හිසරදය වැළඳුණු නැති කෙනෙක් නැති තරම්. හැමෝටම මේ හිසරද තත්ත්වයන්ට එක වරක් හෝ මුහුණ දෙන්නට වෙනවා. හිසරදය කියන්නේ ලෙඩක් නෙමෙයි, රෝග ලක්ෂණයක්. ආසාදන සහ අහිතකර තත්ත්වයන් ගණනාවකට අපිට උණ ඇතිවන්නට පුළුවන්. ඒ වගේම හිසරදයත් කාරණා ගණනාවක් නිසා ඇතිවන්නට පුළුවන්. ඉතින් මේ හිසරදය ගැන අපි කරුණු ටිකක් බලමු.
1. හිසරදය යනු
බෙල්ලෙන් උඩ තිබෙන කොටස හිස වෙනවා. ඒ හිස කොටස තුළ වැදගත් ඉන්ද්‍රියයන් කිහිපයක් පිහිටලා තියෙනවා. ඇස්, කන්, නාසා, කට වගේම වඩාත් වැදගත් මොළයත් තියෙන්නේ මේ හිස කොටසේ. හිසේරදය ලෙස ඔළුවේ සහ නළලේ ඇතිවෙන අධික වේදනාව දැක්වෙනවා. මෙය කුඩා වේදනා නාශකයකින් සමනය වෙන වේදනාවේ සිට විවිධ දරුණු රෝගාබාධ දක්වා පැතිරෙනවා. මොළය මගින් සිරුරේ සියළුම පද්ධතීන් පාලනය කරනවා. ඒ මොළය කොටස තුළ ඇතිවෙන සංකීර්ණතා හිසරදයට මූලික වශයෙන් බලපානවා.
2. දරුණු හිසරද පරීක්ෂා කිරීමේ පියවර
ද්විතීයික තත්ත්වයේ හිසරද පරීක්ෂා කරන්න තාක්ෂණික ක්‍රම පාවිච්චි කරනවා. රුධිරය පරීක්ෂා කරලා ආසාදන තත්ත්වයක් තිබේද කියලා පරීක්ෂා කරන්නට පුළුවන්. ඒ වගේම මොළයේ ලේ ගැලීම්, ඉදිමීම් ආදී භෞතික තත්ත්වයන් වල වෙනසක් තියෙනවා නම් එය සී ටී ස්කෑන් එකක් හරහා හඳුනාගන්නට පුළුවන්. MRI එකේදි ටිකක් ගැඹුරට ගිහින් මොළයේ සියුම් කොටස් වල වෙනස්කම් අනාවරණය කරගන්නවා. මොළය සහ සුසුම්නාව සම්බන්ධ සිද්ධියක් නම් එවිට මස්තිෂ්ක සුසුම්නා තරලය පරීක්ෂා කරනවා.
3. මිග්‍රේන් තත්ත්වය
මිග්‍රේන් කියන්නේ ටිකක් සුලභ තත්ත්වයක්. මිග්‍රේන් ඇතිවන හේතුවක් හෝ එය නිට්ටාවටම සුව කරගන්නා ආකාරයක් තවමත් වෛද්‍ය විද්‍යාවෙන් සොයාගෙන නැහැ. මිග්‍රේන් තත්ත්වය උද්දීපනය කරන නොයෙක් සාධක තියෙනවා. ආලෝකය, අධික ශබ්දය, ශීතල සහ කෑම වර්ග හරහා මිග්‍රේන් උත්සන්න වෙනවා. මෙහිදී හිසරදය පැය 4 සිට පැය 72ක් දක්වා දිග කාලයක් පවතින්නට පුළුවන්. මේ හිසරදයට වේදනා නාශක වගේම හිසරද තත්ත්වය සමනය කරන ඖෂධ ආදියත් ගන්නට තියෙනවා.
4. ආයුර්වේදය අනුව හිසරදයට හේතු
විකල්ප වෛද්‍යකර්මයක් විදිහට ආයුර්වේදය කියන්නේ වැරදි පුරුදු නිසා හිසරදය වැඩිවෙන බවක්. ඌෂ්ණ ආහාර ගැනීම, සීතල ආහාර ගැනීම හිසරදය වැඩි කරන බව ආයුර්වේදයේ සඳහන්. ඒ වගේම රා අරක්කු, මත් ද්‍රව්‍ය සහ ඌෂ්ණ අවස්ථාවලදී තේ කෝපි පානය කිරීම හිසරදය වැඩි කරනවා. වැරදි විහරණය හෙවත් වැරදියට හැසිරීමත් හිසරදයට හේතුවක් ලෙස ආයුර්වේදය දක්වනවා. අධික ශීතලට හෝ පින්නට නිරාවරණය වීම, කඳු නැගීම, දූවිලි ඇති තැන්වල සිටීම, අවුවට නිරාවරණය වීම, පයට පොළව නොපෑගීම ආදී හේතු නිසා හිසරදය වැඩිවෙන බව ආයුර්වේදයේ සඳහන් වෙනවා.
5. කාන්තාවන් අතර බහුල හෝමෝන නිසා ඇතිවන හිසරදය
කාන්තාවන්ට මාස් ශුද්ධිය ආසන්නයේදී හිසරද තත්ත්වයන් වැඩියි. එයට හේතුව සිරුර තුළ සිදුවන ඊස්ට්‍රජන් හෝමෝන වෙනස් වීම. ඔසප් අවස්ථාවේ හෝ ඊට පෙර ඇතිවෙන මෙම තත්ත්වයට පැරසිටමෝල් වැනි සාමාන්‍ය වේදනා නාශකයක් ගැනීමේ වරදක් නැහැ. ඒ වගේම සිරුරේ හෝමෝන සහ වෙනත් ස්නායු දුබලතා නිසාත් කලාතුරකින් හිසරදය ඇතිවන්නට ඉඩ තිබෙනවා. ඒ අවස්ථාවල අදාළ තත්ත්වය වෛද්‍යවරයෙකුට පෙන්වා ප්‍රතිකාර ගැනීම වැදගත්.
6. සයිනසයිටිස් හිසරදය
හිස් කබලේ කොටස් තුළ සෙම වැනි දියර පිරීම නිසා ඇතිවෙන තත්ත්වය සයිනසයිටිස් ලෙස දැක්වෙනවා. සයිනසයිටිස් තිබෙන අය හිස්කබලේ සෙම පළවා හැරීමට හුමාලය ඇල්ලීම සුදුසුයි. ඒ වගේම සයිනසයිටිස් දරුණුවට තියෙනවා නම් සැත්කම් හරහා ඒ තත්ත්වය සමනය කරගන්නත් පුළුවන්. උදෑසන සහ ශීතල කාලවලට වැඩිවෙන මේ සයිනසයිටිස් ප්‍රතිජීවක ඔසු වලින් තාවකාලිකව නවත්වාගන්නට පුළුවන්.
7. දොස්තරට කියන්න ඕනි දේවල්
ලංකාවේ අපිට දොස්තර මහත්තයාට කතා කරන්න ලැබෙන්නේ සුළු වෙලාවක්. හිසරදය තිබේ නම්, එය ඇතිවුණේ මොන අවස්ථාවෙදීද? ඒක කොපමණ කාලයක් තිස්සේ තියෙනවාද කියලත් කියන්නට ඕනි. ඒ වගේම තිබෙන වෙනත් රෝගාබාධ ටිකත් දොස්තර මහත්තයාට කියන්නට ඕනි. මොකද හිසරදය කියන්නේ උණ වගේ වෙනත් බොහෝ රෝගවලට එන්න පුළුවන් අතුරු ආබාධයක්. හිසේ වැඩිම වේදනාවක් තියෙන පදාසය හෝ කොටස වෛද්‍යවරයාට පෙන්වීමත් වැදගත්. මින් පෙර හිසරදය නිතර හැදෙන තත්ත්වයක් තිබුණේ නම් එයත් වෛද්‍යවරයා දැනගන්නට උවමනා කාරණාවක් වෙනවා. මානසික ආතති තත්ත්වයන් හිසරදය වැඩි කරන නිසා ඒ ගැනත් කියන එක හොඳයි.
සාමාන්‍ය හිසරදයට ගන්න ඇස්ප්‍රීන් සහ පැරසිටමෝල් ඔසු තියෙනවා. ඒ වගේම සයිනසයිටිස් වැනි සෙම් අමාරු වලට පැඟිරි තෙල් සහ එවැනි ආලේප හරහා සහනයක් ගන්නත් පුළුවන්. දැන් කාලේ හිසරදයක් හැදුනාම “අමෝ අමෝ කොවිඩ්ද දන් නැහැ… ඔළුවේ පිළිකාවක්ද දන්නැහැ” කියලා නපුරු සිහින අපිට පේනවා. එත් බොහොමයක් හිසරද එහෙම දරුණු තත්ත්වයන් නෙමෙයි. කොහොම වුණත් හිසරදය කියන්නේ එක ලෙඩක් නෙමෙයි, ලෙඩ මාලාවක එකක් වෙන්න පුළුවන් නිසා දිගින් දිගටම තියෙනවා නම් ගොඩ බේත් බිබී ඉන්නේ නැතුව නිසි වෛද්‍යවරයෙකුට පෙන්වීම වැදගත් වෙනවා.
Leave a Reply