අහස් තරණය හෙවත් Skydiving ගැනයි මේ

Skydiving එහෙමත් නැත්තම් Parachuting විදිහටත් සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙන මේ ක්‍රීඩාව ගැනයි අද කතාව. හැබැයි Parachuting කියන්නෙනම් ක්‍රීඩාවක් නෙමෙයි. මේක ගුවන් හමුදාවේ ක්‍රියාවන් වලට ඇතුළත් අංගයක්. හැබැයි පහුකාලීනව මේ පැරෂුට් වලින් පනින එක ක්‍රීඩාවක් බවට හරවල ඒ අත්දැකීම සාමාන්‍ය ජනතාවට ලබාගන් පුළුවන් විදිහට හදපු ක්‍රීඩාවට තමයි අපි Skydiving කියල කියන්නෙ. අද වෙද්දී මේක හුඟක් දෙනෙකුගේ හීනයක්. මැරෙන්න කලින් කරලා ඉවර කරගන්නම ඕන බකට් ලිස්ට් ඒකේ අනිවාර්ය අංගයක්. ඉතින් අපි කියවල බලමු මේ Skydiving ගැන මුල ඉඳලම තොරතුරු. 

 

 

1. Parachuting ඉතිහාසය

මේ ක්‍රීඩාවේ ඉතිහාසය පැරෂුටය සොයාගැනීම දක්වා ඈතට යනවා. ඒ කියන්නෙ 1797 වගේ ඈතට මේ ක්‍රීඩාවේ ඉතිහාසය විහිදෙනවා. ලෝකයේ මුල්ම වරට පැරෂුට් පිම්මක් කළා කියලා වාර්තා වෙන්නෙ පැරෂුටය සොයාගත් André-Jacques Garnerin කියන  පුද්ගලයා විසින්. ඉතින් එයාටම පළවෙනි පිම්ම  පනින්න උනේ ඒ අවදානම වෙන කෙනෙක් නොගත්තු නිසා කියල සමහරවිට කෙනෙක්ට හිතෙන්නත් පුළුවන් සහ එහෙම හිතෙන එකත් සාධාරණයි. ඒ වගේම ක්‍රීඩාවේ කොටස් දෙකක් තියෙනවා. එකක් පැරෂුටින් කියන කොටස සහ අනික ඩයිවින් කියන කොටස. පැරෂුටය දිග අරින්න කලින් නිදහසේ අහසේ පාවීම තමයි ඩයිවින් කියන්නෙ. පැරෂුටය දිගඇරුනට පස්සේ කොටස පැරෂුටින් කියල තමයි කියන්නෙ.

 

 

2. ආරක්ෂාව

බැලූ බැල්මට සාමාන්‍ය මනුස්සයෙක් දෙපාරක් හිතල බලල යොමු වෙන ක්‍රීඩාවක් තමයි මේක. මොකද සැලකිය යුතු උසක ඉඳන් බිමට පනින ඒක එච්චර සරල දෙයක් විදිහට හිතන්න ටිකක් අමාරුයිනෙ. විශේෂයෙන් කියන්න ඕනේ 70 දශකයේදී ඇමරිකා එක්සත් ජනපදයේ මේ ක්‍රීඩාව ටිකක් ජනප්‍රිය වෙලා තියෙනවා. හැබැයි වැදගත් කාරණාව වෙන්නෙ ඒ කාලේ කරපු පිමි වලින් වසරකට සාමාන්‍යයෙන් 42.5 ක් වගේ ප්‍රමාණයක් මරණීය අනතුරු විදිහට වාර්තා වෙලා තියෙනවා. 80 දශකයට එද්දී ඒ අනතුරු ප්‍රමාණය වසරකට 34.1 ක් දක්වා අඩු වෙලා තියෙනවා. ඒ වගේම 2009 දී පිමි මිලියනයකට මරණ 7.5 ක් වගේ ප්‍රමාණයකට අඩු වෙලා තිබෙනවා. ඒ මේ ක්‍රීඩාව දියුණු වෙද්දී ආරක්ෂාවට වැඩි තැනක් දීපු නිසා වෙන්න ඇති බොහෝ දුරට. 

 

 

3. තරඟ 

ක්‍රීඩාවක් විදිහට අද වෙද්දී මේ ඉසව්ව දියුණුවට පත් වෙලා තියෙනවා සාපේක්ෂව සලකා බලද්දී. ඒ වගේම ලෝකයේ තරඟ පවා පවත්වනවා මේ ක්‍රීඩාව වෙනුවෙන්. ලෝක ශූරතා තරඟාවලියක් ඊට ඇතුළත්. එකේදී Indoor හා Outdoor විදිහට විවිධ ඉසව් පවත්වනවා. ඒ ඉසව් වෙන්නෙ Canopy Formation (outdoor only), Canopy Piloting (outdoor only), Dynamic (indoor only), Formation Skydiving (indoor and outdoor), Paraski (outdoor only), Style & Accuracy Landing (outdoor only) සහ Wingsuit Flying (outdoor only) යන ඒවායි.

 

 

4. වාර්තා පොත් වල ලියවුණු පිමි

මේක බොහෝ දෙනෙක් නිරත වෙන්න ඒ තරම් කැමැත්තක් නැති, ඒත් ගොඩක් අය ආසයි බයයි මානසිකත්වයෙන් ඉන්න ක්‍රීඩාවක් කියල කිව්වොත් නිවැරදියි. හැබැයි මේ ක්‍රීඩාවට කෙනෙක් ඇබ්බැහි වෙන සුළු ගතියක් තියෙනවා. ඒ නිසාම ගොඩක් ක්‍රීඩකයෝ පසුකාලීනව වාර්තා බිහි කරන්න මේ ක්‍රීඩාවේ යෙදෙනවා. ඉතින් මේ ක්‍රීඩාවේ වැඩිම උසකින් පැනපු පිම්ම විදිහට ගිනස් පොතේ ලියවුණු පිම්ම වෙන්නෙ 1962 දී සෝවියට් දේශයේ Eugene Andreev නම් පුද්ගලයා විසින් කරපු පිම්මකුයි. ඔහු ඒකෙදි මීටර් 24,500ක උසකින් පැනල තියෙනවා. ඒ වගේම ලංකාවේ අපිටත් ආඩම්බර වෙන්න පුළුවන් වාර්තාවකුත් තියෙනවා. ඒ දකුණු ආසියාවේ පිමි 200 ක් සම්පුර්ණ කරන ලද පුද්ගලයා විදිහට ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න වාර්තා පොත් අතරට එකතු වෙලා තියෙනවා. 

 

 

5. කොහොමද මේ වැඩේ වෙන්නෙ? 

මේ ක්‍රීඩාවට යොදා ගන්න ඇඳුම ගැන ඉස්සෙල්ල කතා කරමු. මේකට යොදාගන්න ඇඳුමේ දෑත සහ දෙපා අතර කොටස් යා කරලා පියාපත් වගේ ස්වභාවයක් මතුකරලා තියෙනවා. ඒ නිසා ගුවනේදී පියාපත් වැනි කොටස් ආධාරයෙන් තමන්ට කැමති විදිහට ඩයිව් කරන්න පුළුවන්. ඉන් පස්සේ යම් දුරක් පහළට ආවම තමයි පැරෂුටය ක්‍රියාත්මක කරන්නෙ. විශේෂයෙන් මේක ලංකාව වගේම ලෝකයේත් ලොකුවට ප්‍රසිද්ධ නැති ක්‍රීඩාවක්. ඒකට මූලික හේතුව වෙන්න ඇති ක්‍රීඩාවේ තියෙන අවදානම, ඒ වගේම මේ ක්‍රීඩාව වෙනුවෙන් වැය වෙන පිරිවැය. ඇඳුමට අමතරව තවත් කොටස් තුනක් හෝ හතරක් අවශ්‍ය වෙනවා ක්‍රීඩාවට. හාර්නස් සිස්ටම් එක, ප්‍රධාන පැරෂුටය, රිසව් පැරෂුටය, ස්වයංක්‍රීය සක්‍රියකාරක උපාංගය (automatic activation device (AAD))කියන කොටස් තමයි ඒ. 

 

 

6. ලංකාවේ තත්ත්වය

ලංකාවේ ආයතන කිහිපයක් ඉන්නවා මේ ක්‍රීඩාව විනෝදාංශයක් විදිහට කරන්න කැමති අයට ගිහින් පිම්මක් පනින්න පුළුවන් අවස්ථාව ලබාදෙන. හැබැයි කලිනුත් කිව්වා වගේ මිල ගණන් නම් ටිකක් නෙමෙයි සැලකිය යුතු තරමින් ඉහළයි. ඒ වගේම මේ ක්‍රීඩාව වෘත්තීය මට්ටමට කරන්නෙ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයින් කිහිපදෙනෙක් විතරයි. ඒ වගේම ක්‍රීඩාවක් විදිහට මෙයට ලංකාවේ ඉතාම අඩු ජනප්‍රියත්වයක් තමයි දැනට තියෙන්නෙ.

 

 

7. ක්‍රීඩකයකු සතු විය යුතු ගුණාංග

අපි කතා කළානේ මේ ඉසව්ව ක්‍රීඩාවක් විදිහටත් ඒ වගේම විනෝදාංශයක් විදිහටත් කරන්න පුළුවන් කියන එක. හැබැයි ඔය මොන විදිහට මේ ඉසව්වට සහභාගී උනත් පුද්ගලයෙක් විදිහට ඔබට තියෙන්න ඕනේ ඉතා වැදගත් ගුණාංග කිහිපයක් තියෙනවා. ඉන් විශේෂම දේ වෙන්නෙ හොඳ මානසික ඒකාග්‍රතාවයක් වගේම ඉවසීමක් තියෙන්න ඕනේ. ඒ වගේම ඉතාම හොඳ පුහුණුවකින් පස්සේ තමයි මේ ක්‍රීඩාවේ නිරත වෙන්න අවශ්‍ය වෙන්නෙ. එහෙම නැති උනොත් අවසානය වෙන්නෙ කොහොමද කියන ඒක අපි කියන්න ඕනේ නැහැනේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *