ඉන්දියාවේ ප්‍රාන්ත ගැන තොරතුරු (දෙවෙනි කොටස)

අපේ අසල්වැසි රට ඉන්දියාව වුණාට ඉන්දියාව කියන්නේ තනි රටකට වඩා රටවල් ගණනාවක එකතුවක් විදියට හැඳින්වුවහොත් නිවැරදියි. ඇත්තටම සියවස් ගණනාවක් තිස්සේ ඉන්දියාව තනි රටක් විදිහට පාලනය වෙලා තිබුණේ නැහැ. අක්කර කිහිපයක කුඩා රාජ්‍යවල ඉඳන් විශාල භූමි ප්‍රමාණයක් දක්වා පැතිර යන රාජ්‍ය සියල්ල එකතු කරලා ඉන්දියාව කියන රාජ්‍යය ගොඩ නගන්නේ බටහිර යටත්විජිතවාදීන් විසිනුයි. අද දක්වාම ඉන්දියාව බෙදී ඇති ප්‍රාන්ත ව්‍යුහය තුළ පවා අතීත ඉන්දියාවේ වාර්ගික සහ දේශපාලනික බෙදීම පිළිබිඹු වෙනවා.

ඉතින් මීට පෙර අප විසින් ගෙන ආ ඉන්දියාවේ ප්‍රාන්ත පිළිබඳව ලිපිය සඳහා ඔබෙන් ලැබුන ප්‍රතිචාර නිසා ඊට දෙවැනි කොටසක්ද ලියන්න අපි තීරණය කළා.

ඉන්දියාවේ ප්‍රාන්ත ගැන තොරතුරු

 

1. ආන්ද්‍රා ප්‍රදේශ්

තෙළිඟු භාෂාව කතා කරන ජනතාව වෙනුවෙන් වෙන් කරන ලද ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාව තුළ භාෂා විෂමතාවය පදනම් කරගෙන බිහි වූ පළමු ප්‍රාන්තයයි .අතීතයේ දී බෞද්ධයන්ගේ ජයභූමියක්ව පැවති මෙම ප්‍රාන්තය පුරාවටම බෞද්ධ විහාරස්ථානවල නටබුන් විසිරී පවතිනවා. එසේම සුප්‍රකට කොහිනූර් දියමන්තිය ඇතුළු දියමන්ති බිහිවන්නේ ද මෙම ප්‍රාන්තයේ පිහිටි දියමන්ති ආකාර තුළිනුයි. එසේම ඉන්දියාවේ සහල් නැලිය ලෙස මෙම ප්‍රාන්තය හඳුන්වන්නේ ඉන්දීය සහල් නිෂ්පාදනයේ ප්‍රමුඛයා බවට මෙම ප්‍රාන්තය පත්ව තිබෙන නිසායි.

 

2. අරුණාචල් ප්‍රදේශ්

ඉන්දියාවේ තවත් සුන්දර ප්‍රදේශයක් වන මෙම ප්‍රාන්තයේ නමෙන්ම හැඟෙන පරිදි සමස්ත ඉන්දියාවේ මුලින්ම අරුණ උදාවන්නේ මෙම ප්‍රාන්තයටයි. මෙම ප්‍රාන්තයේ වැඩි කොටසක් සඳහා මහජන චීනය උරුමකම් කියන්නේ මෙම ප්‍රාන්තයේ වැඩි කොටසක් පුරාණ ටිබෙට් රටේ කොටසක්ව පැවතුණු බව කියමින්. 1962 පැවති චීන-ඉන්දීය යුද්ධයේදී මෙම ප්‍රාන්තයේ බලය සම්පූර්ණයෙන්ම පාහේ මහජන චීන හමුදා විසින් අත්පත් කරගනු ලැබුවා.

 

3. ඇසෑම්

ජෛව විවිධත්වයෙන් සහ ස්වභාවික චමත්කාරයෙන් අනූන ප්‍රාන්තයක් වන ඇසෑමය සංචාරක ආකර්ෂණයන් සඳහාද ප්‍රසිද්ධියක් උසුලනු ලබනවා. ඇසෑම් තේ සහ ඇසෑම් සිල්ක් සැළකෙන්නේ සුඛෝපභෝගී වෙළඳ භාණ්ඩ ලෙසයි. අනෙකුත් ඉන්දියානු ප්‍රාන්තවලට සාපේක්ෂව වැඩිම වර්ෂාපතනයක් ලබන මෙම ප්‍රාන්තය සදාහරිත ප්‍රාන්තයක් වන අතර එම වර්ෂාව නිසා බ්‍රහ්මපුත්‍ර ආදී ගංගා ද පෝෂණය වීම සිදුවෙනවා.

 

4. බිහාර්

බුදු දහමේ සහ හින්දු දහමේ කේන්ද්‍රස්ථානයක්ව පුරාණයේ බැබළුණු බිහාර් ප්‍රාන්තය සඳහා එම නම ලැබී තිබෙන්නේද එම ප්‍රාන්තය පුරාවට විසිරී තිබෙන අතිමහත් විහාරස්ථාන ප්‍රමාණය නිසායි. වර්තමානයේදී ඉන්දියාවේ අනෙකුත් ප්‍රාන්ත වලට සාපේක්ෂව ක්‍රමවත් ආණ්ඩුකරණය මගින් ජනතාවගේ සෞඛ්‍ය සහ අධ්‍යාපනික පහසුකම් ඉහළ නැංවීමට මෙන්ම අපරාධ ප්‍රමාණය සැළකිය යුතු මට්ටමකට පහත දැමීමට ප්‍රාන්තයේ බලය ලබාගත් ප්‍රාන්ත ආණ්ඩු සමත් වී තිබෙනවා.

 

5. හර්යානා

නැගෙනහිර පන්ජාබ් ප්‍රාන්තයේ කොටසක් හර්යානා ප්‍රාන්තය ලෙස නම් කිරීමට තීරණය කෙරුණේ එම ප්‍රාන්තයේ ජීවත් වූ හින්දි කතා කරන ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට කිරීම සඳහායි. මූල්‍යමය සේවා සහ තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානයක් ලෙස හර්යානා ප්‍රාන්තය ක්‍රියාත්මක වන අතර ඉන්දියාවේ ධනවත් ප්‍රාන්තයක් බවට එය කෙමෙන් කෙමෙන් පත්ව තිබෙනවා. නමුත් ඉන්දියාවේ අනෙකුත් ප්‍රාන්තවලට සාපේක්ෂව වැඩිම රැකියා වියුක්තියක් සහිත වන්නේ ද මෙම ප්‍රාන්තය තුළ වීම ප්‍රාන්ත ආණ්ඩුවලට අභියෝගයක්ව තිබෙනවා.

 

6. මධ්‍ය ප්‍රදේශ්

ඉන්දියාවේ දෙවනියට විශාලතම ප්‍රාන්තය වන මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ ප්‍රාන්ත අතුරින් පස්වැනියට වැඩිම ජනගහණයක් සහිත ප්‍රාන්තය ද වනවා. පුරාණයේ මරාත අධිරාජයේ කේන්ද්‍රස්ථානයක් වුණු මධ්‍ය ප්‍රදේශය කලක් ඉන්දියාවේ විශාලතම ප්‍රාන්තය බවටද පත්ව තිබුණා. නමුත් දකුණු කොටස තවත් ප්‍රාන්තයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමත් සමඟ ඉහත සඳහන් ආකාරයට ඉන්දියාවේ දෙවැනි විශාලතම ප්‍රාන්තය බවට එය පත්වුණා. ඛනිජ සම්පතින් අනූන මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ හමුවන විශාලතම තඹ සහ දියමන්ති ආකාරවලටද උරුමකම් කියනු ලබනවා.

 

7. මහාරාෂ්ට්‍ර

ඉන්දියාව මධ්‍යයේ ඩෙකෑන් සානුව ආශ්‍රිතව පිහිටා තිබෙන මෙම ප්‍රාන්තය රටක් ලෙස ගතහොත් ලෝකයේ දෙවැනියට වැඩිම ජන ඝනත්වයක් සහිත රට බවට පත්වනවා. නිදහස් ඉන්දියාවේ පැවැති බොම්බේ ප්‍රාන්තය භාෂාත්මකව බෙදීමේ ප්‍රතිඵලයක් ලෙස මරාති භාෂාව කතා කරන ජනතාව වෙනුවෙන් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය වෙන් වුණා. පුරාණයේ දී අධිරාජ්‍ය ගණනාවකට සෙවණ දුන් මෙම ප්‍රාන්තය පුරාවටම අතීත ශ්‍රී විභූතිය කියාපාන නටබුන් විසිර පවතිනවා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *