කඩාවැටෙන ආර්ථිකයක් සහිත රටක දකින්න පුළුවන් ලක්ෂණ

කෙසෙල්ගෙඩි නම් හොඳට ඉදෙන්න කලින් කහපාට වෙනවා. ඉන් පස්සේ හොඳට එබෙනවා. ඒ හරහා අපිට ඉදුණු කෙසෙල් තෝරාගන්නට පුළුවන්. ඒත් රටක ආර්ථික අර්බුදයක් විනාශයක් කරා යන අවස්ථාව අපිට හරියටම අඳුනගන්න බැහැ. ඇතැම් රටවල ආර්ථික ප්‍රශ්න තිබුණත් එම රටවල් විනාශයක් කරා නොගොසින් දිගින් දිගටම පවතිනවා. ඒත් සමහර රටවල යම් යම් කැළඹීම් එනවා. ඉතින් ආර්ථික අර්බුදයක් හෙට අනිද්දා එන සිස්ටම් එකක දකින්න පුළුවන් සුළු සුළු ලක්ෂණ ටිකක් ගැන අපි කියන්න හිතුවා.

 

 

1. ණය පොලී වැඩිවීම

ආර්ථික වැටීමක් එද්දි සාමාන්‍යයෙන් රටේ මුදල් සංසරණය වැඩි කරන්න බදු කපා හරිනවා. ඉන් පස්සේ බැංකුවල පොලී අනුපාතික අඩු කරනවා. ඒත් කේස් එක ටිකක් හිරවේගෙන එනකොට තත්ත්වය අනික් පැත්ත හැරෙනවා. මුදල් වල වටිනාකම අඩු වේගෙන යද්දි බැංකුවල පාඩුව මකාගන්න ඕනි නිසා පොලී වැඩිකරන්න වෙනවා. ඒ වගේම රාජ්‍ය ආදායම අඩු වෙද්දි අලුත් බදු වර්ගත් එකතු වෙන අවදානමක් එනවා. 

 

2. උද්ධමන තත්ත්වය

වෙනිසියුලාව වගේ උද්ධමනයට මුහුණ දීපු රටවල් වල මුදල් යනු වටිනාකමක් නැති කොළ බවට පත් වුණා. 1997 දී ඉන්දුනීසියානු රුපියල් දෙදාස් ගාණක් තමයි ඩොලර් එකක් වෙනුවෙන් ගෙවන්න වුණේ. වසර දෙකක් තිබුණ ඉන්දුනීසියා ආර්ථික අර්බුදයෙන් පස්සේ ඩොලර් එකට රුපියල් එකොලොස්දහකට වඩා ගෙවන්න ඉන්දුනීසියානුවන්ට සිදුවුණා. උද්ධමන තත්ත්වය කියන්නේ ඩොලර් රේට් එක නෙමෙයි. මුදල් වැඩිවෙලා භාණ්ඩ අඩු වෙද්දි අපිට භාණ්ඩ ගන්න ගොඩක් මුදල් ඕනි වෙනවා. එතකොට නිරන්තරයෙන් භාණ්ඩ හා සේවා වල මිල වැඩිවෙන අවදානමක් එනවා. 

 

3. කාලයක් තිස්සේ තිබෙන අයවැය හිඟය

විදෙස් සංචිත පවත්වාගන්නට අපහසු වුණොත් අපිට විදෙස් වලින් බඩු ආනයනය කරන එක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මෑතකදි ලංකාවේ මුදල් ඇමති තුමා කිව්ව විදිහට අපනයන කර්මාන්ත වල වර්ජන ඇතිවුණොත් එය වැඩිදුර ගොස් අපිට රටින් ඉන්ධන මිලදී ගන්නට නොහැකි වෙනවා. කොවිඩ් නිසා රටවල් වල ආර්ථිකයේ යම් කඩා වැටීමක්, පසුබෑමක් සිදු වුණා. එත් බංග්ලාදේශය වගේ රටවල් තමුන්ගේ විදෙස් සංචිත ශක්තිමත් කරගන්නට සමත් වුණා. ඉතින් රටේ ආර්ථිකය වසර ගණනාවක් පුරා ණය වලින් සහ ණය ගෙවන්නට ගන්නා ණය වලින් යනවිට එය අවදානම් තත්ත්වයක්. 

 

4. දූෂණය සහ නාස්තිය

ලෙබනනය කියන්නේ කාලයක් ලංකාවේ ගෘහසේවිකාවන් වැඩට ගිය සමෘද්ධිමත් රටක්. ඒත් අද වනවිට එහි තත්ත්වය බොහොම සවුත්තු වෙලා තියෙනවා. 2018-19 කාලයේ ඒ රටේ පාලනයේ වෙනසක් වුණත් තවමත් ඒ රටට හොඳ කලදසාවක් යන පාටක් නැහැ. මේ ලෙබනනය කියන රට කඩා වැටෙන්න මූලික හේතුවක් විදිහට දූෂණය සහ නාස්තිය දැක්වෙනවා. ආර්ථික අතින් පහළ අඩියේ ඉන්න අප්‍රිකානු රටවල් ගොඩකුත් ඒ තත්ත්වයට එන්න දූෂණය සහ නාස්තිය හේතු වෙලා තියෙනවා. වෙනත් ප්‍රශ්න සමග මේ තත්ත්වයත් දරුණුවට තියනවා නම් ඇලර්ට් එකේ ඉන්න එක වටිනවා. 

 

5. රජයේ යාන්ත්‍රණය අවදානම් වීම

රාජ්‍ය යාන්ත්‍රණය අඩාල වෙන්න ක්‍රම ගණනාවක් තියෙනවා. ආර්ථික අවපාතයට පස්සේ ජනතාව හැමෝටම වගේ විවිධ පීඩාවන්ට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒ හරහා ආණ්ඩු කෙරේ, රජයේ ප්‍රතිපත්ති වැඩ පිළිවෙළ කෙරේ තියෙන විශ්වාසය අඩු වෙනවා. මිනිස්සු මුදල් සහ සිය වටිනා ගනුදෙනු ආදිය මූල්‍ය පද්ධතියට පිටින් බ්ලැක් මාකට් එක ඔස්සේ කරන්නට උත්සාහ ගන්නවා. උදාහරණ විදිහට විදෙස් මුදල් වලට රාජ්‍ය නීතිමය රාමුව යටතේ ලැබෙන වටිනාකම සාපේක්ෂව අඩු නම් විදෙස් වල සිටින අය රටට මුදල් එවන්නට විවිධ කූට ක්‍රම පාවිච්චි කරනවා. එවැනි කළුකඩ ක්‍රම නිසා රට ආර්ථිකව ගොඩ යෑම තවත් පහළ යනවා. 

 

6. අපරාධ, සොරකම් වැඩිවීම

අපරාධ විද්‍යාවන් අනුවත් අපරාධ වැඩිවෙන්න සමාජයේ තිබෙන ආර්ථික ප්‍රශ්න හේතු වෙන බව පැවසෙනවා. ඒ වගේම අර්ථිකමය අතින් සමතුලිත නැති පද්ධතියක අපරාධ ඇතිවෙන්න හේතු වැඩිවෙනවා. කෙලින්ම මනුෂ්‍ය ඝාතන, මංකොල්ලකෑම්, ගෙවල්බිඳීම්, සොරකම් සිද්ද වෙනවා. ඊට අමතරව විවිධ ආකාරයේ රැවටීම් ඔස්සේ නෙට්වර්ක් මාකටින්, ආයෝජන ක්‍රම, කොටස් වෙළඳපොල, ක්‍රිප්ටො ආදී මුදල් වැඩිකරන ක්‍රමවේද කියා මුලාවෙන් මුදල් සොයන්නට පෙළඹෙන පිරිසක් බිහි වෙනවා. 

 

7. ජාත්‍යන්තර වශයෙන් හෑල්ලු වීම 

ජාත්‍යන්තර ණය දෙන දර්ශක වල පහළට ගියාට පස්සේ රටට තවත් ණය ගන්නට අපහසු වෙනවා. මොකද ඒ වගේ දුප්පත්, ආර්ථික අතින් අස්ථාවර රටකට දෙන ණය නැවත ගන්න පුළුවන්ද කියන පැණය ඔවුන්ට එනවා. ඒ එක්කම මේ වගේ ආර්ථික අර්බුද තියෙන රටවල පාස්පෝට් වලටත් එතරම් හොඳ කලදසාවක් යන්න විදිහක් නැහැ. ඒ කියන්නේ ඒ රටේ පුරවැසියන්ගේ වටිනාකමත් ඒ එක්කම අඩු වෙනවා. වෙනිසියුලාව තුළ ආර්ථික අර්බුද එද්දි වෙනිසියුලානු පුරවැසියන් අනෙක් යාබද රටවලට සංක්‍රමණිකයන් විදිහට යන්න ගත්තා. ඒ විදිහට රට ගැන ඇතිවෙන අපකීර්තිමත් නාමයත් ආර්ථික වැටීමකට පෙර ලාවට වගේ දකින්නට තියෙනවා. 

 

මීට අමතරව විනිමය අනුපාත, ගෙවුම් ශේෂ සහ ආර්ථික දත්ත හරහා ආර්ථික අවපාතයක් කලින් හඳුනාගන්නට ආර්ථික විද්‍යාඥයින්ට පුළුවන්. ඒ වගේ ආර්ථික අර්බුදයක් එන්නට නියමිත රටක ජනතාව කොහොමද එයින් ආරක්ෂා වෙන්නේ කියලත් ලයිෆි අපි ඔයාලව කලින් දැනුවත් කළා. ඉතින් මේ හරහා ඔබට ආර්ථික අර්බුද ගැන යම් අදහසක් දැනෙන්නට ඇති කියා අප විශ්වාස කරනවා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *