තනියම, හුදෙකලාවේ සතුටින් ඉන්න බැරිද? බැහැයි කියලා හිතනවා නම්, දිගටම කියවන්න.

දැන් ඔය තනිකම කියන එක මාරම ප්‍රශ්නයක්නේ. නැද්ද? ඒ කියන්නේ මිනිස්සු ස්වභාවයෙන්ම සමාජ සත්ත්වයෝ හින්දා, අපි ගොඩක් දෙනෙක්ට තනියම ජීවත් වෙන්න අමාරුයි. එතකොට තනිකම දැනෙනවා. ගොඩක් දෙනෙක්ට ඒක දරන්න අමාරුයි. ගොඩක් දෙනෙක් ඇත්තටම කසාද බඳිනවා මේ තනිකම විඳදරා ගන්න බැරි හින්දම.

 

හැබැයි එකක්. මේ තනිකමෙන් ජීවත් වීම සහ හුදෙකලාවේ ජීවත් වීම කියන්නෙම දෙකක්. ඒ කියන්නේ තනිකමෙන් ජීවත් වීම කියන්නේ ගොඩක් වෙලාවට කරන්න අමාරු, විඳවන්න වෙන දෙයක්. හැබැයි හුදෙකලාවේ ජීවත් වීම කියන්නේ තමන්ගේ තෝරාගැනීමක් විදියට තනියෙන් ජීවත් වෙන අතරම, ඒක එන්ජෝයි කරන දෙයක්. සරලව කිවුවොත් හුදෙකලාවේ ජීවත් වෙන එක ආතල් එකේ විඳින දෙයක් මිසක් විඳවන දෙයක් නෙවෙයි.

 

හරි, දැන් පළවෙනි දේ තමයි අපි කවුරුත් හුදෙකලාවේ ඉන්නවා කියලා කිසිම මිනිස් ආශ්‍රයක් නැතුව ජීවත් වෙන්න අවශ්‍ය නෑ. හුදෙකලාව කියන්නේ ඒක නෙවෙයි. දෙවෙනියට හුදෙකලා ජීවිතයක් ගත කරමින් සතුටින් සිටීම කියන්නේම ආට් එකක්. ඒක ඕනම කෙනෙක්ට ප්‍රගුණ කරන්න සහ භාවිතා කරන්න පුළුවන්. ඒ නිසා අපි හිතුවා, තනියම, හුදෙකලාවේ හැබැයි සතුටින්, හොඳ ජීවිත තෘප්තියකින් ජීවත් වෙන්න වැදගත් වෙන උපදෙස් කීපයක් ලබාදෙන්න.

 

1. චොයිස් එකක්ද, වෙන කරන්න දෙයක් නැතිකමද?

ඇත්තටම හුදෙකලාව ජීවත් වෙන්න තමන්ට අවශ්‍යයිද? ආන්න ඒක මුලින් තීරණය කරගන්න ඕන. එහෙම නැතුව වෙන කරන්න දෙයක් නැතිකමට හුදෙකලාව ජීවත් වෙනවා කියන්නේ තනිකමෙන් විඳවනවා කියන එක වෙන්න තියෙන ඉඩ වැඩියි. ආන්න ඒ නිසා තමයි අපි කියන්නේ හුදෙකලාව ජීවත් වීම කියන්නේ ඇත්තටම තමන්ගේ චොයිස් එකක්, තෝරාගැනීමක් වෙන්න ඕන කියලා. එහෙම කියන්නේ ඇයි කියලා තව ඉස්සරහට කියවගෙන යනකොට තේරෙයි.

 

එහෙම නැතුව වෙන කරන්න දෙයක් නැති නිසා තනියෙන් ජීවත් වෙන්න සිද්ධ වෙනවා නම්, ඒ තනිකමට හුරු වෙලා ජීවත් වෙනවට වඩා කරන්න තියෙන හොඳම දේ තමයි වෙන විකල්පයක් ගැන බලන එක.

 

2. හුදෙකලාව කියන්නේ තනිවෙලා ඉන්න එක නෙවෙයි

මේක ඇත්තටම ගොඩක් දෙනෙක් වරදවා වටහාගන්න කාරණාවක්. හුදෙකලාව ජීවත් වෙනවා කියන්නේ ඇත්තටම කැලේ ඉන්න තාපසයෙක් වගේ මිනිස් පුළුටක් හෝ නැතුව ජීවත් වීම නෙවෙයි. ඊට වඩා තමන් තනිවම හුදෙකලාව ජීවත් වීම කියන්නේ තමන්ගේ පදනම සම්බන්ධ දෙයක්. ඒ කියන්නේ මෙහෙමයි. මනුස්සයෙක් තමන්ගේ ගෙදර තනියෙන් ජීවත් වෙනවා වෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා සමාජ ආශ්‍රයෙන් තොර වෙන්න ඕන නැහැනේ. පෙම්වතියක් හෝ පෙම්වතෙක් ඉන්න පුළුවන්. නිතර මුණගැහෙන යාළුවෝ ඉන්න පුළුවන්. තමන් ගැන හොයන බලන නෑදෑයෝ ඉන්න පුළුවන්. ඒ අයත් එක්ක ගත කරන්න කාලය වෙන් කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ කොහොම වුණත්, මනුස්සයා අන්තිමට ගෙදර කියලා එන්නේ තමන් හුදෙකලාව ජීවත් වෙන තමන්ගේ තැනට. තමන්ගේ ජීවිතේ පදනම යන්නේ හුදෙකලාවත් එක්ක. ආන්න ඒක තමයි වෙනස.

 

3. සංසන්දනය එපා

හුදෙකලා ජීවිතේ සතුටෙන් ගත කරන්න නම් තමන්ව සහ අනික් අයව සංසන්දනය කිරීමෙන් වළකින්න ඕන. මගේ වයසේ අර මනුස්සයා විවාහ වෙලා ඉන්නකොට මං විතරක් මොනවද මේ කරන්නේ කියලා හිතෙනවා නම්, එහෙම හිතෙන මනුස්සයෙක් හුදෙකලාව ජීවත් වෙන්න හිතලා වැඩක් නෑ. අපි පළවෙනි කාරණාවෙදිත් කියපු විදියට, එහෙම කෙනෙක් විවාහ වෙන්න හෝ හුදෙකලා නොවී ඉන්න කරන්න පුළුවන් දෙයක් කරන්න ඕන.

 

එහෙම නැතුව ඇත්තටම හුදෙකලාව ජීවත් වෙන්න ආස කෙනෙක්ට ඇත්තටම තමන්ගේ ජීවිතේ තවත් මනුස්සයෙක්ගේ ජීවිතේ එක්ක සංසන්දනය කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ. මගේ සමාජ ජීවිතේට වඩා අරයගේ සමාජ ජීවිතේ හැපනින් වගේ දේවල් හිතෙන්නෙ නෑ. ආන්න ඒ නිසා මේ සංසන්දනය නොකර ඉන්න එක ඉගෙන ගන්න ඕන දෙයක්.

 

4. කරන්න වැඩ තියෙන්න ඕන

හුදෙකලාව ජීවත් වෙනවා නම්, හුදෙකලා ජීවිතෙන් ප්‍රීතියක් අවශ්‍ය නම් තමන්ගේ මුළු කාලෙම ඔහේ කම්මැලි කමේ ගත කරන්න බෑ. ඒකෙන් හුදෙකලාව එක මොහොතකදී වදයක් වෙනවා. ආන්න ඒ නිසා හුදෙකලාව ප්‍රීතියෙන් ජීවත් වෙන්න ඕන නම් කරන්න වැඩ තියෙන්න ඕන. තමන්ගේ ජීවිතේ යම් කිසි අරමුණු තියෙන්න ඕන. ඒ අරමුණු වලට වැඩ කරන්න හැකියාව තියෙන්න ඕන. හැබැයි ඒ කියන්නේ වැඩ වලම එල්බ ගෙන ඉන්නවා කියන එක, වර්කොහොලික් වෙනවා කියන එකත් නෙවෙයි. ඒකත් හොඳ නෑ. හුදෙකලාව ප්‍රීතිමත්ව ඉන්න නම් තමන්ට තනියෙන් ගත කරන්න කාලය තියෙන්න ඕන වගේම, වැඩ කරන්නත් ඕන.

 

5. ශාරීරික සහ මානසික සෞඛ්‍යය

මේක සාමාන්‍යයෙන් අපි හැමදාමත් කියන කතන්දරයක්නේ. ඒ කියන්නේ ශාරීරික සහ මානසික සෞඛ්‍යය හොඳින් තියාගන්න ඕන කියලා. ඒක ඕනම කෙනෙක්ට අදාළයි. හැබැයි තමන් තනිවම ජීවත් වෙන්න හිතනවා නම්, ඒක අනිවාර්යයෙන්ම අදාළයි. මොකද, එකක් අපිට හොඳ ශාරීරික සහ මානසික සෞඛ්‍යයක් නැති නම් නිරන්තරයෙන් සෞඛ්‍ය උපකාර සහ හෙද උපකාර වගේ දේවල් අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ වගේම, අපිට හුදෙකලා ජීවිතයක් ප්‍රීතියෙන් ගත කරන්න තියෙන හැකියාව නැති වෙන්න පුළුවන්. ඒ ඇරෙන්න, කොහොමත් ජිම් එකට ගිහිල්ලා හරි ජොගින් ගිහිල්ලා හරි වෙන මොනවා හෝ විදියක ස්පෝට්ස් එහෙම කරලා හරි ඉන්නකොට ශාරීරික සෞඛ්‍යයට සහ මානසික සෞඛ්‍යය කියන දෙකම හොඳ වෙනවා. ඒ වගේම භාවනා, යෝග වගේ දේවල් හෝ අඩු තරමින් පොඩ්ඩක් ස්වභාව ධර්මයත් එක්ක සම්බන්ධ වෙලා කාලය ගත කරන්නත් වෙලාව වෙන් කරගැනීම වගේ දේවල් වලින් තව දුරටත් හොඳ මානසික සෞඛ්‍යයක්, නිසංසල මනසක් ඇති වෙනවා. අන්න එතකොට තමන්ට නිදහසේ හුදෙකලාව ඉන්න එක තවත් හොඳින් එන්ජෝයි කරන්න හැකියාව ලැබෙනවා.

 

6. තමන් එක්ක ගනුදෙනුවක්

සාමාන්‍යයෙන් හුදෙකලාව ජීවත් වෙන මනුස්සයෙක්ට අනික් ඕනම කෙනෙක්ට වඩා තනියෙන් ඉන්න, කල්පනාවෙන් පසුවෙන්න වෙලාව තියෙනවා. හැබැයි ඉතින් ඒ කාලය හරි විදියට යොදා නොගත්තොත් හුදෙකලාව ප්‍රීතිමත් වෙන්නෙ නෑ. උදාහරණයක් විදියට ගත්තොත්, ඒ හුදෙකලා කාලය ටීවී එකට, ෆෝන් එකට ඔහේ නාස්ති කරනවට වඩා, තමන්ට දේවල් හිතන්න ඒ කාලය වෙන් කරන්න පුළුවන්.

 

ඇත්තටම හුදෙකලාව ජීවත් වීම කියන එක තමන් එක්කම කරන ගනුදෙනුවක් වෙන්න ඕන. හුදෙකලා ජීවිතය තමන්ට සමීප වෙන්න යොදාගන්න ඕන. ඒකට තනියෙන් කරන්න පුළුවන් දේවල් තනියෙන් කරලා බලන්න. රෙස්ටුරන්ට් එකකට තනියෙන් ගිහින් හොඳ කෑම වේලක් අරගෙන විනෝද වෙන්න. තනියෙන් ට්‍රිප් එකක් ගිහින් සතුටු වෙන්න. මුහුදු වෙරළකට වගේ තැනකට තනියෙන් ගිහින් ඒ මොහොත එන්ජෝයි කරන්න. තමන්ගේ හිත එක්කම කතා බහ කරන්න. තමන්ටම ආදරය කරන්නත් පුරුදු වෙන්න. ආන්න එතකොට හුදෙකලා ජීවිතේ තියෙන ප්‍රීතිය අත්විඳින්න පුළුවන් වෙයි.

 

7. ප්‍රායෝගිකව අවශ්‍යතා සැපිරෙන විදියට

හුදෙකලාව ජීවත් වෙන්න අවශ්‍ය නම්, හුදෙකලා ජීවිතෙන් ප්‍රීතියක් ලබන්න නම්, ඇත්තටම හුදෙකලාව ජීවත් වෙන්න අවශ්‍ය කරුණු සාධක සම්පූර්ණ කරගන්නත් අවශ්‍යයි. උදාහරණයක් විදියට ගත්තොත්, අපිට ලොකු නිවසක හුදෙකලාව ජීවත් වීම ප්‍රායෝගික වෙන්නෙ නෑ. මොකද, ගේ අතුපතු ගාන වැඩ වලට හරි කෙනෙක් මුදල් දීලා ගත්තත්, ලොකු නිවසක් නඩත්තු කරන්න යම් කාලයක් සහ මුදලක් වැය කරන්න වෙනවා. අන්න එතකොට ප්‍රායෝගික දේ වෙන්නේ තමන්ගේ ප්‍රමාණයට හුරුබුහුටි නිවසක ජීවත් වීම තමයි. එතකොට හුදෙකලාව ජීවත් වෙනකොට සමහර වෙලාවට ඔය ආහාර පාන එහෙම සකස් කරගන්න තමන්ටම හුරුවෙන්න වෙනවා. අන්න ඒ දේවල් එතකොට ප්‍රගුණ කරගන්න ඕන. හැමදාම කඩෙන් කන එක ඔප්ෂන් එකක් නෙවෙයිනේ. ආන්න ඒ විදියට හුදෙකලාව ජීවත් වීමට යම් යම් ප්‍රයෝගික තත්ත්ව සහ අවශ්‍යතා අදාළ වෙනවා. ආන්න ඒවා සාක්ෂාත් කරගන්න ඕන. එහෙම නැතිනම් හුදෙකලාව ජීවත් වීම ප්‍රීතියකට වඩා කරදරයක් වෙන්න පුළුවන්.

 

අන්තිමට කිවුවොත්, තමන් හුදෙකලාව ජීවත් වෙනවා කියන්නේ ඇත්තටම තමන්ගේ ජීවිතේ තමන්ට ඕන විදියට ගෙවීමක්, විඳීමක් තමයි. විශේෂයෙන්ම ඔය සමාජේ හිතන දේවල්, අනික් අය හිතන දේවල් වගේ එව්වා ගැන වුවමනාවට වඩා වදවෙන කෙනෙක්ට එහෙම හුදෙකලාවේ ජීවත් වෙන්න තීරණය කරන්න බැහැ. මොකද, සාමාන්‍යයෙන් අපි එහෙම හුදෙකලාවේ ජීවත් වෙනකොට සමාජේ ඇවිත් අහන්න පටන් ගන්නවා ඇයි ඔයා අර විදියට ජීවත් වෙන්නෙ නැත්තේ, ඇයි ඔයා මේ විදියට ජීවත් වෙන්නෙ නැත්තේ කියලා. ආන්න එව්වලින් නොසැලී ඉන්න ඉතින් සාමාන්‍ය මනුස්සයෙක්ට බෑ. සමාජෙට ඕන විදියට නටන්නේ නැති, තමන්ට හොඳ ස්ථාවරයක් සහ ස්වාධීනත්වයක් තියෙන මනුස්සයෙක් වෙන්න ඕන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *