දෙවැනි ලෝක යුද්ධය අවසානයේදී යුරෝපයටත් වඩා විනාශයක් ජපානයට සිදුව තිබුණා. මිනිසා විසින් මිනිසාට එරෙහිව සිදු කරනු ලැබූ මිලේච්ඡතම ප්‍රහාරය ලෙස පරමාණු බෝම්බ දෙකක් හිරෝෂිමා සහ නාගසාකි නගරවලට අමෙරිකා එක්සත් ජනපදය විසින් හෙළනු ලැබුවා. එසේම ඉන් පසුව ජපානයේ යටත් වීම සිදු වූ අතර වසර දහස් ගණනක් තිස්සේ ස්වාධීනව පැවති රාජ්‍යයක අවසානය සිදුවීම ජපන් වැසියන්ව මානසික වශයෙන් පහත ඇද දමන්නක් වුණා. මේ නිසා එම කාලය තුළදී ජපාන වැසියන් බොහෝ පිරිසක් සිය දිවි හානි කර ගැනීමටත් පෙළඹුණා. අපි මේ සටහන තුළින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ සම්පූර්ණයෙන් කඩා වැටුණු ජපානයට යළි නැඟී සිටීමට අවශ්‍ය පසුබිම සකස් කළ ශ්‍රේෂ්ඨ මිනිසුන් කීපදෙනෙක් පිළිබඳවයි.
1. මොරෙහෙයි උෂෙයිබා (Morihei Ueshiba)
යුද පරාජයත් සමඟ දැඩි කම්පනයට ලක්ව සිටි ජපන් වැසියන්ගේ ආධ්‍යාත්මික ශක්තිය සහ මානසික ශක්තිය වැඩි කිරීමට උෂෙයිබා විසින් හඳුන්වා දෙනු ලැබූ ඓකිඩෝ (Aikido) නම් මාෂල් ආට් කලාව එක් හේතුවක් බවට පත් වුණා. ඔහු විසින් මෙම කලාව ජපානය තුළ මෙන්ම විදේශ රටවලද ජනප්‍රිය කිරීමට සුවිශාල මෙහෙයක් ඉෂ්ට කළ අතර ඒ හරහා ඔහු ජපානයේ නිල නොලත් තානාපතිවරයෙකු බවට පත්වුණා. ජපානය පිළිබඳව විදේශ රටවල පැවති අයහපත් ප්‍රතිරූපය යම්තාක් දුරකට හෝ සමනය කිරීමට ඔහුගේ මේ මැදිහත්වීම හේතුවක් වුණා.
2. ත්සුමෙසාබුරෝ මකිගුචියි සහ ජෝසේ ටෝඩා (Tsmesaburo Makiguchi & Josei Toda)
මකිගුචියි ජපානයේ අධ්‍යාපන ක්‍රමය විප්ලවීකරණයට ලක් කිරීමට උත්සාහ කළ තැනැත්තෙක්. විශේෂයෙන්ම ජපාන අධ්‍යාපන ක්‍රමය තුළ ප්‍රබල තත්ත්වයේ තිබූ මිලිටරීකරණය වෙනුවට නිදහස් අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීමට ඔහු විසින් උත්සහ ගනු ලැබුවා. එහි ප්‍රතිඵලය වූයේ ජපන් රජය විසින් ඔහු අත්අඩංගුවට ගෙන දඟගෙයි ලෑමයි. ඔහු සිරගෙය තුළම ජීවිතක්ෂයට පත් වූ අතර මරණයෙන් පසුව ඔහුගේ අදහස් යථාර්ථයක් බවට පත් වුණා. එසේම ඔහුගේ අනුගාමිකයෙකු වූ ටෝඩා උත්සාහ කරන ලද්දේ නිචිරේන් බුද්ධාගම ඇසුරෙන් ජපන් අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමයි. ඔහුගේ ව්‍යායාමය ද දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව සාර්ථකත්වය ලබා ගත්තා.
3. ඉෂිරෝ හොන්ඩා (Ishiro Honda)
Godzilla නිර්මාණය තුළින් ජපන් සිනමා කලාව වෙනස් මගට ගෙන යෑමට ඉෂිරෝ හොන්ඩා සමත්වූ අතර ඒ හරහා ජපානයේ ප්‍රතිරූපය සිනමා මාධ්‍ය හරහා ඉහළ නැංවීම ඔහුගේ අරමුණ බවට පත්ව තිබුණා. යුද සිරකරුවෙකු ලෙස චීනයේ කාලයක් ගත කර තිබූ ඉෂිරෝ, යුද්ධයේ බිහිසුණුකම මනාව වටහා ගෙන තිබූ අයෙක්.
4. සොයිචිරෝ හොන්ඩා (Soichiro Honda)
දෙවැනි ලෝක යුද්ධයේ විනාශයෙන් පමණක් නොව 1945 සිදු වූ අති දැවැන්ත භූමි කම්පාවෙන් දෙවරක් ඔහු නැත්තටම නැති වී ගියා. එහෙත් ඔහු තුළ තිබූ අධිෂ්ඨානය ඒ කිසිවකට පරාජය කළ නොහැකි වුණා. ආරම්භයේ දී ටොයෝටා සමාගමට අමතර කොටස් විකිණීමේ Solo ව්‍යාපාරයක් පටන් ගත් ඔහු අවසානයේ දී Honda යන නාමය ජාත්‍යන්තරය ජය ගත් නාමයක් බවට පරිවර්තනය කිරීමට සමත් වූවා.
5. හයාටෝ ඉකේඩා (Hayato Ikeda)
ජපානයේ නැවත නැඟී සිටීම උදෙසා බොහෝ දේශපාලනඥයින් දායක වී තිබුණ ද ඒ අතරින් ඉහළින්ම පිළිගැනෙන නාමය වන්නේ ඉකේඩාගේ නාමයයි. ජපාන මුදල් අමාත්‍යාංශයේ දිගුකාලීන සේවකයෙකු වූ ඔහු පසුව එරට අගමැතිවරයා බවට පත්වීමෙන් පසුව එහි දී ලද අත්දැකීම් ප්‍රායෝගිකව භාවිතා කරමින් ජපානය තුළ ආර්ථික සමෘද්ධිය ඇති කිරීමට සමත් වූවා. මේ නිසා ජපන් ආර්ථිකයේ ස්වර්ණමය දශකය ලෙස සැළකෙන හැටේ දශකය නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ ඉකේඩාටයි.
6. මසාරු ඉබුකා (Masaru Ibuka)
බොහෝ දෙනෙක් සිතන්නේ සෝනි සමාගම ඇමරිකානු සමාගමක් බවයි. නමුත් එම සිතුවිල්ලේ ඇත්තේ අර්ධ සත්‍යයක් පමණයි. සෝනි සමාගමේ සම නිර්මාතෘවරයෙකු වන මසාරු ඉබුකා ට්‍රාන්සිස්ටර් තාක්ෂණය හමුදාමය නොවන කටයුතු සඳහා භාවිතා කිරීම ආරම්භ කිරීමේ ප්‍රමුඛයකු බවට පත්වුණා. පසුකාලයක සිය සමාගම සෝනි ලෙස නම් කරනු ලැබූ ඔහු ඒ හරහා ලෝකය පුරා ප්‍රචලිත සන්නාමයක් නිර්මාණය කිරීමේ ගෞරවයට හිමිකම් කියනු ලැබුවා.
7. ෂින්සෝ අබේ (Shinzo Abe)
පසුගිය වසරේ දී අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වූ ෂින්සෝ අබේ සැලකෙන්නේ එරට වැඩිම කලක් පාලනය කළ අග්‍රාමාත්‍යවරයා ලෙසයි. කෙසේ නමුත් දැනට පළව ඇති වාර්තාවලට අනුව එරට බිහි වූ විශිෂ්ටතම අගමැතිවරුන්ගේ ලැයිස්තුවේ ඉහළම ස්ථානයක් ඔහු හට හිමිව තිබෙන්නේ ඔහු විසින් ජපානයේ ආර්ථික සමෘද්ධිය වැඩි කිරීමට සිදුකරනු ලැබූ සුවිශාල මෙහෙය නිසයි.
එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply