මේ බඩු මිල අහස උසට නැගපු කාලයක්. ආදායම් කවදාවත් නැති තරමට අඩුවුණ කාලයක්. කාට කාටත් අමාරු කාලයක්. හැබැයි ඉතින් එහෙමයි කියල ගෙදර දොරේ අවශ්‍යතාවයන් සපුරා ගන්නෙ නැතුවත් බැහැනෙ. ගෙදර ඉන්න ජනතාවගේ බඩවල් පුරවන්න ඕන. අනෙකුත් සනීපාරක්ෂක අවශ්‍යතා සපුරන්න ඕන. ඉතින් මාස්පතා ගෙදරට අවශ්‍ය බඩු ලැයිස්තුව ඉබේම හැදෙනවා ඔය දේවල් එක්ක.
දැන් අපි හැමෝම වගේ පුරුදු වෙලා ඉන්නෙ සුපිරි වෙළඳසැල් වලින් බඩු මිලදී ගන්න. ඒ ප්‍රධානවම තෝරාගැනීමේ සහ මිල සංසන්දනය කිරීමේ පහසුව නිසා. අනික සුපිරි වෙළඳසැල් දැන් ඉස්සර වගේ සුපිරි නැහැ. ඇත්තටම ඒවායේ බඩුවල ප්‍රමිතිය එක්ක බැලුවම මිල ගණන් බොහොම සාධාරණයි. ඒ වගේම දැන් පොඩි පොඩි වෙළඳසැල් පවා සුපිරි වෙළඳසැල් සංකල්පයට ඉදිවෙන නිසා ඔවුන්ට ඇති තරඟය ඉහළයි. ඒ නිසා වැඩි මිලට බඩු විකුණන්න බැහැ. කොහොම වුණත් මේ කියන්න යන්නෙ සුපිරි වෙළඳසැල් වල හොඳ නරක ගැනනම් නෙමෙයි. කොයි විදිහකට හරි මාසෙට අවශ්‍ය බඩු මිලදී ගන්නකොට කාලය සහ මුදල් ඉතුරු කරගෙන හොඳ භාණ්ඩ මිලදී ගන්න උදව්වෙන ටිප්ස් කිහිපයක් ගැනයි.
1. බඩු ලැයිස්තුවක් සකස් කරන්න
ගෙදරට අවශ්‍ය බඩු ගන්න කලින් ඉස්සෙල්ලාම කරන්න ඕන වැඩේ තමයි හරි ලැයිස්තුවක් හදාගන්න ඒක. ලැයිස්තුවක් නැතුව හිතුමතේ ෂොපින් කරන එකෙන් වෙන්නෙ අපි දැක්ක පළියට අනවශ්‍ය දේවල් මිලදී අරගෙන අවශ්‍ය දේවල් අමතක කරල නිරපරාදේ මුදල් නාස්ති කරගන්න එක. ඒ නිසා ඉස්සෙල්ලාම පෑනක්, කොළයක් අරගෙන ගෙදරට අවශ්‍ය බඩු ලැයිස්තුවක් ලියාගන්න. දැන් මේ වැඩේටම හදපු ඔන්ලයින් ඇප් එකක් වුණත් ප්ලේ ස්ටෝර් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. පහසු විදිහක් තෝරගන්න. ඊළඟට කලින් මිලදී ගත්ත බඩු බිලක් හරි එහෙමත් නැත්තම් සුපිරි වෙළඳසැලක ඔන්ලයින් පොර්ටල් එකක් හරි ලං කරගෙන බඩු වල මිල ගණන් පරීක්ෂා කරල බලල අනවශ්‍ය දේවල් කපාහරින්න. අපිට අවශ්‍යයි කියල හිතල ලිස්ට් එකට දාන සමහර අත්‍යාවශ්‍ය නොවෙන දේවල් මිල ගණන් දැක්කම ලැයිස්තුවෙන් අයින් කරන්න හිතෙනවා. මේ ලැයිස්තුව හැම මාසෙම මිලදී ගන්න මූලික ලැයිස්තුව විදිහට අරන් තියාගන්න පුළුවන්.
2. ස්ටොක් කවුන්ට් එකක් ගන්න
ඔන්න කලින් සකස් කරගත්ත ලැයිස්තුවත් අරගෙන මාසයේ බඩු ගන්න එළියට බහින්න කලින් නොවරදවාම කරන්න ඕන දෙයක් මේක. ඇත්තටම මාසයක් යනකන් නොඉඳ සතියකට හෝ සති දෙකකට වතාවක් මේ වැඩේ කරන්න පුළුවන්නම් වඩාත්ම හොඳයි. එතකොට සමහර කෑම වර්ග කල් ඉකුත්වෙලා ඉවත් කරන්න, අමතක වෙලා විසි කරන්න වෙන්නෙ නැහැ.
ස්ටොක් කවුන්ට් කරනව කියන්නෙ මහා පරිමාණ ව්‍යාපාරවල වගේ ලොකු රාජකාරියක් නෙමෙයි. ගෙදර ෆ්‍රිජ් එකෙන් පටන් ගන්න. ඉදිරියට භාවිතයට ගන්න පුළුවන් එළවලු, පළතුරු, චීස්, බටර්, කිරි වගේ දේවල් කොච්චර ඉතුරුද, ඒ ප්‍රමාණ කොයිතරම් කාලයකට ඇතිද කියල සටහන් කරගන්න. මතකය හොඳනම් මතක තියාගන්න. ඊළඟට ඒ විදිහටම අනික් බඩු, ඒ කියන්නෙ කිරිපිටි, නූඩ්ල්ස්, පාන්පිටි, සෝයාමීට් වගේ වියළි ආහාර ද්‍රව්‍ය ඔක්කොමත් ඉතුරු ප්‍රමාණ සටහන් කරගන්න.
ඊළඟට කලින් සකස් කරපු ලැයිස්තුව අතට අරගෙන ඒකෙන් මේ ඉතුරු ද්‍රව්‍ය කපාහරින්න. මාසෙන් බාගෙකට ඇතිවෙන්න තියෙන දේවල්නම් බාගයක් විතරක් මිලදී ගන්න සටහන් කරගන්න. හදපු ලිස්ට් එකට වෙන්කරපු මුදලෙන් ලොකු ගාණක් ඉතුරු වෙනවා ඔබට පෙනෙයි මේ පළවෙනි පියවරෙන්ම.
3. ඔන්ලයින් ඔෆර්ස් සොයාබලන්න
ඊළඟට ලැයිස්තුවයි, කම්පියුටර් එක හෝ ෆෝන් එකයි ලංකරගෙන ෆේස්බුක් එක සහ ඔය ඔන්ලයින් ෂොප් කිහිපයක කරක් ගහන්න. පැස්ටා, තෙල් වර්ග, නට්ස් වර්ග, ටූනා, චීස් වර්ග වගේ රටින් ගෙන්වන දේවල් වලට සෑහෙන්න හොඳ ඔෆර්ස් මේවගෙන් හොයාගන්න පුළුවන්. බෙදාහැරීමේ ගාස්තු සාධාරණ නම් ඒ දේවල් ඔන්ලයින් මිලදී ගන්න. හැබැයි මතක ඇතුව මිලදී ගන්න කලින් ඒ විකුණුම්කරු ගැන තියෙන රිවීව්ස් කියවලම ඉන්න. ගුණාත්මක බඩු, සාධාරණ මිලකට අරගෙන ලැයිස්තුවෙන් පොකට් එකට දැනෙන බර අඩුකරගන්න මේකත් හොඳ ක්‍රමයක්.
4. වෙළඳසැල් කිහිපයක් සංසන්දනය කරන්න
හැමදාම යන නිසා එකම තැනකින්ම බඩු ගන්න ඕන කියලා නීතියක් නැහැ. වෙළඳසැල් කිහිපයකට ගිහිල්ලා ඒවායේ මිල ගණන් සංසන්දනය කරන්න. මේ මාසේ ගත්ත තැනින්ම ලබන මාසයේ බඩු ගන්න එපා. ඒ විදිහට ටික කාලයක් යනකොට අඩු මිල ගණන් වලට හොඳ බඩු තියෙන තැන් ගැන පහසුවෙන්ම අවබෝධයක් ලැබෙනවා.
5. අවශ්‍ය ප්‍රමාණ පමණක් මිලදී ගන්න
අඩුවට තියෙන නිසා හෝ එක ගොඩට තියෙන නිසා අනවශ්‍ය ප්‍රමාණ මිලදී ගන්න එපා. උදාහරණයක් විදිහට කෙසෙල් ඇවරියක, මිදි පොකුරක ගෙඩි ගොඩක් තිබුණට ඒ ඔක්කොම මිලදී ගන්න අවශ්‍ය නැහැ.. පාරිභෝගිකයාට පුළුවන් තමන්ට අවශ්‍ය ප්‍රමාණ කියල ඉල්ලගන්න. නැතිනම් වෙන්නෙ නිරපරාදේ ගෙදර ගිහින් ඉදිල වැඩිවෙලා විසි කරන්නනේ.
6. ඒ ඒ වාරෙට මිල අඩු දේ
දෙහි වාරෙට දෙහි මිල අඩුයි. ඒ කාලෙට දෙහි මිලදීගෙන ලුණු දෙහි හදල තියාගන්න පුළුවන්. දෙහි යුෂ මිරිකල කල්තියාගන්න පුළුවන්. අමු මිරිස් අඩු කාලෙට වැඩිපුර අරගෙන අච්චාරු, මෝරු මිරිස් හදල කල්තියාගන්න පුළුවන්. තත්කාලි ගොඩක් අරගෙන ෆ්‍රීස් කරල තියාගන්න පුළුවන්. මේ වගේ ක්‍රම ඕනතරම්.
7. අනවශ්‍ය ඔෆර්ස් වලට රැවටෙන්න එපා
මුලදී හදලා finalize කරගත්ත ලැයිස්තුවට පිටින් බඩු ගන්න එපා. ලැයිස්තුව අතේ තියෙද්දී කොහොමත් දැකලා ආස හිතිලා බඩු ගන්න හිතෙනව අඩුයි. හැබැයි අන්න ඒ සංයමය බිඳෙන තැනක් තමයි මේක. ඔය හැම වෙළඳසැලකම වගේ විවිධ ඔෆර්ස් වර්ග තියෙනව. එකක් ගත්තම එකක් නොමිලේ, 40% ඩිස්කවුන්ට් වගේ බෝර්ඩ් ඔය හැම තැනකම දකින්න පුළුවන්. අපි දැක්ක ගමන් මේවට රැවටිලා “අනේ, ලාභයිනේ” කියල මිලදී ගන්න පෙළඹෙනවා. ඒකයි කියන්නේ රැවටෙන්න එපා! අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයිනම් ලැයිස්තුවට එපිටින් කිසිම දෙයක් මිලදී ගන්න එපා.
Leave a Reply