අද අපි හිතුවා මෑත කාලයේ අපේ නවක ලේඛක ලේඛිකාවන් විසින් ලියන ලද අපූරුතම නවකතා සහ කෙටිකතා පොත් හතක් ගැන කතාකරන්න. නවක ලේඛක ලේඛිකාවන් වුණත් මේ අයගේ සමහර කෘති නවකයි කියන්න බැරි තරමට විශිෂ්ටයි කියලා අනිවාර්යයෙන්ම කියන්න ඕනේ.
1. නිදන විල
මෑත කාලයේ ආපූ කුතුහලය, භීතිය කැටිවෙච්චි සුපිරිම පොතක් තමයි මේ නිදන විල කියන්නේ. කේෂාන් හරේෂු කියන නවක ලේඛකයාගේ මුල්ම පොත වන මෙය එළි දක්වා දැන් අවුරුද්දක් විතර වෙනවා. මේ වෙද්දි ඔහු තවත් කෘතියක් රචනා කරල තියනවා. ඒ පොතේ නම් ග්ලැසේරා. මේ පොත් දෙකම අපිව වෙනම ලෝකෙක අතරමන් කරන්න සමත් වෙනවා කියලා කියන්නම ඕන. ප්‍රශ්න ගොඩකින් අපිව අතරමන් කරපු නිදන විලෙහි දෙවන කොටස වන “හඬන විල” එන තෙක් නිදන විල කියවූ හැම පාඨකයෙක්ම ආසාවෙන් සහ නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා
2. අචිරවතී
අචිරවතී කියන්නෙත් මෑත කාලයේ එළිදැක්වුණු නවක නවකතාකාරිනියකගේ හොඳ නවකතාවක්. ප්‍රවීන මාධ්‍යවේදිනියක වන ඉන්දුමතී ජයසේන තමයි මේ කෘතිය රචනා කළේ. මේ කෘතියට මිශ්‍ර විචාරයන් රැසක් හිමිවුණා. පොළොන්නරුවේ ගොවි ජනපදවල ආරම්භක යුගයේ පැවැති ආර්ථික, සමාජ, දේශපාලන රටාව පිළිබඳ කතිකාවක් තිසරණී කියන චරිතය හරහා මේ නවකතාවේදී අපට හමුවනවා. 1971 හා 1987 – 89 තරුණ අරගල තුළින් ජනපද වල ඉන්න තරුණ තරුණියන්ගේ ජීවිත වෙනස් වූ ආකාරය මේ කතාවේ විස්තර වෙනවා…
3. කියවා පිළිස්සිය යුතු කතාවක්
මෙයත් නවකයෙක්ගේ අතින් බිහිවුණු නවකය කියලා ලේබල් කරන්න බැරි විශිෂ්ට කෙටිකතා එකතුවක්. මෙය රචනා කළේ සුමුදු අතුකෝරළ කියන නවක ලේඛකයා. මෙය වැඩිය ලාංකීය පාඨකයා අතර ජනාදරයට පත් නොවුණු හොඳ කෘතියක් කිව්වොත් නිවැරදියි. නමට ගැළපෙන කෙටිකතා එකතුවකින් සමන්විත මෙහි කතා තුළින් අපිව කම්පනයට ලක් කරන්න ලේඛකයා සමත් වෙලා තියනවා. ඉතින් නොකියවපු හැමෝටමත් මේ පොත කියවන්න කියලා ආරාධනා කරනවා.
4. බීර සුවඳැති හාදු
බීර සුවඳැති හාදු කෘතිය කියන්නේ මෑත කාලයේ සුපර් හිට් එකක් වුණු සුපිරිම පොතක්. අතට ගත්තාම පොත බිමට තියන්න නොහිතෙන බොහොම රසවත් කතාවක්. මේ කතාව මූලික වශයෙන් දිව යන්නේ බීර අවන්හලක් වටා. ඉතින් ආයේ වැඩි කතා ඕන් නැහැ, පොත කියවලාම බලන්න. දිල්ෂි තත්සරණි කියන්නේ මෑත කාලයේ මතු බලාපොරොත්තු තබා ගන්න පුළුවන් හොඳ ලේඛිකාවක් කියලා ඇගේ මේ බීර සුවඳැති හාදුව සාක්ෂි සපයනවා.
5. අනුරාවී
අනුරාවී කියන්නේ ආදරයේ හැම පැතිකඩක්ම ස්පර්ශ කරපු නවකතාවක් කිව්වොත් වැරදි නැහැ. චේතනා ද සිල්වා කියන ලේඛිකාව අනුරාවී හරහා මවපු නවමු වූ ෆැන්ටසි ලෝකය ඇතුළේ මෙය කියවපු අයට තාමත් ජීවත් වෙනවා වගේ හැඟීමක් ඇතිවෙනවා ඇති. ඒ වගේම මේ කෘතිය හරහා සමාජයේ සමරිසි ප්‍රජාවගේ අවශ්‍යතාවයන් ගැන කතා කිරීමත් විශේෂත්වයක්. ඒ නිසා අනුරාවී කියන්නෙත් අනුරාගයෙන් සහ ප්‍රේමයෙන් පිරුණු, ඔබ කියවිය යුතුම කතාවක් කියලා අපි ආයෙත් මතක් කරනවා…
6. සියවෙනි මෙහෙයුම
සියවෙනි මෙහෙයුම කියන්නේ ධනංජය කොඩිකාර ආරච්චි ගේ කුළුඳුල් නවකතාව. පොත පුරාවටම කුතුහලයෙන් අපිව රඳවා තබාගෙන පොත අත්නොහැර කියවන්න පොළඹවන තරම් තියුණු භාෂා ශෛලියක් පොත ඇතුළේ තිබෙනවා. කතාවේ එන ප්‍රධාන චරිත තුන හරහා ලේඛකයා කුතුහලය මවපු මේ නවකතාවත් මග නොහැර කියවන්න කියලා අපි රෙකමදාරු කරනවා.
7. රිදී සීනුව
රිදී සීනුව කියන්නෙත් පාඨකයාව වෙනම ලෝකෙක අතරමන් කරන සුපිරිම පොතක්. චීන නවකතාවක් සිංහලෙන් කියෙව්වා වගේ හැඟීමක් මෙය කියවන හැමෝටම ඉබේම දැනෙනවා. ඒත් මේක පරිවර්තනයක් නම් නෙමෙයි, ස්වතන්ත්‍ර නිර්මාණයක්. ප්‍රධාන වශයෙන් කතාව ගෙතෙන්නේ චෙන්ජු හා යුවාන් කියන චරිත දෙක හරහායි. ඒ වගේම මේ කතාවේ අතුරු කතාත් කිහිපයක් තියෙනවා. ජනනි සේනාධීර කියන නවක ලේඛිකාවගේ මේ ප්‍රයන්තයත් අතිශය සාර්ථකයි අපි ඉහත සඳහන් කළ අනෙක් කෘතීන් හය වගේම.
අද අපි කතා කළේ මෑත කාලයේ අතිශය ජනාදරයට පත් වුණු, විශිෂ්ට නවකතා හා කෙටිකතා පොත් හතක් ගැන. මේ හත අතරින් ඔබ කියවපු පොත් ගැනත් අපිට කියන්න අමතක කරන්න එපා. මීට අමතරව ඔයා දන්න නවක ලේඛකයන්ගේ හොඳ පොත් ගැනත් අපිට නොවරදවාම කමෙන්ටුවකින් කියන්න.
ශශින් ප්‍රබෝද්
Leave a Reply