ආහාර කියන්නෙ මූලික මිනිස් අවශ්‍යතාවයක්. කෑම නොකා ජීවත්වෙන්න අපි කාටවත්ම බැහැ. හැබැයි ඉතින් ඒ වගේම තමයි කෑම කාල ලෙඩ හදාගන්න එකත් කරන්න හොඳ නැහැ. ජීවත්වෙන්න මිසක් බඩජාරිකමට කෑම කෑමේ අනිසි ප්‍රතිවිපාක අද හුඟක් මිනිස්සු විඳිමින් ඉන්නවනේ. අධික ස්ථුලභාවයේ නරක ප්‍රතිඵල ගැන අපි මීට කලින් කතාකළා. ඒ වගේම උසට සරිලන නිවැරදි බර පවත්වාගන්න ඕන ඇයි කියලත් කතාකළා.
BMI – Body Mass Index හෙවත් ශරීර ස්කන්ධ දර්ශකය ගැන හරියටම දැනගමු
හැබැයි ඔය කොයිදේ කරන්නත් ශරීරයට හිතකර ආහාර ගන්න අපි පුරුදු වෙන්න ඕන. හැමෝම මේ ගැන කිව්වට එහෙම කරන්නෙ කොහොමද කියල කතාබහ වෙනවා බොහොම අඩුයි. ඉතින් ඒ නිසා අපි හිතුවා සෞඛ්‍යසම්පන්න ආහාර වේලකට හුරුවෙන්නේ කොහොමද? ඒ කියන්නෙ සෞඛ්‍යසම්පන්න ආහාර අරගන්න කැමති අය විශේෂයෙන් කරන්න ඕන මොනවද කියල කතා කරන්න. මේ කියන්නෙ ඩයට් එකක් ගැන නෙමෙයි. එදිනෙදා ජිවිතයේදී නරක ආහාර පුරුදු ඉවත් කරලා සෞඛ්‍යසම්පන්න වෙන හැටි ගැන.
1. පැහැදිළි ඉලක්කයක්
මුලින්ම අපිට ලොකු උවමනාවක් තියෙන්න ඕන ශරීර සෞඛ්‍යය රැකගැනීම පිළිබඳව. අද කාලෙ කනබොන හුඟක් කෑම ශරීරයට අහිතකරයි කියල හුඟක් දෙනෙක් දන්නව වුණාට ඒ ආහාර පුරුදු මඟහරින්න කාටවත්ම උවමනාවක් නැහැ. ඒ නිසා ඉස්සෙල්ලම තදට හිතට ගන්න ඕන මේ නරක පුරුදු අතහැරල හොඳ ආහාර වේලක් අරගෙන යහපත් සෞඛ්‍යයේ ප්රතිලාභ විඳිනව කියලා. ටිකක් කල් යද්දිනම් මේ ක්‍රමයට ඇබ්බැහි වෙනවා. හැබැයි මුලදී ටිකක් අපහසුයි. හිත පාලනය කරගැනීම වැදගත්.
2. කට පාලනය
ඊළඟට පාලනය කරන්න ඕනෙ කට. දකින දකින කෑම බඩට දාගන්න එක සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕන. කලිනුත් කිව්ව වගේ ආහාර කියන්නෙ මූලික අවශ්‍යතාවයක් මිසක දිව පිනවන විනෝදාංශයක් කරගන්න එපා. කාලයක් ගිහිල්ල ලෙඩ රෝග අඩුවෙලා, සම පැහැපත්වෙලා, ඇඟට සැහැල්ලුවක් දැනෙනකොටනම් මේ නරක ආහාර කොච්චර රස වුණත් කන්න හිතෙන්නෙම නැහැ. ඒත් මුල්ම කාලයේ කට පාලනය කරගැනීම හරිම වැදගත්.
3. පිඟානෙන් භාගයක් එළවළු, පළතුරු
දැන් අපි පුරුදුවෙලා ඉන්නෙ ලොකු බත් පිඟානක් කාල එළවළු ටිකක් කන්න. අතුරුපසට පොඩි පළතුරු කෑල්ලක් හරි, පැණිරස කන්දක් හරි කන්න. ඒක වෙනස් කරගන්න ඕන. හැම වේලකටම බත් ඉතාම පොඩ්ඩක් සහ ඉතුරු හරිය ඔක්කොම එළවලු එකතු කරගන්න. අමු කොළ සම්බෝල, සලාද වර්ග වගේ අමුවෙන් කන්න පුළුවන් දේවල්නම් වඩාත්ම හොඳයි. පෝෂණය ඉහළයි. ඒ නැතත් අධික කාබෝහයිඩ්රේට ප්‍රමාණයක් ශරීරයට ඇතුළු කරගන්නව වෙනුවට වැඩිපුර එළවළු කන්න. කෑමෙන් පස්සෙ වගේම අතරමැද තේ වේල් වෙනුවටත් පළතුරු කන්න පුරුදු වෙන්න.
4. මේදය අඩු කිරි
කිරි කියන්නෙ ඇත්තටම අපේ ශරීරයට අත්‍යාවශ්‍ය දෙයක් නෙමෙයි. මිනිසා වගේ කිරි බී වැඩෙන ඒ කියන්නෙ ක්ෂීරපායී වෙනත් කිසිම ජීවියෙක් ළදරු අවධියෙන් පස්සෙ කිරි බොන්නේ නැහැ. හැබැයි අපි මැරෙනකන්ම කිරි බොනවා. ඒ ඇත්තටම ව්‍යාපාරිකයෝ අපේ ඔළුවට කාවද්දල නිර්මාණය කරපු වුවමනාවක්. කිරි නොබී අපිට බොහොම සෞඛ්‍යසම්පන්නව ජීවත් වෙන්න පුළුවන්. කිරි, තේ බීම සම්පූර්ණයෙන් නවත්තන්න පුළුවන්නම් ගොඩක් හොඳයි. හැබැයි එහෙම බැරි, කිරි වලට ඇබ්බැහිවෙලා ඉන්න අයට පුළුවන් මේදය අඩු (Low Fat) හෝ මේදය නැති (Non Fat) කිරි බොන්න හුරුවෙන්න.
5. පැණි රස, පිටි සහ තෙල් කෑම
මේවා තමයි අපේ පරම සතුරෝ. මේ තුනම දැක්ක ගමන් කන්න ආස හිතෙන, අපි නිතරම කෑමට එකතු කරගන්න ද්‍රව්‍ය. ඒ වගේම තමයි අපිට තියෙන කොලෙස්ටරෝල්, ෂුගර්, ප්‍රෙෂර් වගේ ඔක්කොම ලෙඩවල අයිතිකාරයෝ. මේ වර්ග තුනම ආහාරයට ගැනීම සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕන. මතක තියාගන්න, අඩුකරන්න නෙමෙයි. සම්පූර්ණයෙන්ම නවත්තන්න. සීනි අඩුවීමේ රෝගයක් ඒ කියන්නෙ type 1 diabetes තියෙන කෙනෙක්නම් මේ වැඩේ කරන්න කලින් වෛද්‍ය උපදෙස් ගන්න එක හොඳයි. ඒ හැරුණහම මේ තුනෙන් එකක්වත් අපේ ශරීරය අත්‍යාවශ්‍ය නැහැ. අපි කන අනිත් කෑම වලින් ඇඟට අවශ්‍ය සීනි, මේදය ලැබෙනවා. අල, බතල වගේ කෑම වලින් අපිට අවශ්‍ය පිෂ්ටය ලැබෙනවා.
6. මුහුදු ආහාර
මුහුදු ආහාර කියන්නෙ මිනිස් ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන ඉතාම බහුලව අඩංගු ආහාර වර්ගයක්. ඊට අමතරව මිනරල් සහ ඔමේගා -3 කියන හිතකර මේදය විශාල වශයෙන් මුහුදු ආහාර වල අඩංගුයි. ඒ නිසා හැකිතරම් මාළු, ඉස්සෝ, දැල්ලෝ වගේ මුහුදු ආහාර කෑමට එකතු කරගන්න. මේ දේවල් වැඩිපුර කද්දී බත් අඩුවෙන එක ලොකුවට බඩට දැනෙන්නේ නැහැ. මාළු කියන්නෙ මස් වර්ග වලට වඩා ගොඩක් ගුණදායක ආහාරයක්. ඒ නිසා මස් වෙනුවට හැකිතාක් මාළු සහ අනෙකුත් මුහුදු ආහාර වර්ග තෝරගන්න.
7. හැකි තරම් වතුර
මේ ගැනනම් ඉතින් අමුතුවෙන් කියන්නත් ඕන නැති තරම්. වතුර කියන්නෙ මිනිස් ශරීරයට ඉතාම හිතකර පානයක්. අපි මේ ගැන මීට කලින් වෙනම ලිපියකින්ම කතා කළා. https://www.lifie.lk/2020/09/09/benefits-of-drinking-water/
අපි දිනපතා පානයට ගන්න තේ, කෝපි, පැණිරස බීම වර්ග වෙනුවට ඒ හැම වෙලාවකම වතුර බොන්න පුරුදු වෙන්න. කිරි වගේම ඔය එක පානයක්වත් අපේ ශරීරයට අත්‍යාවශ්‍ය නැහැ. අනවශ්‍ය බීම වර්ග වලින් ශරීරයට අධික ලෙස සීනි සහ කැලරි එකතු වෙනවා. බීම රස අමතක කරන්නම බැරිනම් වතුරට දෙහි, ලෙමන් එහෙමත් නැත්තම් කොමඩු වගේ දෙයක් එකතු කරගන්න පුළුවන්. ඒ දේවල් ශරිරියට හිතකරයි. හැබැයි සීනි, කිරි එකතු කරලා බොන ෆෘට් ජූස් වලින්නම් ඇතිවෙන යහපතක් නැහැ.
Leave a Reply