උසස් වීමක් ලබාගැනීමට ඉවහල් වන පුරුදු සහ ගතිසිරිත්

රැකියාවක් ලබාගත් තැන් පටන් අපි උසස්වීමක් හොයනවා. උසස්වීම කියන්නේ ඇතැම් වෙලාවට අපේ සිහිනයක්. ඉතින් මේ සිහිනයේ තිබෙන උසස්වීම ඇත්තටම අපිට ලබාගන්න මොනවාද කරන්න පුළුවන්? ඔව් අපේ ආයතන ගත්තාම උසස් වෙන්න බලාගෙන විවිධ අය විවිධ ගේම් ගහනවා. ඒත් සාධාරණව උසස්වීමක් ලබාගන්නේ කොහොමද? අපි ටිකක් සොයා බලමු.

 

1. ප්‍රමෝශන් එකක් හඳුනාගැනීම 

ප්‍රමෝශන් එකකින් පස්සේ අපිට වැටුප් වැඩිවීමක් ලැබෙනවා. සමාජ තත්ත්වයක් ලැබෙනවා. ආයතන තුළ වගේම ඉන් පිටත සමාජයේ අපේ නමට එළියක් එනවා. ඒත් තනතුර, උසස්වීමත් එක්ක අපිට තියෙන වැඩ වල ස්වභාවය වැඩි වෙනවා. වෙනදා අපි එකම ජාතියේ වැඩ කරගෙන පාඩුවේ හිටියත් ටිකක් ඉහළ තනතුරු වලට ගියාම අපිට වගකීම් එනවා. ඉලක්ක වලට වැඩ කරන්න සහ පිරිස් මෙහෙයවන්න වෙනවා. වෙනදා වගේ බොස් කියපු දේ කරගෙන පාඩුවේ ඉන්නේ නැතිව අපිට ලැබෙන කාර්යය හරහා ආයතනයට සාධාරණයක් කරන වගකීම අපිට ලැබෙනවා. මේ වැඩිවෙන වැඩ, වැඩිවෙන වගකීම්, වැඩිවෙන පීඩනය ගැන අපි යම් අවබෝධයක් ගන්නට ඕනි. එහෙම නැතිව අපේ උස්සවීමෙන් පවුලේ අය, අපේ පර්ස් එක, යාළුවන් සතුටු වුණත් අපිට සතුට නැතිවෙන්නට ඉඩ තියෙනවා.

 

2. බොස් ලෙස සිතීම

බොස් කෙනෙක් විදිහට හිතන්න බොස් කෙනෙක් වෙන්නම ඕනි නැහැ. අපිට වැඩ පවරන කෙනාගේ තත්ත්වය, ඔහුට තිබෙන ඉලක්ක, ඔහුට ලැබෙන පීඩනය අනුව කටයුතු කරන ආකාරය ගැන අපි යම් හැදෑරීමක් කරන්න ඕනි. ඒ වගේම උසස් වීමක් ගන්න ඉන්න කෙනෙක් ඒ විදිහට හිතලා මතලා හැම දේ ගැනම පැමිණිලි කරන, හැම තැනම වැරදි හොයන මානසිකත්වයෙන් ටිකෙන් ටික මිදෙන්නට ඕනි.

 

3. ඔබ උසස් වන්නට කැමති බව හැඟවීම 

ඔබේ හිතේ උසස්වීම ගැන අදහස තිබුණාට එය අනෙක් අයට වැටහෙන්නේ නැහැ. ඇතැම් විට ඔබේ පෙම්වතියට, වයිෆ්ට ඔබ ගැන තියෙන ඉතාම හොඳ හැදෑරීම නිසාම එය වැටහේවි. එහෙත් ආයතනයේ සිටින අනෙක් අයට එලෙස ඔබව ඇනලයිස් කරන්නට වෙලාවක් නැහැ. ඒ නිසා ඔබ උසස්වීමක් බලාපොරොත්තුව ඒ ගැන උනන්දුවෙන් කටයුතු කරනවා නම් එය මිතුරන්ට වගේම ආයතනයේ කළමනාකාරීත්වයට වක්‍රව ඒත්තු ගන්වන්න ඕනි.

 

4. කළමනාකාරීත්වයට කැපී පෙනෙන චරිතයක් වීම

මේ කියන්නේ ලොක්කන්ගේ සුරතල් බල්ලෙකු වීම කියන කාරණාව නෙමෙයි. ආයතනයකදී කැපී පෙනෙන්නට ලැබෙන අවස්ථාවන් තියෙනවා. ආයතනය ගැන, රාජකාරි ගැන රැස්වීම් ආදිය පැවැත්වෙන විට දිගින් දිගටම ඔබ නිහඬව හිටියොත් ඔබ ආයතනය ගැන උනන්දු අයෙක් කියලා අනෙක් අයට ඇඟවෙන්නේ නැහැ. ඒ වගේම ආයතන බාහිර වැඩ කටයුතු වලදී ඔබ ක්‍රියාකාරී අයෙක් වුණොත් කළමනාකාරීත්වයට ඔබේ නම ඇසූ පමණින් කඩිසර, වැඩ කරන්නට ආස කෙනෙක් බවට සිහිපත් වෙනවා.

 

5. කොළ සුදුසුකම් සපුරාගැනීම

මෙය ලංකාව වගේ රටවල තියෙන අනිවාර්යය දෙයක්. රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ බොහෝ පුද්ගලික ආයතන වල පවා උසස්වීම් ලබාගැනීමේදී අදාළ අධ්‍යාපන සුදුසුකම් සපුරාලන්නට ඕනි. ඔබ කොපමණ සාර්ථකව වැඩ කළත් ඒ අධ්‍යාපන සහතික ඔබට නැතිනම් ඔබේ ප්‍රධානියාට තබා ඇතැම්විට ප්‍රධාන විධායක නිළධාරීතුමාට පවා ඔබට උසස්වීමක් ලබාදෙන්නට අමාරුයි. ඉතින් ඒ නිසා රටේ හැටියට හැඩගැහිල අමාරුවෙන් හරි කල් අරගෙන හිමින් හිමින් හරි අවශ්‍ය සහතික හැකි පමණ එකතු කරගන්න එක වටිනවා.

 

6. නවීන ආකල්ප සහිත සේවකයෙක් වීම 

කේලාම් කීම, ලොක්කන් පිනවන්නට කටයුතු කිරීම, ලොකු අයට පුද්ගලික ලෙස වඩාත් හිතමිතුරු වීම වගේ වෘත්තීය වශයෙන් ඒ තරම් නොගැලපෙන පුරුදු අපේ රටේ ආයතන වල වගේම ලෝකයේම තියනවා. ඒත් හොඳින් සොයාබැලුවොත් වෘත්තිය අතින් ඉහළට යන බොහෝ අය තමුන්ගේ දක්ෂතා පෙන්වීම තමයි මූලිකව කරන්නේ. ඔවුන් අභ්‍යන්තර ගොසිප් හුවමාරු කිරීම ආදී නරක දේවල නිරත වෙලා තියෙන්නේ අඩුවෙන්. ඒ නිසා ඔබ ආයතනයේ සේවකයෙක් නම් අනික් සේවකයින්ගේ වලටම වැටිලා ඔවුන්ගේ තිබෙන පසුගාමී අදහස් එක්කම නිතර ගැටෙන්නේ නැතිව ආකල්ප අතින් නූතන අයෙක් වීම උසස්වීමකට පාර කියනවා.

 

7. නව දැනුම, නව තාක්ෂණය එක්ක මුසු වීම

ආයතනවලට පරිගණක එද්දි යන්තම් හෝ පරිගණක වැඩ දන්න අයට හොඳ කලක් උදාවුණා. ආයතන වල ඉංග්‍රීසි පාවිච්චිය වැඩි වෙද්දි ඉංග්‍රීසි දන්න අය ඉක්මනින් ඉදිරියට යනවා. ඒ වගේම දැන් ස්මාට්ෆෝන් කාලයේ වෘත්තියට එවැනි දේවල් යොදාගන්නා අයට හොඳ තැනක් තියෙනවා. ඉතින් ඔබ වැඩකරන වටපිටාවෙත් නවීන තාක්ෂණය ලෝකයේ පාවිච්චි කරන යෙදවුම් සොයාගෙන යන්න ඕනි. නව දැනුම, නව භාෂාවන් ඔබේ අණසකට යටත් කරගන්නට ඕනි. එවිට නව දේවල්, වැඩ පහසු කරන ක්‍රම හොයාගන්නටත් ඒ හරහා වෘත්තිය අතින් දක්ෂයෙක් වෙන්නත් ඔබට හැකි වේවි.

 

විවිධ දේශපාලන සහායෙන්, පුද්ගලික දැන හැඳුනුම්කම් වලින් උසස්වීම් ලබාගන්නා අවස්ථාත් අපේ සමාජයේ සුලභයි. එහෙත් ඒ ආකාරයට යම් සහායක් ගන්න පුළුවන් වුණත් හොඳ ධනාත්මක අදහස් ඇති දක්ෂයින්ට, නව දේ සොයායන අයට උසස්වීම් ලබාදෙන්නට කළමනාකාරීත්වයන් වඩාත් කැමතියි. ඉතින් උසස්වෙන්න අදහසක් තියෙනවා නම් මේ හොඳ දේවල් ඔබේ වෘත්තීය ජීවිතයට ලං කරගන්න උත්සාහ ගන්න. එවිට අද හෙටම නැතත් ලැබෙන කාලයකදී හරි උසස්වීම් ලැබෙනවිට ඔබේ නමත් සළකා බැලේවි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *