මෙවර ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශ වුණු පොත් 12 මොන වගේද?

මේ පාරත් පමා වෙලා හරි ආපු ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශ වුණු පොත් 12 ගැන විස්තර ඔයාලා අනිවාර්යයෙන්ම දකින්න ඇති. ඒ පොත් ගන්නවද නැද්ද, කතාව මොන වගේ එකක්ද, ගත්තොත් සල්ලි අපරාදේද වගේ ප්‍රශ්න ගොඩකින් සමහර විට ඔයා ඉන්නවා ඇති. ඉතින් ඒ නිසා අපි හිතුවා අද මේ කෘති දොළහේම කෙටි විස්තරයක් ඔයාට කියන්න. 

 

1. කඳඅරනී 

මේ පොත ගැන නම් අපි මීට කලිනුත් ඔයාලට කියලා තියෙනවා. මේ පොත ලියන්නේ නිශ්ශංක විජේමාන්න කියන මීට කලිනුත් ස්වර්ණ පුස්තක සම්මානය දිනාගත්ත විශිෂ්ට ලේඛකයෙක්. මෙවර ඔහු කඳඅරනී හරහා අපිට කියන්නේ නූතන වැදි පරපුර ගැන කතාවක්.

 

2. භේරුණ්ඩ කැදැල්ල 

මේ කෘතිය ලියූ රූපා ශ්‍රියානි මහත්මියත් මීට පෙර මෙම සම්මානයට හිමිකම් කිව්වේ “සිටුවර පුවත” නවකතාව හරහායි. සුපුරුදු විදියට ඇගේ පොත් වල තියෙන උත්තම පුරුෂ දෘශ්ටියෙන් තමයි මේ පොතත් ලියන්නේ. මේ පොතට පාදක වුණේ නූතන බුද්ධිමය මංකොල්ලයක් ගැන කතාවක්. සංකීර්ණ කතාවක් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන් වුණාට මේ පොත හරිම සරලව ලියලා තියෙන බවත් කිව යුතුමයි. 

 

3. කෝමල මාණවක 

ප්‍රංශ පෙම්වතා, වීනස්ගේ උපත, කුමර කොබෙයි වැනි කෘති රැසක් හරහා සම්මානවලට නිර්දේශ වුණු වගේම ජනාදරයට පත් වුණු අපූරු ලේඛිකාවක් තමයි ශමෙල් ජයකොඩි කියන්නෙ. මෙවර ඇය ලියූ කෝමල මාණවක කෘතියට පාදක වෙන්නේ පියා මිය ගිය ලංසි පවුලක දියණියන් දෙදෙනෙක්ගේ කතාවක්.

 

4. ජීවිතයේ ඔයිල් පැල්ලම්

මීට කලින් “වයර් පොටක සෞන්දර්ය” පොත කියවලා තියෙනවා නම් තරිඳු ශ්‍රී ලොකුගමගේ කියන්නේ ඔබට නුහුරු නමක් නම් නොවෙනවා ඇති. මේ පොත ආකෘතියෙන්ම වගේම භාෂා රටාවෙනුත් තරමක් නෙමෙයි, ගොඩක් වෙනස් කෘතියක්. කෘතියට පාදක වෙන්නේ දිනේෂ් කියන බ්‍රෝකර්වරයෙකුගේ කතාව. මෝටර් රථ වලට ආස අයත් මේ පොතට ආසවෙයි. අනිවාර්යයෙන්ම කියවලා බලන්නකෝ.

 

5. I.D

ෆැන්ටසියත් යථාර්ථයත් අතර කතා ගොතන්නෙක් හැටියට මොහාන් රාජ් මඩවල මහත්මයා අපි කා අතරත් ජනප්‍රියයි. මෙවර ඔහු සුපුරුදු ඓතිහාසික නවකතාවෙන් ඔබ්බට ගිය නැවුම් කතාවක් පාඨකයන්ට ගෙන එන්නේ නූතන ඩිජිටල් ලෝකයේ අපිට අහිමි වුණු අපේ නියම I.D එක හොයාගන්න අවස්ථාවක් අපිට ලබා දෙමින්.

 

6. සිදුරු පත්තර

ඉතිහාසයේ අපි දන්න තොරතුරු පාදක කරගනිමින් දක්ෂ විදියට කතා මවන්නියක් විදියට සේපාලි මායාදුන්නේ කියන ලේඛිකාව අපගේ හදවතේ රැඳී ඉන්නවා. පක්ෂ දේශපාලනය නිසා පීඩා විඳින අසරණ මිනිස්සු ගැන කතාවක් තමයි ඇයගේ මේ නවතම නවකතාව වන “සිදුරු පත්තර” කෘතියට ඇතුළත් වී තිබෙන්නේ.

 

7. බාණ කුසුම්

මීට පෙරත් ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශ වුණු තවත් එක් විශිෂ්ට ලේඛිකාවක් තමයි කත්‍යානා අමරසිංහ කියන්නේ. මෙවර ඇය බාණ කුසුම් හරහා අතීතයේ සිට වර්තමානය දක්වා විහිදුණු කතාවක් අප වෙත ගෙන එනවා. කතාවක් කිව්වට තනි කතාවක් නෙමෙයි, කතා දෙකක්. ඒ වගේම කෘතියේ යටි පෙළෙනුත් අපූරු දේශපාලන කතාවක් කියවෙනවා.

 

8. මුක්ති

අපේ රටේ ඉන්න ප්‍රවීණ ලේඛකයෙක් වන සෝමරත්න බාලසූරිය මහතා තමයි මේ පොතේ කර්තෘ වන්නේ. මේ කෘතියට පාදක වෙන්නේ රුදුරු භීෂණ සමයේදී පුවත්පත් කලාවේදියෙකුට මුහුණ පාන්නට වන සිදුවීම් පෙළක්. ඕනම කෙනෙක්ට සරලව රසවිදින්න පුළුවන් විදියට ලියවී ඇති අපූරු කෘතියක්.

 

9. මධුර මන්තර

සුමිත්‍රා රාහුබද්ධ කියන්නේත් මීට කලින් ස්වර්ණ පුස්තක සම්මානයට හිමිකම් කිව්ව ලේඛිකාවක් වගේම අපේ හිතේත් රුඳුණු ලේඛිකාවක්. තරමක් දිගු නිහැඬියාවකට පස්සේ ඇය ලියූ නවතම කෘතිය වන මධුර මන්තර කෘතියට පාදක වෙන්නේ ජීවිත සටන ගෙන යාමට කසිප්පු වෙළඳාමේ යෙදෙන මිලී නම් මවක් ගැන කතාවක්. 

 

10. ආරාමදාස

ආරියවංශ අබේසේකර මහත්මයගේ ආරාමදාස නවකතාවත් හරි අපූරු පොතක්. මේ පොතේ කතා වස්තුවට පාදක වන්නේ ආරාම කර්මාන්තය සඳහා යොදාගන්න හීන කුලයේ මිනිසුන්ගේ ජීවිතයි. එෙතිහාසික දැනුමද මනාව භාවිතා කරමින් සංවේදීබව මුසු වුණු කතා පුවතක් මේ කෘතිය හරහා ලේඛකයා අපට තිළිණ කොට තිබෙනව. 

 

11. මැස්සා

ගියවර ස්වර්ණ පුස්තක සම්මානයට හිමිකම් කිව්ව එරික් ඉලයප්ආරච්චිගේ “මැස්සා” කෘතියත් මෙවර නිර්දේශ අතරට එකතු වුණා. මේ කෘතියට පාදක වෙන්නේ ගණිතය හදෑරීම අතහැර දමා දර්ශනය හදාරන්න ගන්නා සිසුවෙක්ගේ කතා පුවතක්. සුපුරුදු පරිදි කියවන්න තියෙනවාට වඩා වැඩිපුර හිතන්න තියෙන අපූරු පොතක්.

 

12. දෙගොඩවාරම 

මිත්‍යා මතයන් වල අසත්‍යතාව චරිත කිහිපයක් ඇසුරින් අපට පෙන්වා දුන් තවත් වෙනස්ම විදියේ නවකතාවක් තමයි දෙගොඩවාරම කියන්නේත්. මේ පොත රචනා කළේ ගාමිණී කන්දේපොළ . මෙය ඔහු ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශ වුණු මුල්ම වතාව වීමත් විශේෂත්වයක්.

 

සමහර විට මේ පොත් වලින් ගොඩක් පොත් ඔයා දැනටම කියවලත් ඇති. මොකද අපි මීට කලිනුත් මේ ගොඩක් පොත් ගැන ඔයාලට කියලා තියෙන නිසා. එහෙනම් මේ තොරතුරු යාළුවොත් එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා… 

 

ශශින් ප්‍රබෝද්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *