ටෝකියෝ නගරයේ අපූරු වතගොත

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ සත්කාරකත්වය පැවැත්වීමේ ගෞරවය හිමිවූයේ ජපානයේ ටෝකියෝ අගනුවරටයි. ලොවම කොරෝනා වසංගතයේ ගිලිහී යද්දී ජපානය ඔලිම්පික් උළෙල පැවැත්වීම යන භාරදූර අභියෝගය භාර ගත්තේ සියවස් ගණනාවක් පුරා අභියෝගවලට අභියෝග කිරීමේ හැකියාව ජපනුන්ගේ ජීවන රටාවටම බද්ධ වී තිබෙන ගති ගුණයක් නිසා වන්නටත් පුළුවන්. ජපාන දේශපාලනය සහ සංස්කෘතිය තුළ ටෝකියෝ නගරය ප්‍රධාන තැනක් උසුලන අතර කලක් ලෝක දේශපාලනය තුළද ටෝකියෝව ප්‍රධාන භූමිකාවක් නිරූපණය කළා. කෙසේ නමුත් දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව දේශපාලන බලය යම්තාක් දුරකට අහෝසිව ගියත් ආර්ථික බලවතෙක් වශයෙන් ටෝකියෝව සතු බලපරාක්‍රමය අතිවිශාලයි. අපි අද ඔබ සමඟ බෙදා ගන්නට යන්නේ ටෝකියෝ නගරයේ වගතුගයි.

 

1. අතීත ටෝකියෝව

අතීතයේදී ටෝකියෝ නගරය සඳහා ලැබී තිබූ නම වූයේ ඊඩෝ යන්නයි. 1868 වසරේදී ජපාන දේශපාලනය සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු කරමින් මෙයිජි ප්‍රතිසංස්කරණ ඇති වූ අතර එම සමයේදී ඊඩෝ නගරය ටෝකියෝ ලෙස නම් කරනු ලැබුවා. එහි අරුත වන්නේ නැගෙනහිර අග නගරය යන්නයි. ජපානයේ භාවිතා කළ ඇතැම් හෝඩිවල තිබූ වෙනස්කමක් නිසා ටෝකියෝ යන නාමයේ උච්චාරණය Tokei ලෙස හැඳින්වුණු අවස්ථා තිබෙන බව ඉතිහාසඥයන් සඳහන් කරනවා.

 

2. අධිරාජයාගේ සපැමිණීම

ඉහත සඳහන් කළ ආකාරයට මෙයිජි අධිරාජයා ටෝකියෝවේ ස්ථිර පදිංචියට පැමිණි අතර 1889 මැයි 1 වැනිදා ටෝකියෝ නගරය නිල වශයෙන් ස්ථාපනය කරනු ලැබුවා. එතැන් පටන් ජපාන දේශපාලනික සහ සංස්කෘතික අගනුවර ලෙස ටෝකියෝව ක්‍රියාත්මක වන්නට පටන් ගත්තා. මේ හා සමගම ටෝකියෝව ශීඝ්‍ර සංවර්ධනයකට ලක් වුණු අතර පැරණි ඊඩෝ මාළිගය අධිරාජ්‍යයාගේ වාසස්ථානය ලෙස වැඩි දියුණු කිරීමට කටයුතු කරනු ලැබුවා.

 

3. ටෝකියෝවට එල්ල වූ අභියෝග

1923 දී සිදු වූ මහා කැන්ටෝ භූ කම්පනය නිසා ටෝකියෝවට මහා විනාශයක් සිදු වුණා. මේ හා ආසන්න සිදුවීම් නිසා ටෝකියෝවේ වැසියන්ගේ ජීවිත එක් ලක්ෂ පනස් දහසක් පමණ අහිමි වූ බව අනුමාන කෙරෙනවා. ජනතාවගේ ජීවිත විනාශ වීමට වැඩි වශයෙන් බලපෑවේ භූමි කම්පනය පමණක් නොව ඉන්පසුව නගරය තුළ පැතිර ගිය මහා ගින්නයි.

දෙවැනි ලෝක යුද සමයේදී ඇමරිකා එක්සත් ජනපද හමුදාවේ බෝම්බ ප්‍රහාර මාලාවකට ටෝකියෝව ගොදුරු වූ අතර එහිදී අහිමිවූ සිවිල් වැසියන්ගේ ජීවිත ප්‍රමාණයක් ලක්ෂයක් බව පැවසෙනවා.

 

4. ටෝකියෝවේ නැවත නැගිටීම

දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ජපානය යටත් වීමෙන් පසුව ඇමරිකා එක්සත් ජනපද බලධාරීන් ටෝකියෝවේ ගොඩනැගිලි සංවර්ධනය කිරීම සඳහා එතරම් උනන්දුවක් දැක්වූයේ නැහැ. ඔවුන් මාර්ග සංවර්ධනය වැනි කරුණු සඳහා පමණක් සිය අවධානය යොමු කරනු ලැබුවා. 1952 දී ඇමරිකා එක්සත් ජනපදය සිය බලපෑම ලිහිල් කිරීමෙන් අනතුරුව ටෝකියෝව ශීඝ්‍ර දියුණුවක් ලබා ගනු ලැබුවා. 1964 ඔලිම්පික් උලෙළ පැවැත්වෙන විට ටෝකියෝව සම්පූර්ණයෙන්ම නැවත ගොඩ නැගුණු නගරයක් බවට පත්ව තිබුණා.

 

5. ටෝකියෝවේ ආර්ථිකය

ටෝකියෝව දැනට ලෝකයේ විශාලතම මෙට්‍රොපොලිටන් ආර්ථිකයට හිමි වාර්තාව උසුලනු ලබනවා. එසේම ලෝකයේ ප්‍රධාන පෙළේ මූල්‍ය සේවා සපයන මධ්‍යස්ථානයක් ලෙස ටෝකියෝව ප්‍රසිද්ධියක් උසුලන අතර ලොව වටා ප්‍රධාන පෙළේ ආයෝජන, බැංකු සහ රක්ෂණ සමාගම් ටෝකියෝවේ සිය මූලස්ථාන පිහිටුවීමට කටයුතු කර තිබෙනවා. 2006 වසර දක්වා එක දිගට වසර දාහතරක් වැඩිම ජීවන වියදමක් සහිත නගරය ලෙස ටෝකියෝව වාර්තා තබා තිබුණා (පසුව එම වාර්තාවට ඔස්ලෝ නගරයේ සහ පැරීසිය හිමිකම් කියනු ලැබුවා)

 

6. ටෝකියෝවේ සංස්කෘතිය

ටෝකියෝව තුළ කෞතුකාගාර රැසක් පිහිටා තිබෙන අතර ජපානයේ ජාතික සංස්කෘතිය මෙන්ම විද්‍යාව, විදේශීය සංස්කෘතිය ආදිය සඳහා ඒ එක් එක් කෞතුකාගාර වෙන්ව පවතිනවා.මෙය තුළින් ජපානය සිය සංස්කෘතික දායාදයන් ආරක්ෂා කර ගැනීමට මෙන්ම බාහිර සමාජ වටිනාකම් සඳහා ද ගෞරව කරන ජාතියක් බව පෙන්වනු ලබනවා. එසේම වාර්ෂිකව පැවැත්වෙන සාම්ප්‍රදායික උත්සව රාශියක් සඳහා ටෝකියෝව වෙත මිලියන ගණනක් දේශීය සංචාරකයන් සහ විදේශීය සංචාරකයන් ඇදී එනවා.

 

7. ඔලිම්පික් ක්‍රීඩා උලෙළ

මෙම ලිපිය ආරම්භයේදී සඳහන් කළා සේම මුළු ලෝකයම කොරෝනා වසංගතය ඉදිරියේ අභියෝගයට ලක්ව සිටියදී ටෝකියෝව එම අභියෝගය සාර්ථකව ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ක්‍රීඩකයන්ගේ මෙන්ම ප්‍රේක්ෂකයනගේ ආරක්ෂාව උදෙසා ටෝකියෝ බලධාරීන් විසින් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබූ අතර එය මුළු ලෝකයේම ගෞරවාදරයට පත් වුණා.

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ටෝකියෝවේදී නිමාවූයේ “ජපනා හපනා” යන පිරුළ යළි යළිත් සනාථ කරමින්

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *