වාහන රක්ෂණයට සම්බන්ධ ගොඩක් දේවල් ගැන අපි මීට කලින් ඔයාල දැනුවත් කරලා තියෙනවා. අපි අදත් වාහන රක්ෂණය ගැනම තව කාරණාවක් ගැන තමයි කතා කරන්න සූදානම් වෙන්නෙ. හැබැයි ඊට කලින් කියන්න ඕනේ මේ කාලෙ ගොඩක් අය වාහන රක්ෂණය කිරීම ගැන වැඩි උනන්දුවක් නෑ. හැබැයි පොඩ්ඩක් ඔළුවේ තියාගන්න වාහන පාරේ දුවද්දී අනතුරු වෙනවා වගේම නවත්තල ගෙදර තියෙද්දිත් අනතුරු වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ රක්ෂණය නිසියාකාරව පවත්වාගෙන යාම ගැන තව පොඩ්ඩක් වැඩියෙන් හිතන්න. ඉතින් ඒකත් එක්කම ඔය රක්ෂණයෙන් ආවරණය වෙන ආවරණ ගැන පොඩ්ඩක් වැඩිපුර හොයල බලන්න මේ කාලය පොඩ්ඩක් වැය කළාට පාඩුවක් නෑ. මොකද කාර්යබහුල ජීවිත ගත කරන අපිට ඔය ඉන්ෂුවරන්ස් වල කවර්ස් ගැන එච්චර හොයල බලන්නන් වෙලාවක් නෑ. ඉතින් අපි අද මේ කතා කරන දේවලුත් හිතට අරන් පොඩ්ඩක් තමන්ගේ කවර්ස් නැවත පාරක් හොයා බැලීමක් කරන්න. ඉතින් අපි අද කතා කරන්න හිතුවේ ඔබ සමහරවිට නොදන්නා වාහන ෆුල් ඉන්ෂුවරන්ස් වල තියෙන අතිරේක ආවරණ (Additional Covers) ගැනයි.
1. Terrorism Cover (ත්‍රස්තවාදී ආවරණය)
නමේම තියෙන විදිහට ත්‍රස්තවාදී ක්‍රියාවක් නිසා සිද්ධවෙන අලාභ හානි තමයි මේ ආවරණයෙන් ආවරණය වෙන්නෙ. මේක මෝටර් වාහන රක්ෂණයේදී විතරක් තියෙන ආවරණයක් නෙමෙයි, අනෙකුත් විවිධ රක්ෂණාවරණ වලටත් මේ ආවරණය ලබාගන්න පුළුවන්. දැනට ලංකාවේ ත්‍රස්තවාදී අනතුරක් නැති නිසා බොහෝ දෙනා මේ ආවරණය ලබා ගන්නේ නෑ. නමුත් පහුගිය පාස්කු ප්‍රහාරයේදී එහෙම මේ ආවරණය ලබා නොගත්තු වාහන වලට ඒ නිසා වුණ හානි වලට ගෙව්වේ නෑ ඉන්ෂුවරන්ස් කොම්පැනි. ඉතින් අපිට කියන්න බෑ කොයි වෙලාවේ මේ වගේ තර්ජනයක් එයිද, කොයි වෙලාවේ ප්‍රහාරයක් වෙයිද කියලා. ඒ නිසාම සමහර ලීසිං ආයතන නම් ඉන්ෂුවරන්ස් එක ඉල්ලන්නේ මේ ආවරණයත් එක්ක.
2. Special Windscreen Cover (විශේෂිත වා මුවා ආවරණය)
මේක ටිකක් පැටලිලි සහගත වෙන්න පුළුවන් ගොඩක් අයට. හරි අපි හෙමීට අවබෝධ කරගමු. සාමාන්‍යයෙන් වාහනයකට ෆුල් ඉන්ෂුවරන්ස් එකක් දාද්දි පොදුවේ ඔක්කොම පාර්ට්ස් ආවරණය වෙනවා.ඒ කියන්නෙ වා මුවාවත් එහෙම නැත්නම් වින්ඩ්ස්ක්‍රීන් එකත් ආවරණය වෙනවා. ඔයාලට හිතෙයි දැන් එහෙනම් “ඇයි විශේෂයෙන් වා මුවාවට වෙනම ආවරණයක්?” කියල. ඔයාට එහෙම හිතෙන එක හරි. ඒකට විශේෂයෙන් ආවරණයක් අවශ්‍ය නෑ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. වාහනයක අනතුරක් නොවන හේතුවක් නිසාත් වින්ඩ්ස්ක්‍රීන් එකට හානි වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට වාහනය නවත්වා තිබියදී ඒකෙ ඇතුළේ පීඩනය සහ රස්නය වැඩි වීමක් නිසා වින්ඩ්ස්ක්‍රීන් එකට හානියක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අනතුරක් නොවන හේතුවක් නිසා වින්ඩ්ස්ක්‍රීන් එකට හානියක් උනොත් ඒක ඉන්ෂුවරන්ස් එකෙන් කවර් වෙන්නෙ නෑ. ඒ වගේ අවස්ථාවක මෙන්න මේ කවර් ඒක අරන් තිබ්බොත් විතරයි ගෙවීම් කරන්නෙ. ගොඩක් වෙලාවට ඒ කවර් එකෙන් අලාභ ලබාගන්නකොට ඒක No Claim Bonus එකට බලපාන්නෙත් නෑ. ඔන්න ඔය හේතු දෙක නිසා තමයි මේ ආවරණය වැදගත් වෙන්නෙ.
3. Towing Cover (ඇදගෙන යාමේ ගාස්තු ආවරණය)
මේකත් ඉතින් බැලූ බැල්මට තේරෙනවනේ හැමෝටම. ඉතින් මේකෙදි වෙන්නෙ වාහනය ඇදගෙන යෑමට සිද්ද වුණොත් ඊට අදාළ වියදම් ප්‍රතිපුර්ණය කිරීමයි. හැබැයි මේකෙදි විශේෂම දෙයක් තියෙනවා. ඒ තමයි, අනතුරක් නිසා වාහනය පදවාගෙන යන්න බැරි අවස්ථාවක ඇදගෙන යන්න සිදු වීමකදී විතරයි මේ මේ ආවරණය මගින් ඒ වියදම් නැවත ලබාගන්න හැකි වෙන්නෙ. නැවත කියනවා, අනතුරක් නිසා ඇදගෙන යන්න උනොත් විතරයි.
4. Learner Driver Cover (රිය පුහුණු ආවරණය)
සාමාන්‍යයෙන් රියදුරු බලපත්‍රයක් තියෙන කෙනෙක් හැර වෙන කෙනෙක් වාහනයක් පැදවීම නිසා වෙන අනතුරක් වෙනුවෙන් රක්ෂණ ආයතන වගකීමකට බැඳෙන්නේ නෑනේ. ඒකනේ සාමාන්‍ය තත්ත්වය. හැබැයි මේ ආවරණය ලබාගෙන තිබුණොත් ඒ අවස්ථාවේදී හානිය සඳහා ගෙවීම් කරනවා රක්ෂණ ආයතන. හැබැයි මේක කොන්දේසි වලට යටත් වෙනවා. ඒකෙන් පළවෙනි එක තමයි ඒ අදාළ පුද්ගලයා (රිය පුහුණුවන්නා) සතුව RMV එකේ රියදුරු බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කරලා, ඊට අදාළ ලිඛිත පරීක්ෂණයට ඉදිරිපත් වෙලා, ඊට පස්සේ ලබාදෙන රිය පුහුණු බලපත්‍රය (Learner Permit) තිබිය යුතුයි. ඒ වගේම මේ කවර් එක පුද්ගලික රක්ෂණාවරණයක් සඳහා ලබාගන්නවනම් රියපුහුණුවන්නාගේ නමින් ඒ ආවරණය ලබාගෙන තිබිය යුතුයි. අනිත් එක වන්දි ගෙවීමේදී යම් කිසි මුදලක් අඩු කරනවා ඊට අදාළ අවදානම වැඩි නිසා.
5. Airbag Cover (එයාර් බෑග් ආවරණය)
දැන් කාලේ ගොඩක් වාහන වලට මේ එයාර් බෑග් කියන ආරක්ෂිත අංගය ඇතුළත් වෙනවා. නමුත් බොහෝ විට රක්ෂණ ආයතන මේ එයාර් බෑග් සඳහා ගෙවීම් කරන්නෙ යම් ප්‍රතිශතයක්. සමහර ඉන්ෂුවරන්ස් කොම්පැනි ගෙවන්නෙම නෑ. ඉතින් ඉන්ෂුවරන්ස් එක දාන්න කලින් ඒ ගැන අහල දැනගෙන අවශ්‍ය නම් මේ ආවරණය ලබාගන්න ඒක ඇඟට වගේම පොකට් එකටත් වඩා හොඳයි.
6. Personnel Accident Benefit Cover/ PAB (පුද්ගල හදිසි අනතුරු ආවරණය)
මේ ආවරණයත් ගොඩක් වටිනා ආවරණයක්. මේකෙන් වෙන්නෙ වාහනය ඇතුළේ ඉන්න පුද්ගලයින් වෙනුවෙන් ආවරණයක් සැපයීමයි. සමහර ඉන්ෂුවරන්ස් ආයතන මේ ආවරණය එක එක වාහන පන්ති වලට නොමිලේ ලබාදෙනවා. හැබැයි යම් වටිනාකමක් දක්වා පමණයි. ඉතින් නොමිලේ දුන්න හෝ නොදුන්නා ඔයාට ඔයාගේ වාහනය ඇතුළේ යන අයට අනතුරකදී වෙන හානි සඳහා ආවරණයක් මේ තුළින් ලබාගන්න පුළුවන්. ඒක කොච්චර වටිනාකමක් දක්වා ලබාගන්නවාද? කාට කාට ලබාගන්නවාද? කියන එක ඔයාටම තීරණය කරන්න පුළුවන්.
7. Extended Third-party Property Damage (දීර්ඝ කරන ලද තුන්වන පාර්ශ්වයේ දේපල ආවරණය)
මේ ආවරණයත් කලින් එකට ටිකක් සමානයි. මේකෙදි වෙන්නෙ ඔයාගේ වාහනය අනතුරකට මුහුණ පෑවොත් ඊට සම්බන්ධ වෙන අනිත් පාර්ශ්වයට (දේපල) වෙන හානි වෙනුවෙන් ඔයාගේ ඉන්ෂුවරන්ස් ඒක හරහා ගෙවීම් කරන්න පුළුවන් වෙන එකයි. කලින් ඒක වගේම ඒ ආවරණය කොපමණ වටිනාකමක් දක්වා ලබාගන්නවද කියන එක ඔබට තීරණය කරන්න පුළුවන්.
Disclaimer:
අපි මේ සඳහන් කරපු ආවරණ එක එක රක්ෂණ ආයතනවල පොඩි පොඩි වෙනස්කම් සහිතව තියෙන්න පුළුවන්. ඒ නිසා මේකෙන් මූලික දැනුමක් ලබාගෙන ඉතිරිය ඔයාගේ ඉන්ෂුවරන්ස් එකත් එක්ක කතා කරලා හරියටම විස්තර දැනගන්න.
Leave a Reply