නියම ජෙන්ට්ල්මන් කෙනෙක් නැතිනම් ලේඩි කෙනෙක් වෙන්න අපෙන් ටිප්ස් කීපයක්!

දැන් ඔය රියල් ජෙන්ටෙක් කියලා එහෙම ගොඩක් වෙලාවට කට්ටිය කියන්නේ, මනාව ඇඳ පැළඳ ගත්තු, විනීතව හැසිරෙන, හරියට හොඳට කතාබහ කරන්න දන්න මනුස්සයෙක්ටනේ. හැබැයි ඇත්තටම ජෙන්ට්ල්මන් කෙනෙක් කියන්නේ ඊට වඩා එහා ගියපු ශික්ෂිත, හික්මුණු ගතිගුණ තියෙන, ඒ වගේම බොහොම ගෞරවණීය, අගය කළ යුතු චරිත ලක්ෂණ තියෙන කෙනෙක්ට තමයි. ඒ එක්කම මතක තියාගන්න ඕන කාරණාව වෙන්නේ, මේ ජෙන්ට්ල්මන් කියන එකේ විරුද්ධ ලිංගික පදය වෙන්නේ ලේඩි කියන එක. ඒ කියන්නේ, උඩ අපි ජෙන්ට්ල්මන් කෙනෙක් කියලා දක්වපු මනා ගතිලක්ෂණ, චරිත ලක්ෂණ තියෙන්න  ඕන පිරිමි කෙනෙක්ට විතරක් නෙවෙයි. ගැහැණු කෙනෙක්ට වුණත් ඒවා තියෙන්න ඕන. අන්න එහෙම කෙනෙක්ට තමයි අපි නියම ලේඩි කෙනෙක් කියන්නේ. එහෙම නැතිනම් පිරිමි හෝ ගැහැණු කියලා වෙන් කරන්න බැරි ලිංගික සමාජභාවයක් තියෙන කෙනෙක්ට වුණත් ඒ ගතිලක්ෂණ හා චරිත ලක්ෂණ තියෙන එක හොඳයි.

 

ඉතින් මීට කලිනුත් අපි කතා කරලා තියෙනවා ක්ලාසි මනුස්සයෙක් විදියට පේන්න ඉන්නේ කොහොමද කියන එක ගැන. ඒකත් ජෙන්ට්ල්මන් කෙනෙක්ට හෝ ලේඩි කෙනෙක්ට වැදගත් කරුණක්. ඒ වගේම නියම විදියට තවත් කෙනෙක් එක්ක කතා බහේ යෙදෙන්නෙ කොහොමද කියන එක ගැනත් අපි මීට කලින් කතා කළා. ආන්න ඒකත් නියම ජෙන්ට්ල්මන් කෙනෙක්ට නැතිනම් ලේඩි කෙනෙක්ට වැදගත් කාරණාවක්. දැන් අපි බලමු, තව දුරටත් හොඳ ජෙන්ට්ල්මන් කෙනෙක් නැතිනම් ලේඩි කෙනෙක් වෙන්න කෙනෙක්ට තියෙන්න ඕන ගති ලක්ෂණ මොනවද කියලා.

 

1. හොඳ පරිත්‍යාගශීලියෙක්

දැන් අපි මිනිස්සුන්ට උදවු කරනවානේ. හැබැයි ඇත්තටම ගත්තොත් ගොඩක් දෙනෙක් උදවු කරන්නේ තව මොනවහරි බලාපොරොත්තුවෙන් නෙවෙයිද? අඩු තරමේ පිං ටිකක් වත් බලාපොරොත්තුවෙන් තමයි ගොඩක් දෙනා උදවු කරන්නේ. හැබැයි ගොඩක් දුරට ජෙන්ට්ල්මන් කෙනෙක් හෝ ලේඩි කෙනෙක් තවත් කෙනෙක්ට උදවු කරන්නේ එහෙම කිසිම දෙයක් බලාගෙන නෙවෙයි. අන්න ඒ නිසාම එයා හොඳ පරිත්‍යාගශීලියෙක්. හැබැයි මේ උදවු කියන්නේ කන්න බොන්න අරන් දෙන එකවත්, බඩු මුට්ටු ටිකක් අරන් දෙන එකවත් නෙවෙයි. ගොඩක් වෙලාවට හොඳ ජෙන්ට්ල්මන් කෙනෙක් හෝ ලේඩි කෙනෙක් තවත් කෙනෙක්ට උදවු කරන්නේ එයාගේ කාලය වැය කරලා, එයාගේ අදහස් හෝ උදහස් හෝ උපදෙස් ලබාදීලා නැතිනම් සම්පත් දායකත්වයෙන් වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේ දේකට නියම ජෙන්ට්ල්මන් කෙනෙක් හෝ ලේඩි කෙනෙක් තවත් කිසිම දෙයක් ආපිට බලාපොරොත්තු වෙන්නෙ නෑ.

 

2. ප්‍රොෆෙෂනල් මනුස්සයෙක්

වර්තමානයේ හොඳ ජෙන්ට්ල්මන් කෙනෙක් හෝ ලේඩි කෙනෙක් වෙන්න මෙන්න මේ ප්‍රොෆෙෂනලිස්ම් එකත් බලපානවා. මූලික වශයෙන් තමන්ගේ වෘත්තිය ජීවිතය සහ පෞද්ගලික ජීවිතය පටලවා නොගැනීම, ප්‍රොෆෙෂනල් ලයිෆ් එකේ ලොකු ලොකු ලයින් නොතිබීම, තමන්ගේ වෘත්තියට උපරිම සාධාරණත්වයක් ඉටු කිරීම වගේ දේවල් මේ නියම වෘත්තිමය භාවයට නැතිනම් ප්‍රොෆෙෂනල් වීමට උදාහරණ. ඊට අමතරව තමන් රැකියාවෙන් පිටදී රැකියාව පාවිච්චි කරලා අයුතු ප්‍රයෝජන එහෙම ගන්නවද කියන කාරණාව, රැකියාවෙන් පිටතදී රැකියාවේ ගරුත්වය තියලා හැසිරෙනවද වගේ කාරණාත්, ඔයා නියම ප්‍රොෆෙෂනල් මනුස්සයෙක්ද නැද්ද කියන එක නිර්වචනය කරන කරුණු කාරණා. ඒ වගේම වෘත්තිය ජීවිතයේදී වුනත් තියෙන සුහදත්වය, හොඳින් ඉහළට යෑමේ හැකියාව, ගැටුම් නිරාකරණය වගේ දේවල් වුණත් කෙනෙක් නියම ප්‍රොෆෙෂනල් මනුස්සයෙක් විදියට හඳුන්වන්න පුළුවන්ද කියන එකට සෘජුවම බලපානවා. ඉතින් මේ හැමදෙයක්ම පොසිටිව් හොඳ ප්‍රොෆෙෂනල් මනුස්සයෙක් කියන්නේ හොඳ ජෙන්ට්ල්මන් කෙනෙක් නැතිනම් ලේඩි කෙනෙක් විදියට හඳුන්වන්න පුළුවන් කෙනෙක් තමයි.

 

3. හොඳ ඇහුම්කන් දෙන්නෙක්

ඇහුම්කන් දෙනවා කියන්නේ කලාවක්. ඒක හැමෝටම බෑ. ඒකට හොඳ ඉවසීමක් තියෙන්න ඕන. ඒ වගේම කාරුණිකත්වයක්, සහකම්පනයක් තියෙන්න ඕන. ආන්න ඒක ඇත්තටම හොඳ ජෙන්ට්ල්මන් කෙනෙක් හෝ ලේඩි කෙනෙක් ගාව තියෙනවා. ඒ වගේම, කෙනෙක්ගේ ජීවිතේ සංවර්ධනයට වුණත් යහපත් උපදෙස් දෙන්න හොඳ ජෙන්ට්ල්මන් කෙනෙක් හෝ ලේඩි කෙනෙක් සමත් වෙනවා. ඒ වගේ අය හොඳ ලයිෆ් කෝච්ලා. අන්න ඒ නිසා තමයි ඇත්තටම මිනිස්සු හොඳ ජෙන්ට්ල්මන් කෙනෙක් හෝ ලේඩි කෙනෙක්ව ඇසුරු කරන්න ආස වෙන්නේ. ඒ අය අනික් අයට බොහොම ඉවසිල්ලෙන් ඇහුම්කන් දෙනවා. ඒ වගේම ඒ අය ලබාදෙන උපදෙස් පවා ජීවිතයට හරිම වැඩදායී. 

 

4. හැම මට්ටමකටම ගරුත්වය

අපි ඔය සමහර වෙලාවට ෆේස්බුක් එකේ දකිනවා, “අද මං ඔෆිස් එකට යනකොට ඔෆිස් එක අතුගාන අංකල් ඔෆිස් එක ඉස්සරහා ඉඳලා මට ගුඩ් මෝනින් කිව්වා, මම අංකල්ට ගුඩ් මෝනින් කියලා පිටටත් තට්ටුවක් දාලා හිනා වෙලා ඔෆිස් එකට ආවා. අංකල් හරිම සන්තෝසෙන් බලාගෙන හිටියා. මගේ තත්ත්වයත් එක්ක බලනකොට ඒ වගේ තැනක ඉන්න කෙනෙක්ට වුණත් එහෙම සමාන කෙනෙක් විදියට සලකපු එක ගැන මට හරිම සතුටුයි, මට මං ගැන හරි ආඩම්බරයක් දැනුනා” වගේ පෝස්ට්. දැන් එතකොට මෙහෙම කියන මනුස්සයාව නියම ජෙන්ටෙක් නැතිනම් ලේඩි කෙනෙක් විදියට සලකන්න පුළුවන්ද? කොහෙත්ම බෑ. මේ මනුස්සයා ලෝකෙට පේන්න සමානාත්මතාව නඩත්තු කරන කෙනෙක් මිසක්, ඇත්තටම ඔය බේද හිතින් හලපු කෙනෙක් නෙවෙයි. හැබැයි ඇත්තටම ඇත්ත රියල් ජෙන්ට්ල්මන් කෙනෙක් නැතිනම් ලේඩි කෙනෙක් ඔෆිස් එක අතුගාන අංකල්ට ගුඩ් මෝනින් කියලා පිටට තට්ටුවක් දාලා එන්නේ මෙහෙම ස්වයං ආතල් එකක් ගන්න නෙවෙයි, තමන්ට ඇත්තටම ඔෆිස් එක අතුගාන අංකල්ව සමාන කෙනෙක් විදියට දැනෙන නිසා. ආන්න ඒක තමයි නියම ගරුත්වය කියන්නේ.

 

5. කැපවීමෙන් කටයුතු කිරීම

මේක අර උඩින් කියපි ප්‍රොෆෙෂනලිස්ම් එකටත් ටිකක් සම්බන්ධයි. හැබැයි ඊට වඩා සමස්ත ජීවිතේටම අදාළ වෙන කාරණාවක්. ඒ කියන්නේ කැපවීමෙන්, මහන්සි වෙලා කටයුතු කරනවා කියන එක. ඇත්තටම හොඳ ජෙන්ට්ල්මන් කෙනෙක් හෝ ලේඩි කෙනෙක් කියන්නේ හොඳට මහන්සි වෙලා, කැපවීමෙන් වැඩ කරන්න පුළුවන් විදියේ හාඩ් වර්කර් කෙනෙක්. හොඳ ජෙන්ට්ල්මන් කෙනෙක් හෝ ලේඩි කෙනෙක් කියන්නේ කවදාවත් කම්මැලි මනුස්සයෙක් නෙවෙයි. එයා තමන්ගේ රස්සාවෙදි වුණත්, තමන්ගේ පුද්ගලික කටයුත්තකදී වුණත්, වෙනත් කෙනෙක්ගේ කටයුත්තකදී වුණත් බැහැලා, කැපවීමෙන්, පිළිවෙලට ඒක කරලා ඉවර කරන කෙනෙක්. ඇත්තටම හොඳ ජෙන්ට්ල්මන් කෙනෙක් හෝ ලේඩි කෙනෙක් එක්ක ඕනම වැඩක් කරනන් අනික් අය ආසයි.

 

6. ආත්ම විශ්වාසය

ආත්ම විශ්වාසය කියන එක ඇත්තටම අපේ ඇතුළේ තියෙන දෙයක් වුණත්, ඒක පිටතටත් පැහැදිළිවම පේන දෙයක්. අපි කතා කරන විදියෙන්, ඇවිදින විදියෙන් පවා ඒ ආත්ම විශ්වාසය පිටතට පේනවා. ආන්න ඒ නිසා හොඳ ජෙන්ට්ල්මන් කෙනෙක් නැතිනම් ලේඩි කෙනෙක් වෙන්න මේ ආත්ම විශ්වාසයත් ඉතාම වැදගත්. එහෙම අය ගොඩක් දුරට නායකයෝ විදියට ඉස්මතු වෙලා පේනවා. ඒ වගේම, හොඳ කන්ෆිඩන්ස් නැතිනම් ආත්ම විශ්වාසය තියෙන ජෙන්ල්ට්මන් කෙනෙක් නැති නම් ලේඩි කෙනෙක් කවදාවත් අනික් අයව පහළට දාන එක, පුරසාරම් කීම, ඔහේ වෙන දේවල් වෙන විදියකට වෙන්න දීලා බලාගෙන හිඳීම වගේ එව්වා කවදාවත් කරන්නෙ නෑ.

 

7. විශ්වාස කටයුතු බව

මෙන්න මේක අද කාලේ අපිට හොයාගන්න බැරිම ගති ලක්ෂණයක්. ඒ තමයි හොඳ විශ්වාස කටයුතු චරිතයකින් යුක්ත මහාත්මයෙක් නැතිනම් මහාත්මියක් වෙන එක. දැන් අපිට එදිනෙදා ජීවිතේදී සමහර මිනිස්සුන්ගේ රහස් ගැන දැනගන්න ලැබෙනවනේ. දැන් එහෙම රහසක් ගැන දැනගත්තට පස්සේ සමහරුන්ට ඒක තව කෙනෙක්ට ගිහින් කියනකල් නින්ද යන්නෙ නෑ. මේක හොඳ ජෙන්ට්ල්මන් කෙනෙක් නැතිනම් ලේඩි කෙනෙක් විදියට හඳුන්වන්න පුළුවන් කෙනෙක්ගේ චරිත ලක්ෂණයක් නෙවෙයි. ඒ වගේම ඊටත් වඩා නරකයි, තව කෙනෙක් තමන් ගැන විශ්වාසය තියලා කියන දෙයක් රැකගෙන ඉන්න බැරි කම. ඒ වගේම එක එක්කෙනා ගැන තැන තැන කතාබහ කරන එක, ඕපාදූප හෝ කේලාම් වලට තියෙන ලොල් බව එහෙමත් ජෙන්ට්ල්මන් කෙනෙක් නැතිනම් ලේඩි කෙනෙක් වෙන්න තියෙන බාධක කියලා කියන්න පුළුවන්. මීට අමතරව කෙනෙක්ට වචනයක් දුන්නොත් ඒ වචනේ රකින්න පුළුවන් වීමත් මේ විශ්වාස කටයුතු බවට උදාහරණයක්.

 

සමස්තයක් විදියට ගත්තොත් මනුස්සයෙක්ට හොඳ විශ්වාස කටයුතු මනුස්සයෙක් වෙන්න පුළුවන් නම්, ඒ කෙනා ගොඩක් දුරට හොඳ ජෙන්ට්ල්මන් කෙනෙක් නැතිනම් ලේඩි කෙනෙක්!

 

ඉතින් මොකද හිතන්නේ? මේ හොඳ ජෙන්ට්ල්මන් කෙනෙක් නැතිනම් ලේඩි කෙනෙක් විදියට හඳුන්වන්න පුළුවන් ගති ලක්ෂණ සහ චරිත ලක්ෂණ ඔයා ගාවත් තියෙනවද? තියෙනවා නම් ඒවා ආරක්ෂා කරගන්න. ටිකක් දුරට හරි තියෙනවා නම් ඒවා වැඩිවර්ධනය කරගන්න. මේ ගති ලක්ෂණ සහ චරිත ලක්ෂණ ඔයා ගාව ඇත්තෙම නැති නම් ඒවා අදම ඇති කරගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *