ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සුවිශේෂී මතක සටහන්

වර්තමාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ වීමෙන් පසුව ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීම වළක්වාලූයේ ලෝක යුද්ධ පමණයි. කෙසේ නමුත් ලෝකය වෙලාගත් කොරෝනා වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස 2020 ජපානයේ ටෝකියෝ අගනුවර ආරම්භ වීමට තිබූ ඔලිම්පික් උලෙළ වසරකින් ප්‍රමාද කරනු ලැබුවා. කෙසේ නමුත් මේ සියළුම අභියෝග මධ්‍යයේ ජපන් ජනතාව අති සාර්ථකව මෙම ක්‍රීඩා උළෙලේ සමාප්තිය සනිටුහන් කිරීමට සමත් වුණා. අපි අද ඔබත් එක්ක බෙදා ගන්න යන්නේ මේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මතක සටහන් කීපයක්.

 

1. මාසෙල් ජේකොබ් (Marcell Jacob)

මෙවර ක්‍රීඩා උලෙළ වර්ණවත් කළ මෙම ඉතාලියානුවා මීටර් සීය දුර දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ එවැනි වික්‍රමයක් කළ පළමු ඉතාලියානුවා පමණක් නොව, 1992 න් පසුව එම ඉසව්වෙන් මුල් තැන හිමිකර ගත් පළමු යුරෝපීයයා බවටද පත් වෙමින්. පළමු තරගයේදී ඔහු තත්පර 9.94කින් තරගය නිම කළ අතර අවසන් තරගයේදී එය නිම කිරීමට ඔහුට ගතවූයේ තත්පර 9.8ක් පමණයි. 

 

 

2. එලේන් තොම්ප්සන් හේරා (Elaine Thompson-Herah)

ධාවන තරගවලදී ජැමෙයිකානුවන්ගේ අධිපත්‍යය තව දුරටත් රඳවා තබා ගනිමින් එලේන් තොම්ප්සන් මීටර් සීය සහ මීටර් දෙසීය දුර දිවීමේ තරගවල රන් පදක්කම් දිනා ගැනීමට සමත් වුණා. මෙවැනි වාර්තාවකට හිමිකම් කී පළමු ක්‍රීඩිකාව වන්නේද ඇයයි. මේ නිසා වර්තමානයේ ලොව සිටින වේගවත්ම ක්‍රීඩිකාව බවට ඇය පත්ව තිබෙන අතර  ඔලිම්පික් තරඟාවලියක මීටර් 100 ඉසවුවෙන් දෙවැනි වේගවත්ම කාලය වාර්තා කළ ක්‍රීඩිකාවද ඇය වනවා.

 

 

3. ඇලිසන් ෆීලික්ස් (Allyson Felix)

කොරෝනා වසංගත සමයේදී ඇය පුහුණුවීම් කටයුතු සිදුකොට තිබෙන්නේ විවිධ දුෂ්කරතා මධ්‍යයේයි. මවක වූ ඇය සිය පුහුණුවීම් කටයුතු සඳහා තෝරාගෙන තිබුණේ විදී, වෙරළ තීර සහ  පාපන්දු ක්‍රීඩාපිටියි. ඇගේ වයස ගැන සිතූ ඇතැම් ක්‍රීඩා විචාරකයන් මෙම ක්‍රීඩා උළෙලේදී ඇය ගැන එතරම් බලාපොරොත්තු තබාගත නොහැකි බවද පවසා සිටියා. කෙසේ නමුත් ඇය සිය පෞද්ගලික පදක්කම් සංඛ්‍යාව 11 දක්වා ඉහළ නංවා ගනිමින් ජවන හා පිටිය තරගවලින් වැඩිම පදක්කම් ගණනාවක් ලබාගත් කාන්තාව වීමේ වාර්තාව මෙන්ම කාල් ලුවිස් විසින් පවත්වාගෙන ගිය වැඩිම පදක්කම් සංඛ්‍යාවට හිමිකම් කී ඇමරිකානුවා යන වාර්තාවද බිඳ හෙලීමට සමත් වුණා.

 

 

4. නීරජ් චොප්රා (Neeraj Chopra)

මලල ක්‍රීඩා අංශයෙන් රන් පදක්කමක් දිනාගත් පළමු ඉන්දියානුවා බවට පත් වීමට නීරජ්  චොප්රා සමත් වුණා. මෙය සැළකෙන්නේ ඉන්දියාව නිදහස ලැබීමෙන් පසුව මලල ක්‍රීඩා අංශයෙන් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව ලෙසයි. ඒ සඳහා ඔහු තරග වැදුණේ හෙල්ලය විසි කිරීමෙනුයි. එසේම සමස්ත ඔලිම්පික් කේවල ක්‍රීඩා ඉසව්වල රන් පදක්කමක් දිනූ දෙවැනි ඉන්දියානුවා වන්නේ ද ඔහුයි (මීට පෙර 2012 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උලෙළෙදී ඉන්දියාව සිය ඔලිම්පික් රන් පදක්කම දිනාගෙන තිබුණේ එයාර් රයිෆල් තරගයකිනුයි)

 

 

5. අහම්ඩ් හෆ්නාවි (Ahmed Hafnaoui)

2021 ක්‍රීඩා උළෙල තුළ වඩාත්ම කතාබහට ලක්වූ ක්‍රීඩකයා ලෙස දහ අට හැවිරිදි මේ ටියුනීසියානුවා හැඳින්විය හැකියි. මීටර් 400 නිදහස් ආර පිහිනුම් තරගයේ රන් පදක්කම ඔහු ජයග්‍රහණය කිරීම කිසිවෙක් අපේක්ෂා කළ දෙයක් වූයේ නැහැ. 8 වැනි තීරයේ පිහිනීමේ යෙදෙමින් රන් පදක්කමක් දිනූ තුන්වෙනි පිහිනුම් වීරයා වීමේ වාර්තාව ද ඔහු ඒ සමගින් හිමිකරගත්තා. කෙසේ නමුත් මීටර් 800 නිදහස් ආර තරගයේ තේරීම් වටවලින් ඔහු ඉවතට විසි වුණා.

 

 

6. මූරඩ් අලිව් (Mourad Aliev)

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ සිදු වූ එක් අපකීර්තිමත් සිදුවීමක් වූයේ බොක්සිං තරගයකදී ප්‍රංශ ජාතික ක්‍රීඩක මූරඩ්ව එම තරගයෙන් ඉවත් කිරීමට තීරකයන් කටයුතු කරනු ලැබීමයි. එම තීරණයට එරෙහිව මූරඩ් දිගටම බොක්සිං වළල්ලේ රැඳී සිටිමින්  උද්ඝෝෂණයක නිරත වුණා. එහිදී එම වළල්ලේ රැඳී සිටි කැමරා ක්‍රියාකරුටද ඔහු පහර දුන්නා. පසුව තීරකයන් විසින් වැරදි තීරණයක් දී තිබූ බවට පැහැදිළි වූ නමුත්  නීති රීති අනුව යළිත් ඔහුව තරගබිමට කැඳවීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. මෙම සිදුවීම පිළිබඳව ප්‍රංශයේ ඔලිම්පික් කමිටුවද සිය විරෝධය  පළ කර තිබෙනවා.

 

 

7. ටොම් ඩාලි (Tom Daley)

බ්‍රිතාන්‍ය ජාතික කිමිදුම් ක්‍රීඩකයෙකු වන ටොම් ඩාලි ලොව පුරා ජනමාධ්‍ය වල කතාබහට ලක් වූයේ ඔහු ජයග්‍රහණය කළ ඔලිම්පික් රන් පදක්කම නිසා නොව තරග වාර අතරතුර උද්‍යෝගිමත් ආකාරයෙන් ගෙත්තම් කිරීමේ කටයුතුවල නිරත වීම නිසයි. ඔහු පවසන පරිදි එය ඔහුගේ විනෝදාංශය වන අතර ඒ සඳහා වෙනම ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් පවා ඔහු විසින් පවත්වාගෙන යනවා.

 

එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *