නීතිය නොදැන ඉන්න එකෙන් අමාරුවේ වැටෙන්න තියෙන අවස්ථාවන් මෙව්වා තමයි!

නීතිය නොදැනුවත්කම කියන්නේ නිදහසට කරුණක් නෙවෙයි කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. සරලවම කිව්වොත් රටේ තියෙන යම් කිසි නීතියක් උල්ලංඝනය කරලා, පොලිසියෙන් අල්ලගත්තහම අපිට කියන්න බෑ “අනේ මං එහෙම නීතියක් තියෙනවැයි කියලා දැනං හිටියෙ නෑනේ” කියලා. ආන්න ඒක නිසා තමයි නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නෙවෙයි කියලා ලියවිලාම තියෙන්නේ.

 

හරි, ඒක එහෙම වුණාට, ගොඩක් දෙනෙක් හරියටම රටේ තියෙන පොදු නීති රීති දන්නවාය කියන්නත් බෑ. ගොඩක් වෙලාවට ඔය මොකක් හරි නීතියට පටහැණි දෙයක් කරලා ඇවිත් කියන සුලභම නිදහසට කාරණේ වෙන්නේ එහෙම නීතියක් තියෙනව කියලා මං දැනං හිටියෙ නෑනේ කියන එක. එව්වා හරියන්නෙ නෑ ඉතින්. ආන්න ඒ නිසා අපි හිතුවා, ලංකාවේ ගොඩක් දෙනෙක් නීතිය නොදැන සිටීම නිසා කෙළෝගන්න අවස්ථා කීපයක් ගැන ලියලා තියන්න.

 

1. මාර්ග නීති

අපි මේ මාර්ග නීති කියන එක එක කොටසකට ගන්නෙ ඇයි? හේතුව, ඇත්තටම මාර්ග නීති ගැන හරියටම නොදන්න සෑහෙන්න දෙනෙක් ඉන්න නිසා. උදාහරණයක් විදියට ගත්තොත්, සමහරු ලර්නර්ස් ගිහින් ලයිසන් එක ගන්න විභාගෙ ලිව්වත් හරියට මාර්ග නීති දන්නෙ නෑ. තව සමහරු නම් ඉතින් හොර පාරෙන් ලයිසන් අරගෙන තියෙනවනේ. එතකොට කොහොමත් මාර්ග නීති ගැන දැනගන්න තියෙන ඉඩකඩ අඩුයි. කොහොම හරි ඔය ඕන ක්‍රමේකින් ලයිසන් එක අරගෙන, ඊලඟට පළපුරුද්දෙන් ගොඩක් නීති රීති දැනගන්න පුළුවන්. හැබැයි එහෙම වුණත් අහුනොවෙන තැන් ඕන තරම් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, පාරේ තියෙන ඉරි සිස්ටම් වලින් ගොඩක් දෙනෙක් දන්නේ තනි ඉර නොකපන්න කියන එක විතරයි. එතනින් එහාට අමුතු විදියට ඉරි ගහලා තියෙන තැනකට සෙට් වුණොත් එහෙම තනිකරම මඥ්ඥං!

 

2. බාලාපරාධ

මෙන්න මේක නම් ලංකාවේ මිනිස්සු සෑහෙන දෙනෙක් නොදන්න ජනප්‍රිය කාරණාවක්. ඒ වගේම අතිශයින්ම බරපතළ කාරණාවක්. බාලවයස්කාර ගණයට ගැනෙන්නේ අවුරුදු 16 න් පහළ අයව තමයි. එතකොට අපි කියමු අවුරුදු 16 ට මාසයක් හරි අඩු කෙනෙක් බලෙන් අපේ ඇඟට ආවා කියලා. එහෙම වුණත් අපිට කිසිම විදියක ලිංගික ක්‍රියාවක් සිද්ධ කරන්න තියා, ලිංගික අනුබලයක්වත් දෙන්න බෑ. ඒ කියන්නේ ආයෙ ලිංගික හැසිරීමක් කරන්න ඕන නෑ, ඒ වගේ දේවල් ගැන මෙසේජ් කරල තිබ්බත් ඇති. එතකොට එහෙම එකක් මාට්ටු වෙලා පොලිසි යන්න වුණොත්, මෙයා තමයි මාව පොළඹවගත්තෙ වගේ කතන්දර අදාළ නෑ. අවුරුදු 16 ට අඩු කෙනෙක්ට ලිංගිකත්වය වගේ දේකට කැමැත්ත දෙන්න බලයක්, මුහුකුරා යෑමක් තියෙනවා කියලා පිළිගැනෙන්නෙ නෑ. ආන්න ඒ නිසා, අවුරුදු 16 ට අඩු ළමයෙක් විසින් ඇත්තටම ලිංගික පෙළඹවීමක් කරලා වයසින් වැඩි කෙනෙක් ඒකට එකඟ වුණත්, වැරැද්ද වැටෙන්නේ වයසින් වැඩි කෙනාට. ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය කියලා ඔය නීති පොතේ තියෙන්නෙ ඕක තමයි. ආන්න එතකොට ඉතින් කූරු ගණින්න වෙන්න පුළුවන්.

 

3. ප්‍රසිද්ධ ස්ථානයක අශෝභන ලෙස හැසිරීම

ප්‍රසිද්ධ ස්ථානයක් කියන්නේ මහ පාරක ඉඳන් පොදු උද්‍යානයක් දක්වා, බස් එකක් දක්වා පොදුජනයා ගැවසෙන තැන්. මේ තැන් වල ඉඳලා අශෝභන විදියට හැසිරෙනවා කියලා පොලිසියට කියන්න පුළුවන් හැසිරීමක් දැක්වීම නීතියට අනුව වරදක් විදියට ගන්න පුළුවන්. බොහෝ විට බස් එකක පිටුපස්සේ ඉඳන් ලිංගික ක්‍රියා විදියට ගන්න පුළුවන් අතපත ගෑම්, සිප වැළඳ ගැනීම් වගේ දේවල් ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් දැක්කෙ නෑ වගේ හිටියත්, ඒක කවුරුහරි පොලිසියට පැමිණිල්ලක් විදියට ඉදිරිපත් කළොත් ඒක අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ආන්න ඒ නිසා, පොදු ස්ථානයක ඉන්නවා නම් තමන්ගේ හැසිරීම් ගැන ප්‍රවේසම් වෙන එක තමයි හොඳම දේ.

 

4. අසභ්‍ය ප්‍රකාශන

මේක ගැන නම් පහුගිය දවස් වල සෑහෙන්න හාහෝවක් ඇති වුණානේ.  අසභ්‍ය ප්‍රකාශන, ඒ කියන්නේ බ්ලූ ෆිල්ම්ස් හෝ බ්ලූ පත්තර වගේ දේවල් වලට නීතියෙන් කොයි වගේ ප්‍රශ්න ඇති කරනවද කියන එක කාලෙන් කාලෙට මතු වෙන මාතෘකාවක්. ඊයෙ පෙරේදා කියවුණා, බ්ලූ බලලා අහුවුණොත් ගෙදරටම පොලිසියෙන් එනවා කියලා. කොහොම නමුත්, තමන් පුද්ගලික ප්‍රයෝජනයට අසභ්‍ය ප්‍රකාශනයක් ලඟ තබා ගැනීම හරි ඒවා තමන් තනියෙන් බැලීම හරි නීතියෙන් වරදක් විදියට හැඳින්වෙන්නේ නැහැ. හැබැයි එහෙමයි කියලා එව්වා බෙදාහරින්න ගියොත් නං පුතේ බඩු බනිස් තමයි. ඒක කෙලින්ම නීතියේ දැක්වෙනවා. අසභ්‍ය ප්‍රකාශන බෙදා හැරීම හෝ බෙදාහැරීමේ පරමාර්ථයෙන් ලඟ තබාගැනීම වරදක් කියලා. හැබැයි තව දෙයක් තියෙනවා. අර අපි මුලින් කියපු බාලවයස්කරුවෝ සම්බන්ධ වෙන අසභ්‍ය ප්‍රකාශන එහෙම නම් පුද්ගලික ප්‍රයෝජනයට ලඟ තියාගෙන හිටියත් නීතිමය ගැටළු ඇතිවීමේ ඉහළ ඉඩක් තියෙනවා කියලා තමයි කියවෙන්නේ.

 

5. චණ්ඩි පාට්

දැන් ඔය චණ්ඩි ඉන්නවනේ. ඒ කියන්නේ ආයෙ නාහෙට අහන්නෙ නැති, කෙනෙක් තමන් දිහා වපරෙට බැලුවත් ගිහින් ඌගේ හතර හන්දි කඩන්න සූදානම් වෙන විදියේ චණ්ඩි ඉන්නෙ. උන්ට ඉතින් කවුරුත් බයයි. මොකද, ආයෙ ඇවිත් දිඩිබිඩි ගාලා නෙලලා ගියොත් කියලා තමයි හැමෝම හිතන්නේ. සමහරු ඉන්නවා, ඒක තමයි ක්‍රමේ කියලා හිතලා චණ්ඩි වෙන්න හදනවා. හැබැයි පරිස්සම් වෙන්න ඕන කාරණාව තමයි, අපි එහෙම කාට හරි කායික පහරදීමක් කරලා, ඒ කෙනා පොලිසියට පැමිණිල්ලක් දැම්මොත් අපිට ෂොට් එක හම්බුවෙන්න පුළුවන් ඉඩ ඉතාම වැඩි බව. ඒ විතරක් නෙවෙයි, අපිට එහෙම ඕන හැටියේ ගිහින් කෙනෙක්ට බැණ අඬගහන්න වුනත් බෑ. නීතියේ හැටියට ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒක ග්‍රාමසේවක හෝ එතනින් බැරි නම් කෙලින්ම පොලිසිය හරහා තමයි විසඳගන්න ඕන. එහෙම නැතුව අපේ ක්‍රමේට චණ්ඩි පාට් වලින් ප්‍රශ්න විසඳන්න යනවා කියන්නේ අපිට නඩුවක් වැටෙන්න තියෙන ඉඩ වැඩියි කියන එක තමයි!

 

6. කාලාවරෝධය

අපි මේක පොදුවේ එක කරුණක් විදියට ගන්නේ, මේක ගොඩක් දෙනෙක් නොදන්නා නීති කරුණක් නිසා තමයි. සරලවම කිවුවොත් කාලාවරෝධය කියලා කියන්නේ, යම් කිසි නීති අයිතිවාසිකමක් සඳහා අපිට තියෙන අයිතියට කල් ඉකුත් වීම කියන එක. වෙන විදියකට කිවුවොත්, අපි මොකක් හරි අපිට සිදුවෙන ගැටළුවකට හෝ අසාධාරණයකට නීතියේ පිළිසරණ පතනවා නම්, ඒක ඉක්මනටම කරන එක ඇඟට ගුණයි. එහෙම නැතුව අවුරුදු ගණන් කල් ඇරලා ගිහින් නඩු දැම්මට වැඩක් නෑ.

 

ඒකට සුලභව ගන්න පුළුවන් උදාහරණයක් තමයි ණය ගනුදෙනු. අපි ගොඩක් වෙලාවට හිතවත් කම උඩ කට වචනෙට ණය දීම් කරනවනේ. හැබැයි ඊට පස්සේ අපිට ණය ආපිට නොගෙවා පොල්ල තියන අයත් ඕන තරම් ඉන්නවා. ආන්න එතකොට අපි ඒ කෙනාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා නම් අවුරුදු තුනක් ඇතුළත නීතිය ඉදිරියට යන්න ඕන. අවුරුදු තුන පැන්නොත් කාලාවරෝධයට අහුවෙලා ඒ වැරැද්දට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න තියෙන හැකියාව අහෝසි වෙනවා. ඒ වගේම ලිඛිත ගිවිසුමකින් ණයක් දීලා මගහරින වෙලාවකදී වුණත් අවුරුදු හයක් ඇතුළත නීති ක්‍රියාමාර්ග ගන්න ඕනේ. අවුරුදු හය පැන්නොත් කරන්න දෙයක් නෑ. ආන්න ඒ වගේ කාරණා නිසා හැමෝම කාලාවරෝධ නීතිය ගැන දැනුවත්ව ඉන්න එක අත්‍යාවශ්‍යයි.

 

7. අධිකරණයට අපහාස කිරීම

දැන් අපි ඕනම කෙනෙක්ට මොකක් හරි හේතුවකට අධිකරණයක් ඉස්සරහට, ඒ කියන්නේ උසාවියකට යන්න හේතුවක් මතුවෙන්න පුළුවනිනේ. ඒ කියන්නේ අඩු ගාණේ මාර්ග නීති කඩ කරලා දඩයක් ගෙවන්න හරි උසාවියකට යන්න සිද්ධ වෙන්න පුළුවන්. ආන්න එතකොට මතක තියාගන්න ඕන, උසාවියකට ගිහින් නිකම් ගෙදර වගේ හැසිරෙන්න බැහැයි කියලා. අඩු ගාණේ නිකම් රස්තියාදු තාලෙට ඇඳගෙන යන එක පවා කේස්. දැන් ඔය උසාවියට අපහාස කිරීම කියන එකට ලංකාවේ නීතියේ පැහැදිලි නිර්වචනයක් නෑ. ආන්න ඒ නිසා වඩාත්ම පරිස්සම් වෙන එක හොඳයි. සමහර විට උසාවියේදී උස් හඬින් කතා කිරීම, මහ හයියෙන් ෆෝන් එක රින්ග් වීම වගේ හේතු වලට වුණත් කේස් එකක් වැටෙන්න පුළුවන්. පොදුවේ ගත්තොත්, ජනතාව ඉදිරියේ අධිකරණයේ ගරුත්වයට හානිවන ආකාරයේ ඕනෑම ක්‍රියාවක්, ජනතාව ඉදිරියේ අධිකරණය හෙළා දැකීම, හෑල්ලුවට ලක් කිරීම හෝ හාස්‍යයට ලක් කිරීම, අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීම, අධිකරණ නියෝගයක් අභියෝගයට ලක් කිරීම (අභියාචනයක් ඉදිරිපත් කිරීම නොවේ), අධිකරණය තුළ නොහික්මුණු හැසිරීම, සමස්ත අධිකරණයටම හෝ සියළු විනිසුරුවරුන්ට නිගරුවන අන්දමේ ප්‍රකාශ හෝ හැසිරීම් වගේ කාරණා අධිකරණයට අපහාස කිරීම හැටියට ගණන් ගැනෙනවාලු.

 

දැන් පැහැදිළියිනේ නීතිය නොදැන සිටීම නීතියෙන් ගැලවෙන්න හේතුවක් නෙවෙයි කියන එක. මේ වගේම තව පැත්තක් තියෙනවා. ඒ තමයි, රටේ ගොඩක් දෙනෙක් නීතිය කියලා හිතාගෙන ඉන්න සමහර කාරණා ඇත්තටම නීතිය නෙවෙයි. ඒ කියන්නේ සමහර වෙලාවට පොලිසියට තියෙන බය නිසා එහෙම මිනිස්සු නීතිවිරෝධී නොවෙන දේවලුත් නීතිවිරෝධීයි කියලා හිතාගන්නවා. ඒකෙන් සමහර වෙලාවට තමන්ගේ මූලික අයිතිවාසිකම් පවා කඩ වෙනවා. අන්න ඒ වගේ දේවල් ගැනත් අපි ඉදිරියේදී කතා කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *