ලෝකය විස්මයට පත් කළ ලංකාවේ මැණික් 

පසුගිය දවස් වල මිල කළ නොහැකි මැණික් පොකුරක් හමුවීම පිළිබඳව වාර්තාවලින් මුළු ලංකාවම මහත් සන්තෝෂයට පත් වුණා. ඒ මේ වන විට ලංකාව මුහුණ දෙමින් සිටින විදේශ ණය අර්බුදයට ඒ මඟින් සැලසෙන සහනය නිසයි. නමුත් ඇතැම් පාර්ශව පවසා සිටියේ මේ මැණික් පොකුරේ කතාව  අතේ පැළවෙන බොරුවක් බවයි. නමුත් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ඇතුළු මැණික් ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් ඒ සියළුම අදහස් ප්‍රතික්ෂේප කරමින් එහි ඇති වටිනාකම යළිත් තහවුරු කරනු ලැබුවා. මෙහි ඇත්ත නැත්ත දැනගැනීමට ලැබෙන්නේ අනාගතයේදීයි. කෙසේ නමුත් ලංකාව අතීතයේ පටන් ලෝකය පුරා නම් දරා සිටින්නේ විශිෂ්ට ගණයේ මැණික් හමුවන රටක් ලෙසයි. අපි අද ඔබට කියන්න යන්නේ ලංකාවෙන් හමුවුණු අද්විතීය මැණික් කීපයක් පිළිබඳවයි.

 

1. ජයන්ට් ඔෆ් ද ඔරියන්ට් (Giant of the Orient)

1902 වර්ෂයේ සිරිපාද අඩවියෙන් හමු වුණ නිල් සැෆායර් වර්ගයේ මෙම මැණික හමුවන විට කැරට් 600ක විශාලත්වයෙන් යුතු වූ බව කියවෙනවා. පසුව මැණික්කරුවන් විසින් කපා ඔප දැමීමෙන් අනතුරුව එහි බර කැරට් 466 ක් දක්වා අඩු වී තිබෙනවා. එහි වටිනාකම 1902 දී ඇමරිකානු ඩොලර් හත්දාහක් පමණ වන බව තක්සේරු කළ අතර ඇමරිකා එක්සත් ජනපද ගැනුම්කරුවකු විසින් එය මිලදී ගත් බව සඳහන් වෙනවා. 2004 වසරේ දී යළිත් මෙම මැණික බ්‍රිතාන්‍ය ජාතික ගැනුම්කරුවකු විසින් මිලදී ගත් බවට ද වාර්තා පළ වුණා.

 

2. ලෝගන් බ්ලූ සැෆායර් (Logan Blue Sapphire)

කැරට් 423 ක බරින් යුතු වන මෙම මැණික ලෝකයේ දෙවනියට විශාලතම බ්ලූ සැෆායර් වර්ගයේ මැණික ලෙස සැලකෙනවා. වර්තමානයේදී මෙම මැණික ඒ වටා අල්ලනු ලැබූ සුදු පැහැති දියමන්ති විස්සක් සමගින් ඇමරිකා එක්සත් ජනපදයේ ස්මිත්සෝනියන් ආයතනයේ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙස නැරඹීමට හැකියාව ලැබී තිබෙනවා.

 

3. බ්ලු බෙල්ලා ඔෆ් ඒෂියා (Blue Bella of Asia)

මෙම මැණික 1926 දී රත්නපුර ප්‍රදේශයේ කුඹුරක තිබී හමුවී තිබෙන බව විශ්වාස කෙරෙනවා. කැරට් 400ක පමණ බරකින් යුතු මෙම මැණික ස්විස්ටර්ලන්තයේ පැවති ආභරණ වෙන්දේසියකදී විකිනුණු අතර එම අවස්ථාවේදී මෙම මැණික යළිත් කපා ඔප දැමීම නිසා කැරට් 392 ක පමණ බරකින් යුක්තව තිබී අතර එය දියමන්ති මාලයක් හැඩ කිරීම සඳහා යොදාගෙන තිබෙනවා. 2014 වර්ෂයේදී මෙම ආභරණය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 17.29ක මිලක් ලැබී තිබෙනවා.

 

4. ස්ටාර් ඔෆ් ලංකා (Star of Lanka)

කාන්තියෙන් දිදුලන මෙම මැණික ලංකාවේ මුද්දරවලද නිරූපණය වී ඇති නිසා ඇතැම්විට ඔබට හුරු හුරු පුරුදු වන්නට පුළුවන්. කැරට් 193ක බරින් යුතු මෙම මැණික මිලදීගත් ගැනුම්කරුවකු විසින් පසුව 1958 වර්ෂයේදී එය රාජකීය ඔන්ටාරියෝ කෞතුකාගාරය වෙත තිළිණයක් ලෙස ප්‍රදානය කොට තිබෙනවා.

 

5. ප්‍රයිඩ් ඔෆ් ශ්‍රී ලංකා (Pride of Sri Lanka)

1998 වර්ෂයේ මාරපන ප්‍රදේශයේ මැණික් පතලක තිබී හමු වුණු මෙම මැණික සොයා ගන්නා අවස්ථාවේදී කැරට් 856ක බරින් යුක්ත බව කියවෙනවා. මෙම මැණික ප්‍රදර්ශනය සඳහා කෙටි කාලයක් තැබූ අතර මෙම මැණික සොයා ගත් පිරිස පවසා සිටියේ මීටත් වඩා විශාල මැණික් රත්නපුර ප්‍රදේශයෙන් හමුවන නමුත් ඒවා බදු මග හැරීම සඳහා හොර රහසේ විකුණා දැමීම සිදුකරන බවයි.

 

6. ස්ටාර් ඔෆ් ඉන්ඩියා (Star of India)

කැරට් 563ක බරින් යුතු මෙම මැණික ලැබී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් බව මැණික් පිළිබඳව විශේෂඥයන් පවසා සිටිනවා. යටත් විජිත යුගයේදී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් කලක් ශ්‍රී ලංකාව ද ඉන්දියාවේ කොටසක් ලෙස සැලකීම නිසා මෙම මැණික ස්ටාර් ඔෆ් ඉන්ඩියා ලෙස හැඳින්වීමට පෙළඹුණ බවට ඔවුන් සැක පහළ කරනවා. වර්තමානයේ මෙම  මැණික ඇමෙරිකානු ස්වාභාවික විද්‍යා ජාතික කෞතුකාගාරයේ ජේ. පී. මෝර්ගන් ශාලාවේ ප්‍රදර්ශනය කරනු ලබනවා.

 

7. නලීම් ඇලෙක්සැන්ඩ්‍රයිට් (Naleem Alexandrite)

මෙම වර්ගයේ මැණික් අතිශයින් දුර්ලභ ලෙස සැළකෙන අතර බොහෝ දෙනෙක් විශ්වාස කරන පරිදි කැරට් 112ක් බරැති මෙම මැණික ලොව විශාලතම ඇලෙක්සැන්ඩ්‍රයිට් මැණික ද වනවා. මෙම මැණික හමු වූ ප්‍රදේශය පිළිබඳව නිශ්චිත වාර්තා නොමැති නමුත් මෙම  මැණික අපනයනය කිරීමට මුල් වූ පුද්ගලයා වූ අල් හාජ් නලීම් නමින් එය නම්කොට තිබෙනවා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. මේ ලිපියට ඔබෙන් ලැබෙන ප්‍රතිචාර උඩ මේ ලිපියේ දෙවැනි කොටසක් ලියන්න අපි බලාපොරොත්තු වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *