දැන් කාලේ හැටියට චීන භාෂාව ටිකක් ඉගෙන ගමුද? මෙන්න ඒකට උදවු!

දැන් දැන් වෙනකොට ශ්‍රී ලංකාවේ අපිට චීනේ සෑහෙන්න කිට්ටු වෙලානේ තියෙන්නේ. හා නැද්ද? විශේෂයෙන්ම ඔය චීන ණය එක්ක එහෙම ගත්තහම සමහරු අනාගත වාක්‍ය කියනවා සිරි ලංකාව චීනේ කොළනියක් වෙලා තමයි නතර වෙන්නෙ කියලා. ඔව්වා ඉතින් ඔය එක එක උන්දැලා ඉරිසියාවට කියන කතා වෙන්නත් පුළුවන්, එහෙම නැතිනම් ඇත්තටම තව අවුරුදු දහයකින් විතර අපිට කොහේ හරි ගියහම ආයුබෝවන් නැතිනම් කොහොමද කියනවා වෙනුවට “නී හාව්” කියන්න සිද්ධ වෙන්නත් පුළුවන්! හරි, කොහොම හරි, මේ වෙනකොට ශ්‍රී ලංකාවේ චීන ජාතිකයෝ සෑහෙන්න ඉන්නවා. ඉස්සරහටත් ඔය චීන ජනගහණය වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ. එතකොට කොහොම වුණත් ශ්‍රී ලංකාව සහ චීනය අතර සමාජ සංස්කෘතික සම්බන්ධතා වුණත් තවත් තර වෙන්න පුළුවන්.

 

දැන් එහෙම වෙනකොට මෙහේ ඉන්න චීන ජාතිකයෝ සිංහල ඉගෙන ගනීද? එහෙම නැතිනම් අපිට චීන මැන්ඩරින් ඉගෙන ගන්න සිද්ධ වෙයිද? ඇත්තටම වෙන්න පුළුවන් දේ තමයි ඔය දෙකම. කොහොමත් අපි ජාත්‍යන්තර භාෂාවක් දෙකක් ඉගෙන ගන්න එකේ කිසිම වැරැද්දක් නෑ. එතකොට ඉංග්‍රීසිත් එක්ක චීන මැන්ඩරින් භාෂාව ඉගෙන ගන්න එක කොහොමත් අමතර වාසියක් මිසක් පාඩුවක් වෙන එකක් නෑ. අමතක කරන්න එපා, ලෝකේ ජනගහණයෙන් 16% ක්, ඒ කියන්නේ මිනිස්සු බිලියන 1.3 ක් කතා කරන භාෂාවක් තමයි චීන භාෂාව.

 

ආන්න ඒ නිසා අපිත් බලමුද චීන භාෂාව පොඩ්ඩක් ඉගෙන ගන්න? ඇත්තටම චීන භාෂාව උගන්වන යූටියුබ් චැනල්ස් සෑහෙන්න තියෙනවා වගේම, ඔය භාෂා ඉගෙන ගන්න තියෙන ඩුවලින්ගෝ වගේ ඇප්ස් වලත් චීන භාෂාව තියෙනවා.

 

1‍. රිසර්ච් එක මුලින්ම

ඕනම භාෂාවක් ඉගෙන ගැනීමෙදී වගේම, චීන භාෂාව ඉගෙන ගැනීමෙදීත් මෙන්න මේ පදනම අත්‍යාවශ්‍යයි. පදනම තමයි රිසර්ච් එක, එහෙම නැතිනම් භාෂාව ගැන කරුණු සෙවීම. ඇයි ඒක වැදගත් කියන්නේ? උදාහරණයක් විදියට ගත්තොත්, ඇත්තටම චීන භාෂාව කියලා “එකක්” නෑ. චීන මැන්ඩරීන් භාෂාව තියෙනවා. එතකොට චීන කැන්ටනීස් භාෂාව තියෙනවා. ඒ ඇරෙන්න තව ඩබ් ඩයලෙක්ට්ස් ඕන තරම් තියෙනවා. එතකොට අපි මොකද්ද ඉගෙන ගන්නේ? ඇත්තටම ඒකට උත්තර දෙන්න නම්, අපිට චීන භාෂාව අවශ්‍ය මොනවටද කියලා හිතන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත් අපිට පොදුවේ චීනයත් එක්ක ගනුදෙනු කරන්න එහෙම අවශ්‍ය නම්, පොදුවේ චීන භාෂාව ජාත්‍යන්තර වශයෙන් භාවිතා කරන්න අවශ්‍ය නම් හොඳම විකල්පය වෙන්නේ චීන මැන්ඩරින් ඉගෙන ගැනීම. එහෙම නැතුව අපි හොංකොං වල පදිංචියට යන නිසා චීන ඉගෙන ගන්න එහෙම හිතනවා නම්, අපි චීන කැන්ටොනීස් තමයි ඉගෙන ගන්න ඕන.

 

ඒ ඇරෙන්න චීන භාෂාවේ විකාශනය, චීන භාෂාව කොයි වගේද කියන කාරණා එහෙමත් සරල ගූග්ල් රිසර්ච් එකකින් හොයාගන්න ඕන. භාෂාව ඉගෙන ගන්න කලින් මේ කරුණු කාරණා දැනගන්න එක බොහොම ප්‍රයෝජනවත්!

 

2. සෙන්ටෙන්ස් ස්ට්‍රක්චර්, වර්ඩ් වෙබ්ස්

සාමාන්‍යයෙන් ඕනම භාෂාවක් හදිසියේ ඉගෙන ගන්න හිතන කෙනෙක් මුලින්ම කරන්නේ පහසුවෙන් සහ බහුලව භාවිතා වෙන වාක්‍ය සහ වාක්‍යාංශ ඉගෙන ගන්න එක. ඒ කියන්නේ ගුඩ් මෝර්නින් කියන්නේ කොහොමද, හෙලෝ කියන්නේ කොහොමද, මගේ නම අහවලා කියන්නේ කොහොමද වගේ එව්වා ඉගෙන ගන්න එක. ඇත්තටම එව්වා හරි ලේසියෙන් ගූග්ල් කරලා හොයාගන්න පුළුවන්. හැබැයි ඒක ටුවරිස්ට් වර්ෂන් එක. වැඩේ හරි විදියට ඉගෙන ගන්න නම් පදනමේ ඉඳලා පටන් ගන්න ඕන.

 

මූලිකවම අපි ඉගෙන ගන්න ඕන චීන භාෂාවේ වාක්‍ය නිර්මාණය වෙන විදිය. වෙන විදියකට කිව්වොත් ග්‍රැමර් නැතිනම් ව්‍යාකරණ කොටස. හැබැයි මේක හිතන තරම් අමාරු නෑ. හැබැයි තමන් දැනට දන්න භාෂාවට අනුව හිතන්න නොයන එක වැදගත්. ඒ කියන්නේ සිංහල භාෂාවේ වාක්‍ය නිර්මාණය වෙන විදියට නෙවෙයි ඉංග්‍රීසි භාෂාවේ වාක්‍ය නිර්මාණය වෙන්නේ. ඒ විදියට නෙවෙයි චීන භාෂාවේ වාක්‍ය නිර්මාණය වෙන්නේ. මෙන්න මේ වෙනස ග්‍රහණය කරගන්න පුළුවන් මූලික පදනමේ ඉඳලා පටන් ගත්තොත්.

 

ඒ වගේම, ටිකෙන් ටික පටන් ගැනීමෙදීම වාග්කෝෂය දියුණු කරගන්න ඕනනේ. ඒ කියන්නේ විවිධ වචන වල තේරුම් දැනගන්න ඕන. ඒකට හොඳම ක්‍රමයක් තමයි වර්ඩ් වෙබ් එකක් හදාගන්න එක. ඒ කියන්නේ විවිධ දේවල පින්තූර සහ එව්වල චීන නම් එකතුකරලා අපිට නිතර කියවන්න පේන තැනක තියාගන්න එක.

 

3. අකුරු

දැන් චීන භාෂාව ඉගෙන ගන්නවා කියන්නේ ඔය ලතින්, ස්පාඤ්ඤ, ඉතාලි වගේ භාෂාවක් ඉගෙන ගන්නවට වඩා ටිකක් වෙනස්. මොකද, අර උඩින් කියපු භාෂා වලින් ලියන්න ඉගෙන ගන්න පුළුවන් ඉංග්‍රීසි අකුරු සෙට් එක දන්නවා නං. හැබැයි චීන භාෂාව නිකං දෙමළ වගේ. අමුතුම අකුරු සෙට් එකක්. එහෙම කියන එක වැරදියි. සිංහල අකුරු දන්නවා නම් දෙමළ අකුරු ඉගෙන ගන්න එක අමාරු නෑ. හැබැයි චීන අකුරු වල ආකෘතියේ ඉඳලම අපිට ආගන්තුකයි. 

 

හැබැයි එහෙමයි කියලා වැඩේ ඉම්පොසිබල් නෑ. චීන භාෂාවේ කැරැක්ටර්ස් අටදාස් ගාණක් තියෙනවා කියලා කියනවා. හැබැයි බය වෙන්න දෙයක් නෑ. චීන අකුරු ඉගෙන ගන්න Pinyin කියලා තියෙන සිස්ටම් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ චීන වචන උච්චාරණය වෙන විදියට ලියන සිස්ටම් එකක්. ඉංග්‍රීසි අකුරු වලින් චීන ලියන සිස්‍ටම් එකකුත් තියෙනවා. හැබැයි ඒවල උච්චාරණ විධි පේන අකුරු එකතු කිරීම් වලට වඩා වෙනස් වෙනවා. අන්න ඒක ඉගෙන ගන්න ඕන.

 

4. ප්‍රනවුන්සියේෂන්

දැන් අපි උච්චාරණය ගැන කතා කළානේ. ඒක හුරු වෙන්න නම් ඉතින් වැරදි වැරදි හරි චීන මැන්ඩරින් වලින් කතා කරන්න පටන් ගන්න වෙනවා. එතනදී අපි පාවිච්චි කරන්නේ ඇප් එකක් හෝ යූටියුබ් වීඩියෝස් නං, හරි උච්ඡාරණයන් නැවත නැවත අහමින් අපේ උච්ඡාරණයේ වැරදි හදාගන්න පුළුවන්. අපි කතා කරනකොට චීන ජාතිකයෙක් චීන කතා කරනවා වගේ නොවෙන්න පුළුවන්. ඒ තරම් ස්මූත් විදියට වචන එලියට නොඑන්න පුළුවන්. ඒකට කමක් නෑ. වෙන ඕනම භාෂාවක් ඉගෙන ගන්නවා වගේම, අපිට ඇහෙන තරමට සහ කතා කරන තරමට තමයි අපේ චින මැන්ඩරින් උච්ඡාරණය විධිමත් වෙන්නේ සහ ඇණහිටින්නේ නැතුව කතා කරන්න පුළුවන් වෙන්නේ.

 

5. ඇහෙන්න දෙන්න

ඇහෙන්න දෙන්න කියලා කියන්නේ ඇත්තටම අපිට හොඳට චීන භාෂාව උච්චාරණය කරන්න පුරුදු වෙන්නත්, චීන වචන හුරු වෙන්නත්, කොටින්ම කියනවා නම් චීන භාෂාවෙන් හිතන්න පුරුදු වෙන්නත් අවශ්‍ය නම් අපිට චීන භාෂාවේ ගිලෙන්න වෙනවා. ඒකට කරන්න පුළුවන් දේවල් සෑහෙන්න තියෙනවා. අපි කොහොමත් චීන ඉගෙන ගන්න පාවිච්චි කරන වීඩියෝස් වල චීන කියලා දෙනවනේ. ඒ ඇරෙන්න චීන භාෂාවෙන් තියෙන චිත්‍රපටි බලන එක, සිංදු වලට ඇහුම්කන් දෙන එක එහෙමත් වැදගත්. ඒක වෙන ඕනම භාෂාවක් ඉගෙන ගැනීමෙදී වගේ තමයි. භාෂාව නිතර නිතර ඇහෙනකොට ඒක ඔළුවටම යනවා.

 

 

6. බඩීස්

දැන් අපි චීන භාෂාව ඉගෙන ගන්න ක්ලාස් එකකට එහෙම යනවා නම්, අපිට චීන භාෂාවෙන් කතා කරන්න ගනුදෙනු කරන්න යාළුවෝ කාරිය ලැබෙනවනේ. හැබැයි එහෙම නැතුව තනියෙන් ඉගෙන ගන්නවා නම්? අන්න එතකොට අපිට ඒත් බඩී සිස්ටම් එකක් හොයාගන්න වෙනවා. ඕන නම් ඔය අපිට වුණත් ජොයින් වෙන්න පුළුවන් චීන සෝෂල් මීඩියා එහෙම තියෙනවනේ. ආන්න ඒකකට සෙට් වෙලා චීන ඉගෙන ගන්න කතාබහ කරන්න බඩියෙක් හොයාගන්න පුළුවන්. ඇත්තටම ඕනම මනුස්සයෙක් කැමතියි තවත් කෙනෙක් තමන්ගේ භාෂාව ඉගෙන ගන්නවට. එහෙම තවත් කෙනෙක් තමන්ගේ භාෂාව ඉගෙනගන්න උනන්දුයි කියලා පේනකොට ඒකට ඕනම උදවුවක් කරන්න මනුස්සයෙක් පෙළඹෙනවා. ආන්න ඒ නිසා, චීන භාෂාවෙන් කතා බහ කරලා චීන ඉගෙන ගන්න බඩියෙක් සෝෂල් මීඩියා වලින් හොයාගන්න බැරිකමක් නෑ.

 

 

7. පාවිච්චිය නැතුව බෑ

අවසානයට ඉතින් ඕනම භාෂාවක් ඉගෙන ගැනීමේදී දෙන්න තියෙන අවවාදය මේක තමයි,. භාෂාවක් ඉගෙන ගන්න නම් භාෂාව ප්‍රැක්ටිස් කරන්න ඕන. ප්‍රැක්ටිස් එක නැතුව තියෙනකොට ඉගෙන ගත්තු දේත් ක්‍රමයෙන් නැතිවෙලා යන්න පටන් ගන්නවා. ආන්න ඒ නිසා උඩින් කියපු විදියට දිගින් දිගටම භාෂාව ප්‍රගුණ කරන්න බඩියෙක් හොයාගන්න පුළුවන්. එතකොට දිගින් දිගටම භාෂාව අහන්න පුළුවන්. ඒ වගේම, අවශ්‍ය නම් තමන්ගේ භාෂා දැනුම කොයි වගේද කියලා තමන්ටම නිමානය කරගන්න ටෙස්ට් එකක් එහෙමත් ඕන නම් කරන්න පුළුවන්. දැන් අපි ක්ලාස් එකකට ගිහින් චීන ඉගෙන ගත්තොත් කොහොමත් ටෙස්ට් තියෙනවනේ. එහෙම නැතුව තනියෙන් ඉගෙන ගන්නවා නම් තමන්ටම කරන්න පුළුවන් චීන භාෂා පරීක්ෂණ ඉන්ටර්නෙට් එකේ තියෙනවා. බොහොම පහසුවෙන් හොයාගන්න පුළුවන්.

 

 

 

ඇත්තටම අපි චයිනීස් කියලා දන්නෙ ෆ්‍රයිඩ් රයිස් කොත්තු කඩ විතරක් නම්, චීන භාෂාව ඉගෙන ගමු කියලා කියපු ගමන් බුදු අම්මෝ කියලා දැනෙන්න පුළුවන්. හේතුව, චීන අක්ෂර පවා අපිට සම්පූර්ණයෙන්ම වගේ ආගන්තුක නිසා. හැබැයි ඉතින් චීන කියන්නෙත් ඇත්තටම තවත් එක් භාෂාවක් විතරයි. ඉගෙන ගන්න හරි විදිය දන්නවා නම්, කැපවීම සහ උනන්දුව තියෙනවා නම් කිසිම අමාරුවක් නෑ ඉගෙන ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *