක් විදියට ගත්තොත්, අපි කියමු හස්බන්ඩ් බයිසෙක්ෂුවල් කියලා. එතකොට වයිෆ් සංවාදෙට එන්නෙම “ඊයා ඔයා කොහොමද තව පිරිමියෙක් එක්ක සෙක්ස් කරන්නේ?” කියන මතයත් එක්ක නම්, සංවාදේ ඒ තරම් දුර දිග යන එකක් නෑ. ආන්න ඒ නිසා, තමන් ලිංගික නැඹුරුතාවයන් ගැන නොදන්නවා නම් හරි හැටි ඉගෙන ගන්න. අන්න ඊට පස්සේ දෙන්නත් එක්ක විවෘතව ඒ ගැන කතා කරන්න.

 

6. සාමාන්‍ය ග්‍රවුන්ඩ් රූල්ස්ම තමයි

දැන් බයිසෙක්ෂුවල් ගැහැණියක් හරි පිරිමියෙක් හරි එක්ක පවුල් කනකොට, විශේෂයෙන්ම නීති රීති ටිකක් දාන්න ඕනෙද? “ඔයා වෙන ගෑණියෙක් දිහාවත් වෙන පිරිමියෙක් දිහාවත් බලන්න බෑ”, “කවුද අර ඔයත් එක්ක සිරික්කිය දාගෙන හිටපු එකයි එකියි?” ඔන්න ඔය වගේ නීති රීති ටිකක් ඕන වෙයිද? උත්තරේ පිස්සුද අයිසේ කියන එක තමයි. බයිසෙක්ෂුවල් වුනත්, හෙටරෝසෙක්ෂුවල් වුණත් නීති රීති එක්ක සම්බන්ධතාවයක් පවත්වගෙන යන්න නම් අමාරු වෙයි. හැබැයි ඉතින් ඕනම සම්බන්ධතාවයක පිළිගත්‍තු රෙගුලාසි ටිකක් තියෙනවනේ. උදාහරණයක් විදියට, වයිෆ්ට හොරෙන් තව කවුරු හරි එක්ක කෝපි එකක් හරි බොන්න යන එක ප්‍රශ්නකාරීයි. අන්න එතනදී බයිසෙක්ෂුවල්ද නැද්ද කියන එක අදාළ වෙන්නෙ නෑ. එකම දේ වෙන්නේ, තමන්ගේ හෙටරොසෙක්ෂුවල් මිනිහා තව මිනිහෙක් එක්ක කෝපි එකක් බොන්න ගිහින් වයිෆ්ට නොකිව්වත් වයිෆ් ගාණක් ගන්නෙ නෑ. හැබැයි තමන්ගේ බයිසෙක්ෂුවල් මිනිහා වයිෆ්ට නොකියා වෙන ගෑණියෙක් එක්ක කෝපි බොන්න ගියත්, වෙන මිනිහෙක් එක්ක කෝපි බොන්න ගියත් ගිණි කෙලි බලාපොරොත්තු වෙන්න පුළුවන්. 

 

7. හොමොෆෝබියා එක්ක බෑ ඉතිං

මේක නම් කතාකරලා විසඳගන්න බැරි දෙයක්. දැන් හොමොෆෝබියා කියන එක, ඒ කියන්නේ මනුස්සයෙක් සමලිංගික වීම ගැන තියෙන භීතිකාවකට කිට්ටු පිළිකුල හෝ අප්සට් හැඟීම කියන්නෙම නිවැරදි කරගන්න ඕන කාරණාවක්. එතකොට බයිසෙක්ෂුවල් කෙනෙක් ගැනත් ඔය කියන හොමොෆෝබියා තත්ත්වය වැඩ කරනවා. එතකොට අපි කියමු පාට්නර් බයිසෙක්ෂුවල් වෙන අතරේම තමන්ට් හොමොෆෝබියාවක් තියෙනවා කියලා. එතකොට උඩ කියපු දේවල් කරලා මේ ප්‍රශ්නේ විසඳගන්න හරිම අමාරුයි. ඔක්කොටම කලින් කරන්න වෙන්නේ හොමොෆෝබියාව නැති කරන එක. හැබැයි ඒ මොන දෙයින්වත් හෝමෝසෙක්ෂුවල් හරි බයි සෙක්ෂුවල් හරි මනුස්සයෝ ගැන තමන්ගේ හිතේ තියෙන අප්‍රසන්නතාවය, පිළිකුළ නැති කරගන්න බැරි නම්, කණගාටුවෙන් වුණත් දෙන්නට වෙන් වෙන්න තමයි සිද්ධ වෙන්නේ. අන්න ඒ නිසා, හොමොෆෝබික් හැඟීම් තියෙන මනුස්සයෙක් නම් වහාම ඒවා නැති කරගන්න තමයි අවශ්‍ය වෙන්නේ. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *