ශ්‍රී ලංකා අභිමානය ලෝකයට කියාපාන සංස්කෘතික සංකේත බොහොමයක් අතුරින් කන්ද උඩරට ඇසළ පෙරහැර කියන්නෙ ඉතාම සුවිශේෂී සංස්කෘතිකමය සංකේතයක්. ඒ වගේම ලෝකවාසී බෞද්ධ ජනයාටම මේ උත්සවය සුවිශේෂී වෙන්නෙ එය ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ මූලික කොට ගෙන කරනු ලබන චාරිත්‍රයක් නිසායි. අද ජීවමාන බුදුන් ලෙස ගෞරවයට පාත්‍ර වන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ නුවරට වැඩමවීමෙන් පසු, ඊට පෙර සිටම කරගෙන ආ පරිදි දන්ත ධාතූන් වහන්සේ උදෙසා මේ පෙරහැර මංගල්‍යය පවත්වනු ලබනවා. මින් පෙර වසරවල ඉතා විශාල දෙස් විදෙස් ජනකායකගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබූ දළදා පෙරහැර මේ වසරේ නරඹන්නන්ගේ සහභාගීත්වයෙන් තොරව පැවැත්වීමට කටයුතු යෙදී තිබෙනවා. කෙසේ වෙතත් අද අපි දළදා පෙරහැර ගැන තොරතුරු ටිකක් හොයල බලන්න හිතුවා.
1. පෙරහැර ඉතිහාසය
මුටසීව රජු කාලිංග දේශය පාලනය කරන අවධියේ රාජ්‍යයේ ඇති වූ අරාජික තත්ත්වය හේතුවෙන් දන්ත ධාතූන් වහන්සේගේ ආරක්ෂාව සඳහා එය හේමමාලා සහ දන්ත කුමරුගේ මැදිහත් වීමෙන් ලංකා දේශයට වැඩමවන ලද අතර එවකට ලංකාවේ පාලකයා වූයේ කිත්සිරිමෙවන් රජු බව සඳහන් වනවා. එකල පටන් දළදා වහන්සේ උදෙසා පෙරහැර පවත්වා ඇති බව පුරාණ ග්‍රන්ථ වල සඳහන් වනවා. ඒ පුරුද්ද චාරිත්‍රයක් ලෙස ඉන් පසු රජ කළ රජවරුද ඉදිරියට ගෙන ගොස් ඇති අතර එය අද දක්වා පැවත එයි. එදා පටන් දළදා පෙරහැර ඉතාම උත්සවශ්‍රීයෙන් පවත්වනු ලැබූ බවට ඓතිහාසික පොත පත සාක්ෂි සපයනවා. ඉන්පසු 1592 දී පමණ පළමුවන ශ්‍රී විමලධර්මසුරිය රජු විසින් දළදා වහන්සේ සෙන්කඩගල රාජධානියට වැඩමවා ඇති අතර ඉන් පසුවද පෙරහැර චාරිත්‍රය ඉටු කිරීමට කටයුතු කොට තිබෙනවා.
2. වර්තමාන දළදා පෙරහැර
දළදා වහන්සේ ලක්දිවට වැඩමවූ කල සිට නුවරට දළදාව වැඩමවන තෙක් බොහෝ දුරට මේ පෙරහැර මංගල්‍යය දළදාවට කරන පුජාවක් සේම රජුගේ රාජ්‍යත්වය විදහා පාන අවස්ථාවක් ද වුණා. නමුත් සෙන්කඩගල රාජධානියට වැඩමවූ පසුව දළදා පෙරහරට නොයෙක් විශේෂාංග එකතු වූ බව පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන් සතර මහා දේවාල වල පෙරහරද දළදා පෙරහරට එකතු වූයේ ඒ සමයේයි. ඉන් පසුව වැලිවිට ශ්‍රී සරණංකර හිමියන්ගේ උපදෙස් මත කිර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් පෙරහරට දළදා මාළිගාවේ පෙරහැරක්ද එකතු කරනු ලැබුවා. ඒ නිසා අද පවතින පෙරහැර කිර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ සංවර්ධනය වූ පෙරහැරක් බව දැකිය හැකියි. විශේෂයෙන් දළදාව අධිරාජ්‍යවාදීන් අතට පත්වූ පසු දළදාව නිළ වශයෙන් දියවඩන නිළමේ භාරයට පත් කිරීමද සුවිශේෂී සිද්ධියක්.
3. කප් සිටුවීම
කප් සිටවීමේ මංගල්‍යය කියන්නෙ සතර මහා දේවාල වලින් සිදු කරන කාර්යයක්. ‘කප’ කියල කියන්නෙ බොහෝ විට කණුව, කැපකරනවා වගේ තේරුම් තියෙන වචනයක්. ඒ කාර්යය බොහෝ දුරට වැඩක් කරන්න කලින් මුල් ගලක් තියනවා වගේ දෙයක්. පෙරහැර සාර්ථකව අතුරු ආන්තරාවක් නැතුව කරගන්න ලැබෙන්න දේවාශීර්වාදය ලබා ගැනීමක් වගේ දෙයක් තමයි මේකෙදි සිද්ද වෙන්නෙ. එතකොට මොකක්ද මේ කප කියන්නෙ. කප කියන්නෙ කලින් කිව්වා වගේ කණුවක් වගේ දෙයක්. අද නම් මේ වැඩේට තෝරාගන්නේ ඵල නොදරන කොස් පැලයක්. මේ පැලය අදාළ නැකතට ගස කපන්නා විසින් වතාවත් ඉෂ්ට කරලා නැගෙනහිරට වැටෙන ලෙස කපා දැමීම කරනවා. (මේ කාර්යය මුල් අවධියේ කළේ අලුත් නුවර උපුල්වන් දේවාලය විසින්. මහනුවර විෂ්ණු දේවාලය ඉදි උනාට පස්සේ ඒ කාර්යය විෂ්ණු දේවාලයට පැවරී තිබෙනවා). එසේ කපා ගත් කපේ මුල් කොටස නාථ දේවාලයටත්, දෙවන කොටස විෂ්ණු දේවාලයටත්, තුන් වන සහ හතරවන කොටස් පිළිවෙලින් කතරගම සහ පත්තිනි දේවාල වලටත් වෙන්කර දෙනු ලබනවා. ඉන් පස්සේ නැකතට අදාළ දේවාලවල පිළියෙළ කරගත් ස්ථානවලදී කප සිටවීම කරනු ලබනවා.
4. කුඹල් පෙරහැර සහ රන්දෝලි පෙරහැර
කප සිටවූ දින සිට දින පහක් එක් එක් දේවාල වටා කුඩා පෙරහරක් ලෙස ගමන් කිරීම කරනු ලබනවා. ඉන් පසු දිනයේදී සතර මහා දේවාල වෙන වෙනම පවත්වනු ලැබූ පෙරහැර වෙනුවට සතර මහා දේවාල සියල්ල දළදා මාළිගාවේ පෙරහරට එක්වී වීථි සංචාරය කිරීම කුඹල් පෙරහැර නම් වෙනවා. ඒ පෙරහැරත් තවත් දින පහක් යන තුරු පවත්වනවා. ඉන් පසුව රන්දෝලි පෙරහැරත් දින පහක් පවත්වනවා. සතර මහා දේවාල වල දේවාභරණ වැඩම කරවීම කරන්නේ රන්දෝලි පෙරහරවලයි. රන්දෝලි කියන්නෙ රජුගේ අගමෙහෙසියටයි. අතීතයේ රන්දෝලිය අවසන් දින කිහිපයේ පෙරහැරේ ගමන් කළ බව සඳහන් වෙනවා. ඒ නිසා මේ පෙරහැර රන්දෝලි පෙරහැර යනුවෙන් හඳුන්වන්න ගත් බවයි පැවසෙන්නේ. රන්දෝලි පෙරහරෙත් කුඨප්‍රාප්තිය වෙන්නෙ මහා රන්දෝලි පෙරහරයි. ඒ කියන්නෙ පස්වෙනි රන්දෝලි පෙරහරයි.
5. පෙරහැර චාරිත්‍ර කිහිපයක්
අවසර ගැනීමේ චාරිත්‍රය – පෙරහැර මංගල්‍යය ආරම්භ වෙන්නෙ ඒ සඳහා දියවඩන නිලමේතුමාගේ අවසරය ලබාගැනීමෙන් අනතුරුවයි. අවසර ලබා ගැනීම සඳහා කාරියකරවන කෝරාළ, ගජනායක නිලමේවරු, විදානෙලා, කපුරාලලා, අනෙකුත් නිලයන් දරන අය දියවඩන නිළමේතුමා හමුවනවා. එහිදී දියවඩන නිළමේ විසින් පෙරමුණේ රාල වෙත ලේකම්මිටිය සහ රන් අංකුසය ලබා දීම කරනවා.
වෙඩිමුර – සෑම පෙරහැර දිනයකම පෙරහැර පිටවීමට පෙර පළමු වෙඩිමුරය තැබීම කරනවා. ඒ අවස්ථාවේදී සිව්මහා දේවාලවල පෙරහැරේ ගමන් කරන අය මාළිගාවේ පෙරහැර හා සම්බන්ධ වෙනවා. නැවත වෙඩිමුර තැබීමක් සිදුවෙන්නේ කරඬුව ඇතු මත රන් සිවි ගේ තුළ තැන්පත් කිරීමෙන් පසුයි. නැවත පෙරහැර මංගල හස්තිරාජයා පෙරහරට එකතු වී පෙරහැර ආරම්භ වූ බව දැනුම් දීමට වෙඩිමුර තැබීමක් කරනවා.
6. හස්තිරාජ තතු
දළදා පෙරහැරේ ඉතාම විචිත්‍ර අංගයක් වන්නේ මේ සඳහා එකතු වන අලි ඇතුන් කණ්ඩායමයි. දිවයිනේ නොයෙක් දෙසින් අලි ඇතුන් මේ පෙරහරට එකතු වෙනවා. ඒ වගේම මේ කණ්ඩායමේ විශේෂම වෙන්නෙ දළදා කරඬුව වැඩමවීම සඳහා යොදාගන්නා ඇත් රාජයායි. ඒ සඳහා ඔහු ඇතකු විය යුතු අතර ඔහුට හත්වැදුම්පොළ පිහිටා තිබිය යුතු බව සැලකෙනවා. ඒ කියන්නෙ පා සතර, හොඬය, ලිංගය සහ වලිගය යන අංග හත භුමිය ස්පර්ශ වන ලෙස පිහිටීමයි. ඒපමණක් නොව පුළුල් කුම්භස්ථලයක් වගේම එකිනෙකට ස්පර්ශ වන දළ යුග්මයක් පවා පිහිටිය යුතු වෙනවා. කරඬුව වැඩමවපු ඇතුන් ගැන අපේ පහත ලිපියෙනුත් වැඩි දුර කියවන්න පුළුවන්.
7. පෙරහැර අවසන් වීම
මහා රන්දෝලි පෙරහරත් අවසන් වීමෙන් ඒ වසරේ පෙරහැර මංගල්‍යය අවසන් වුවත් එය දිය කැපීමේ මංගල්‍යයෙන් නිල වශයෙන් අවසන් වෙනවා. ඒ වගේම මහා රන්දෝලි පෙරහැර අවසන් වූ පසු එය රාජ්‍ය නායකයාට නිල වශයෙන් දැනුම් දීමේ සිරිතක්ද පවතිනවා. දිය කැපීමේ මංගල්‍යය ඉතා රහසින් සිදු කරන දේවකාරියක් බැවින් එය කරන ආකාරය ගැන කිසිවෙකුට දැනගැනීමට හැකියාවක් නෑ. මෙය කලින් නම් කරපු පුද්ගලයින් හත් දෙනෙක් තමයි සිද්ධ කරන්නේ . එහිදී සතර දේවාලවල කප සහ කලින් වසරේ ලබාගත් දිය කෙන්ඩි වගේම තවත් අවශ්‍ය උපකරණ සුදානම් කරගන්නවා. විශේෂයෙන් දිය කැපීමට අවශ්‍ය වන කඩුව විශේෂයි. මෙහිදී ජලයට කඩු පහරක් එල්ල කොට එම ජල පහර එකතු වීමට පෙර කෙන්ඩි වලට පැන් ලබාගන්නා බව ජනතාව අතර විශ්වාසයක් පවතිනවා.
Leave a Reply