අපි අකමැති කෙනෙක් එක්ක වෘත්තීමය මට්ටමෙන් වැඩ කරන්නේ මෙහෙමයි

දැන් ඔය අපි අකමැති මිනිස්සු ඉන්නවනේ. ඒ කියන්නේ අපිට දකින කොටත් එපා වෙන, වැඩ කරන්න තියා අපි කතා කරන්නවත් කැමැත්තක් නැති විදියේ මිනිස්සු. අපිට මනුස්සයෙක් ගැන ඒ වගේ හැඟීමක් එන්න ඕනම දෙයක් හේතු වෙන්න පුළුවන්. ඒ මනුස්සයා අපිට මොනවා හරි වැරදි කරලා තිබීම. අපිව ජොබ් එකේ කපන්න උත්සාහ කරල තිබීම, අපි ගැන තැන තැන මොනවා හරි කිව්වා කියලා ආරංචි වෙලා තිබීම, අපි දන්න කාටහරි ඔය කියපු තාලේ වැරදි කරලා තිබීම, එයාගේ කැරැක්ටර් එකේ තියෙන වැරදි නිසා අපිට තියෙන අකමැත්ත වගේ දහසකුත් එකක් හේතු කාරණා තියෙන්න පුළුවන්. හැබැයි ඔය මොන හේතු කාරණා තිබුණත්, අපිට ඒ මනුස්සයත් එක්ක ප්‍රොෆෙෂනල් ලෙවල් එකේදී වැඩ කරන්න සිද්ධ වෙන්න පුළුවන්. එක ඔෆිස් එකක වැඩ කරන්න වෙනවා ඇරෙන්න, සමහර වෙලාවට එකම ටීම් එකක හෝ එකම ප්‍රොජෙක්ට් එකක වැඩ කරන්න සිද්ධ වෙන්නත් පුළුවන්. ආන්න ඒ වගේ වෙලාවක අපිට “මේ ගෑණි එක්ක/මේ යකා එක්ක මං වැඩ කරන්න කැමති නෑ” කියලා අයින් වෙන්න බෑ. එහෙම කරන එක ප්‍රොෆෙෂනල් ගතිලක්ෂණයකුත් නෙවෙයි. ආන්න ඒ නිසා, එහෙම වෙලාවක ගැටුම් ඇතිකරගන්නෙත් නැතුව, තමන්ගේ කොලිටි එකත් තියාගෙන ප්‍රොෆෙෂනල් විදියට වැඩ කරන්නේ කොහොමද? ආන්න ඒකට වැදගත් වෙන ටිප්ස් කීපයක් තමයි මේ.

 

 

1. එයාගෙද ප්‍රශ්නේ මගේද?

 

අපි අකමැති මනුස්සයෙක් ඉන්නවා නම්, ඒ මනුස්සයා එක්ක එකට වැඩ කරන්නත් සිද්ධ වෙලා තියෙනවා නම්, අපි මුලින්ම අහන්න ඕන ප්‍රශ්නේ තමයි මේක. ඇත්තටම ඒ මනුස්සයාට අකමැති වෙන ප්‍රශ්නේ තියෙන්නේ මටද නැතිනම් එයාටද? මෙහෙම ඇහුවහම ගොඩක් අය හිතන්නෙවත් නැතුව කියයි ප්‍රශ්නේ ඒ මනුස්සයගේ කියලා. හැබැයි ඒක නෙවෙයි ඇත්ත ගොඩක් වෙලාවට. සමහර වෙලාවට අපි ඒ මනුස්සයාට කැමති නෑ කියලා ඒ මනුස්සයා දන්නෙවත් නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි ඒ මනුස්සයාට කැමති නැත්තේ, මොනවා හරි අපිට දිරවන්නෙ නැති ගතිගුණ හරි හැසිරීමක් හරි ඒ මනුස්සයා ගාව තියෙන නිසා වෙන්න පුළුවන්. හැබැයි ඉතින් අපි කවුරුත් පරිපූර්ණ මිනිස්සුද? එතකොට අපි ඇත්තටම ඒ මනුස්සයට අකමැති වීම සාධාරණයිද? මෙන්න මේ කාරණා ගැන අපි හිතන්න ඕන. එතනදී අපිට ඒ මනුස්සයට අකමැති වෙන්න හේතුවක් නෑ කියලා තේරෙනවා නම්, ප්‍රශ්නේ එතනින් ඉවරයි. එහෙම නැතුව තාමත් මොකක් හරි හේතුවකට අපි මනුස්සයාට අකමැති නම්, කමක් නෑ. දිගටම කියවගෙන යන්න.

 

 

2. පර්සනල් ප්‍රශ්න ප්‍රොෆෙෂන් එකට ඕනද?

 

මේක ටිකක් දිරවාගන්න අමාරු කාරණයක් වෙන්න පුළුවන්. හැබැයි අපි අදාළ මනුස්සයට අකමැති ඒ කෙනාගේ මොකක් හරි පර්සනල් ප්‍රශ්නයකට නම්, ඒක රැකියාවට, වෘත්තියට අදාළ කරගන්න එපා කියන එක තමයි මේ කියන්නේ. උදාහරණයක් විදියට අපි කියමු මේ මනුස්සයට අපි අකමැති වෙන්නේ, මිනිහා අපේ හොඳම යාළු ගෑණු ළමයෙක් එක්ක යාළු වෙලා ඉඳලා බොහොම නරක විදියට සලකලා බූට් එක තියලා ගියපු නිසා කියලා. අනිවාර්යයෙන්ම මනුස්සයාගේ බොහොම ජරා ගතිගුණ තියෙනවා කියලා ඒ සිදුවීමෙන් අපි අත්දැකලා දැනගෙන තියෙනවා. හැබැයි ඒක ජොබ් එකට, ප්‍රොෆෙෂන් එකට අදාළද? නැහැ නේද? ආන්න එහෙමනම්, අපිට සිද්ධ වෙනවා ඒ ප්‍රශ්නේ ගෙදරින් තියලා වැඩ කරන්න එන්න. කිසිම මොහොතක පර්සනල් ප්‍රශ්නයක් ප්‍රොෆෙෂනල් ලයිෆ් එකට ගාවගන්න හොඳම නෑ කියලා හොඳට මතක තියාගන්න.

 

 

3. පර්සනල් ගන්න එපා

 

මෙන්න මේක අතිවිශේෂ කාරණාවක්. දැන් අපි ජොබ් එකක් කරනකොට ජොබ් එකේ ප්‍රශ්න ගැටළු එනවා. එකඟ නොවෙන තැන් එනවා. සමහර වෙලාවට තදින් වැඩ කරන්න වෙන තැන් එනවා. ආන්න ඒ තැන් කිසිසේත්ම පර්සනල් ගන්න එපා කියන එක තමයි මේ කියන්නේ. උදාහරණ වලින් පැහැදිලි කර ගමු. ඔන්න අපේ අතින් වැඩක් පරක්කු වෙනවා. එතකොට අපි අකමැති කෙනා ඒක මතක් කරලා ඊමේල් එකක් එවනවා. එතකොට ඒ අකමැති මිනිහා එහෙම ඊමේල් එකක් එව්වා කියලා මනුස්සයා එක්ක ගේම ඉල්ලන්න යන එක නරකයි. අපි කරන්න ඕන අපේ වැරැද්ද හදාගෙන ස්තුති කරන එක. ඒ වගේම, අපි අකමැති මනුස්සයා අතින් ප්‍රමාදයක් වුණහම, අපි ඒක මතක් කරලා ඊමේල් එකක් ගහනවා නම්, ඒ ඊමේල් එක අනික් ඕනෑම කෙනෙක්ට අපි යවන විදියේ ඊමේල් එකක් විය යුතුයි. එහෙම නැතුව අපි මනුස්සයට අකමැතියි කියලා අනවශ්‍ය විදියට දරදඬු වීම හෝ පරුෂ වීම හෝ කිසිසේත්ම අනුමත කරන්න බැහැ.

 

 

4. සීමා මායිම්

 

දැන් අපි අකමැති මනුස්සයෙක් ගොඩක් දුරට අපිටත් අකමැති වෙන්න පුළුවනිනේ. ආන්න ඒ නිසා අපි යම් යම් සීමාවන් පනවා ගන්න ඕන. ඒ සීමාවන් පවතින්න ඕන අපිට ඒ මනුස්සයත් එක්ක ඵලදායී විදියට කටයුතු කිරීම පහසු වෙන්න තමයි. උදාහරණයක් ගත්තොත්, ඒ කෙනා අපිත් එක්ක වෘත්තීමය තලයේදී පැටලෙන්න එනවා නම්, මොනවා කළත් අපි කරන දේවල වැරදි දකිනවා නම්, ඒක වෘත්තිමය විදියට දකින්න. හැබැයි සීමාව තියාගන්න. සීමාව වෙන්නේ, අපි කරන දෙයක් වැරදියි කියනවා නම්, ඒකට හේතු දක්වන්න ඕන. එහෙම නැතුව හෑල්ලු විවේචන අපි ගණන් ගන්නෙ නෑ. එතකොට අපිට දරදඬු ඊමේල්ස් එවනවා නම්, ඊමේල් සංවාද ප්‍රොෆෙෂනල් මට්ටමින් කරන්න බැරි නම් අපි මෙතනින් එහාට රිප්ලයි කරන්නෙ නැහැ කියලා අදාළ ඉමීඩියට් බොස් කෙනෙක්වත් කොපි කරලා ඊමේල් කරන්න. එතනින් එහාට අනික් මනුස්සයා ප්‍රොෆෙෂනලි කටයුතු කරන්න පටන් ගන්නකල් අපි ප්‍රතිචාර දක්වන්නෙ නෑ. ආන්න එහෙම ප්‍රොෆෙෂනල් සීමාවන් තියාගන්න.

 

 

5. ප්‍රොෆෙෂනල්ද පර්සනල්ද?

 

අපිට ඒ කෙනාත් එක්ක වැඩ කරන්නේ ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ විතරයි කියලා සීමාවක් තියාගන්න පුළුවන්. ඒ කියන්නේ, එතනින් එහාට ඔෆිස් ෆන්ෂන් එකකට එහෙම සහභාගී වුණත්, පෞද්ගලික මට්ටමෙන් සම්බන්ධකම් තියාගන්න අවශ්‍ය නැහැ. හැබැයි පෞද්ගලික හමුවකට ඒ කෙනාගෙන් ආරාධනාවක් ලැබුණොත් හෝ වක්‍රාකාරීව ඒ කෙනාත් ඉන්න පෞද්ගලික හමුවකට යන්න වුණොත්, ඒවා ප්‍රතික්ෂේප කළ යුතු නැහැ. මොකද, අපි ඒවා ප්‍රතික්ෂේප කිරීමෙන් අන්තිමට නරක මනුස්සයා වෙන්නෙ අපි වෙන්න පුළුවන්. අනික් කාරණාව, අපි අකමැති මනුස්සයා සුහදත්වය වර්ධනය කරගැනීම සඳහාම අපිට ආරාධනාවක් කරලත් අපි ඒ අවස්ථාව ප්‍රතික්ෂේප කරනවා කියන්නේ අපේ චරිතයට හොඳ නැහැ.

 

 

6. සුහදශීලීත්වය අනිවාර්යයි

 

අපි මනුස්සයෙක්ට අකමැතියි කියන එක අදාළ කර නොගෙන ප්‍රොෆෙෂනලි වැඩ කරන්න තීරණය කරනවා කියන්නේ, වැඩේ ගාණට කරලා, එතනින් එහාට ඒ මනුස්සයා ඉන්න තැන් වල බුම්මගෙන ඉන්නවා කියන එක නෙවෙයි. ජොබ් එකක් වුණත් කරන්නෙ රොබෝලා නෙවෙයිනේ. මිනිස්සුනේ. අන්න එතකොට මිනිස්සු මිනිස්සු අතරේ යම් කිසි සුහදත්වයක් තියෙන්න ඕන. එහෙම නැතුව වැඩ කරන්න බෑ. ආන්න ඒ සුහදත්වය වෙනුවෙන් අකමැති මනුස්සයා එක්ක වුණත් සුහදව කතා බස් කරන්න හැකියාවක් සහ පෞරුෂයක් අපිට තියෙන්න ඕන. එහෙම නැතිනම් ඒක මුළු කණ්ඩායමටම බලපාන්න පුළුවන්. අනික් අතට, අපි මනුස්සයාට කොයි තරම් අකමැති වුණත්, අපි පොඩ්ඩක්වත් සුහදශීලී නැතුව, නම්‍යශීලී නැතුව අකුරට වැඩ කරන්න ගියොත් වෙන්න පුළුවන් දේ තමයි ඵලදායී විදියට ප්‍රොෆෙෂනල් වැඩ ටිකත් කරගන්න බැරි වෙන එක.

 

 

7. අනික් අයව හවුල් කරගන්න එපා

 

අපි අකමැති කෙනෙක් එක්ක වැඩ කරනවා නම්, මේක අනිවාර්ය කාරණයක්. අපි අකමැති මිනිහට අනික් අයත් අකමැති වෙන්න ඕන කියලා, අනික් කිසිම කෙනෙක් එක්ක අපි අකමැති කෙනාගේ වැරදි කියන්න යන්න එපා. විශේෂයෙන්ම ඒ කෙනාගේ පෞද්ගලික වැරදි තියෙනවා නම්, ඒ තොරතුරු තමන් ගාවම තියාගන්න. අනික් අයත් එක්ක අපි අකමැති හාදයා ගැන කේලම් කියන්න හෝ වගපල කියන්න හෝ ඕපාදූප කියන්න යෑම කැතයි කියන එක මතක තියාගන්න.

 

 

8. බැරිම නම් අවංක සංවාදයක්

 

සමහර වෙලාවට අපි අකමැති, අපිටත් අකමැති කෙනෙක් එක්ක වැඩ කරන්න ගියහම උඩ කියලා තියෙන කිසිම උපායකින් තත්ත්වය සමනය කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියමු අපි කොයි තරම් නම්‍යශීලී වෙන්න හැදුවත් ඒ පැත්තෙන් කිසිම ප්‍රොෆෙෂනල් ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැතිනම්, ඒක රැකියාවේ කටයුතු වලටත් හානියක් නම් අපිට තීරණයක් ගන්න වෙනවා. ගොඩක් දුරට අනික් පැත්තෙන් අපිත් එක්ක සීතල යුද්ධයක් කරගෙන යන්න උත්සාහ ගත්තහම, ඒක ප්‍රොජෙක්ට් එකට හෝ ප්‍රොෆෙෂනල් කටයුතු වලට හානියක් නම් තමයි මේ තීරණය ගන්න සිද්ධ වෙන්නේ.

 

දෙන්නත් එක්ක අවංක සංවාදයකට වාඩි වෙන එක තමයි මෙතනදී වෙන්න ඕන. පුළුවන් නම් දෙන්නගේ කැමති අකමැති කම් පැත්තක දාලා සුහදව වැඩ කරගෙන යන්න ප්‍රවේශයක් ගන්න පුළුවන්. එහෙම බැරි වුණොත්, අඩු තරමින් රාජකාරියට හානියක් නොවෙන්න වැඩ කරගෙන යන්න ප්‍රතිඥා දෙන්න පුළුවන්. අවශ්‍ය නම් මේ සාම සාකච්ඡාවට එකට වැඩ කරන කෙනෙක්ව හෝ බොස් කෙනෙක්ව මැදහත්කරුවෙක් විදියට සහභාගී කරගන්නත් පුළුවන්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *