ඔබට මතක ඇති මීට සති කිහිපයකට කලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගොඩදාන්න මැදිහත් වෙච්ච විශිෂ්ට ගණයේ රාජ්‍ය පාලකයන් කීපදෙනෙක් ගැන ලිපියක් අපි ගෙනාවා. ඒ ලිපි මාලාවේම දිගුවක් විදිහට සිංගප්පූරුව ගොඩදාන්න මැදිහත් වෙච්ච විශිෂ්ට ගණයේ දේශපාලනඥයන් සහ නිලධාරීන් කිහිපදෙනෙක් ගැන තොරතුරු ඔබ සමග බෙදා ගන්න අපි හිතුවා. සිංගප්පූරුව ගැන කතා කරද්දි එක පාරටම ඔළුවට එන නම තමයි ලී ක්වාන් යූ කියන නම. තමන් උපන් රට විශිෂ්ට දේශයක් බවට පත් කළ ඒ සුවිශේෂී මිනිසා ගැන ඇති තරම් කතා බහ කෙරිලා තියෙනවා. අපි මේ ලිපිය තුළින් උත්සාහ කරන්නේ ඔහුගේ නායකත්වය යටතේ සිංගප්පූරුව ලෝකයේ ආර්ථික වශයෙන් සමෘද්ධිමත් රටක් කරන්න තමන්ගේ දායකත්වය ලබා දීපු තවත් විශිෂ්ටයෝ කීපදෙනෙක් ගැන කතා කරන්න.
1. ගෝ කෙන්ග් ස්වී (Goh Keng Swee)
1973 පටන් 1984 දක්වා කාලය තුළ සිංගප්පූරුවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ මෙතුමා සැළකෙන්නේ සිංගප්පූරුව නිර්මාණය කිරීමේ පුරෝගාමියෙක් විදිහටයි. වර්තමානයේ මැලේසියාවට අයත් භූමි ප්‍රදේශයක උපත ලැබූ ඔහු වයස අවුරුදු දෙකේදී සිංගප්පූරුව වෙත සිය පවුලේ අය සමග සංක්‍රමණය වුණා. බ්‍රිතාන්‍යයේ දී උසස් අධ්‍යාපනය හැදෑරූ ඔහු පසුව දේශපාලනයට පිවිසුණු අතර ලී ක්වාන් රජය යටතේ මුදල්, ආරක්ෂක, අධ්‍යාපන වැනි අමාත්‍ය ධූර හොබවනු ලැබුවා. සිංගප්පූරුවේ දියුණුව වෙනුවෙන් ඔහු කළ මෙහෙය අගය කරමින් පිලිපීනයේ රාමොන් මැග්සයිසේ සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබුවා.
2. එස්. රාජරත්නම් (S. Rajarathnam)
ගෝ කෙන්ග් ස්වීගෙන් පසුව නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධූරය හිමි වූයේ එස්. රාජරත්නම් හටයි. ලී ක්වාන් යූ සමහ පීපල්ස් ඇක්ෂන් පාටි නම් දේශපාලන පක්ෂය නිර්මාණය කිරීමට මූලික වූ ඔහු ඒ හරහා සිංගප්පූරුවේ දේශපාලන දිශානතිය තීරණය කිරීමට සුවිශාල මෙහෙයක් ඉෂ්ට කරනු ලැබුවා. ඔහුගේ පියා ශ්‍රී ලාංකිකයෙකු වූ අතර ජ්‍යෝතිෂ විශ්වාසයක් නිසා රාජරත්නම්ගේ උපත සිදු කිරීමට ඔවුන්ගේ දෙමව්පියන් සිංගප්පූරුව වෙත ගොස් තිබුණා. සිංගප්පූරුවේ පළමු විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රාජරත්නම්, එරට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ නොබැඳි ජාතීන්ගේ සමුළුවේ සාමාජික රටක් බවට පත්කිරීමට සුවිශාල වැඩ කොටසක් ඉටු කරනු ලැබුවා.
3. ලිම් කිම් සන් (Lim Kim San)
1960 වන විට සිංගප්පූරුවේ අති දැවැන්ත ගැටළුවක්ව පැවති නිවාස ගැටළුව පොදු නිවාස වැඩපිළිවෙළක් හරහා කෙටි කලක් තුළ නිරාකරණය කිරීම සඳහා නායකත්වය ලබා දෙන ලද්දේ ලිම් කිම් සන් විසිනුයි. නිවාස සංවර්ධන කමිටුවේ ප්‍රධානියා ලෙස වසර තුනක් කිසිදු වැටුපක් ලබා නොගනිමින් සේවය කළ ඔහු තමන්ට ලැබී තිබූ අභියෝගය සාර්ථකව ජය ගැනීමට සමත් වුණා. පසුව සිංගප්පූරුවේ වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙසද පත්වීම් ලැබූ ඔහු යටතේ දී සිංගප්පූරු වරාය ලෝකයේ ඇති කාර්යබහුලම වරායක් බවට පත්වුණා.
4. ඔන්ග් පැන්ග් බූන් (Ong Pang Boon)
පීපල්ස් ඇක්ෂන් පාටිහි ප්‍රබල පෙළේ ආධාරකරුවෙකු වූ බූන් දේශපාලනයට පිවිසියේ අග්‍රාමාත්‍ය ලී ක්වාන් යූගේ ආරාධනාව මතයි. සිංගප්පූරුවේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස එරට සීඝ්‍රයෙන් වැඩි වෙමින් තිබූ අපරාධ රැල්ල මර්දනය කිරීමට ඔහු සමත් වුණා. අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ඔහු කටයුතු කරද්දී සිංගප්පූරුවේ ද්වි භාෂික අධ්‍යාපනය ප්‍රවර්ධනය කළ අතර පසුව කර්මාන්ත සහ පාරිසරික අමාත්‍ය ධූරයද හොබවනු ලැබුවා.
5. යූසුෆ් ඉෂාක් (Yusof Ishak)
සිංගප්පූරුවේ ප්‍රධාන පෙළේ ජනමාධ්‍යවේදියකු වූ යූසුෆ්ට සිංගප්පූරු පාර්ලිමේන්තුව මගින් තෝරා පත් කර ගන්නා ලද පළමු ජනාධිපතිවරයා වීමේ භාග්‍යය ලැබුණා. එම ධුරයට පත්වීමට පෙර සිංගප්පූරුවේ ආයතන ගණනාවක ඔහු සේවය කරනු ලැබුවා. චිත්‍රපටි අභියාචනා කොමිසම, මලයාසියානුකරණය පිළිබඳ කොමිසම ඒ අතරින් කීපයක්. ඔහු ධුර කාල තුනක් ජනාධිපතිධූරයේ සේවය කළ අතර ඔහු මිය ගියේ ද එම ධුරය දරන අතරතුරයි.
6. Wee Chong Jin (වී චොන්ග් ජින්)
සිංගප්පූරුවේ පළමු අගවිනිසුරුවරයා ලෙස පත්වීම් ලැබූ වී චොන්ග් ජින්, එරට ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වූ පළමු ආසියාතික විනිශ්චයකාරවරයා ලෙස ද වාර්තාවකට හිමිකම් කියනවා. අගවිනිසුරුවරයා ලෙස ඔහු වසර 27ක පමණ කාලයක් සේවය කළ අතර එම කාලය තුළදී සිංගප්පූරුවේ නීති ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා සැළකිය යුතු වැඩ කොටසක් ඉෂ්ට කරනු ලැබුවා. එසේම සුළු ජාතික අයිතිවාසිකම් පිළිබඳව කවුන්සිලයේ ප්‍රධානියා ලෙස ද වසර දහ අටක් ඔහු කටයුතු කර තිබුණා.
7. Tan Boon Teik (ටෑන් බූන් ටියෙක්)
සිංගප්පූරුවේ නීතිපතිවරයා ලෙස වසර 39 ක කාලයක් කටයුතු කළ ටෑන් බූන් ටියෙක් එරට නීති ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට මෙන්ම නීති අධ්‍යාපනය වැඩි දියුණු කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නා. සිංගප්පූරු ඛනිජ තෙල් සමාගම, රක්ෂණ සමාගම වැනි රාජ්‍ය ආයතන කීපයකද පසු කලෙක ප්‍රධානියා ලෙස කටයුතු කළ ඔහු සිංගප්පූරුව තුළ කලාව ප්‍රවර්ධනය කිරීම සඳහාත් අනුස්මරණීය මෙහෙයක් ඉෂ්ට කළා.
එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply