කොවිඩ් එන්නත් වර්ග ගැන දැනුවත් වෙමු

මේ වෙද්දී අපේ රට පුරාම එන්නත්කරණ වැඩපිළිවෙළ අති සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. කොරෝනා රෝගයෙන් සිද්ධ වෙන මරණ පිළිබඳව වාර්තා වුණත් එන්නත්කරණ වැඩපිළිවෙළේ ඇති සාර්ථකත්වය පිළිබඳව ජාත්‍යන්තර වශයෙනුත් කතාබහට ලක්වෙලා තියෙනවා. මේ අඳුරු සමයේ වුවත් රටක්  විදිහට අපිට  ඒ ගැන ආඩම්බරයට ලක්වෙන්න පුළුවන් වගේම මේ අන්ධකාර සමයෙන් ඉක්මනින්ම රට මිදී යන බවට එක සුබ ලකුණක් විදිහටත් දක්වන්නට පුළුවන්. මුල් කාලයේදී  ඇස්ට්‍රාසෙනිකා එන්නත්වල හිඟයක් පැවතිලා තිබ්බත් පසුව ඇති තරම් ප්‍රමාණයක් ලංකාවට ලැබිලා තිබ්බා. ඒ වගේම සෞඛ්‍ය කාර්යය මණ්ඩලය එක්ක හමුදා නිලධාරීනුත් මේ සටනට එක්වීම නිසා කෙටි කාලයක් තුළ වැඩි පිරිසකගේ එන්නත්කරණය සාර්ථකව සිද්ධ කරගන්න ලැබුනා කියන එක රහසක් නෙමෙයි. අපි අද කතා කරන්න යන්නේ  මේ වෙද්දි ලංකාවේ සහ ලෝකය පුරා භාවිතා වෙන කොවිඩ් එන්නත් පිළිබඳව.

 

1. Oxford – AstraZeneca 

Covishield සහ Vaxzevria යන නම් වලින්ද හැඳින්වෙන මෙම එන්නත නිර්මාණය කිරීම සඳහා එක්සත් රාජධානිය සහ ස්වීඩනයේ සමාගම් මැදිහත්ව තිබෙනවා. මාත්‍රා වාර දෙකකින් මෙම එන්නත ලබාගත යුතු අතර එම වාර දෙක අතර පරතරය සති 4 සිට සති 12ක් දක්වා කාලයක් සුදුසු බව නිර්දේශ කෙරෙනවා. මෙම එන්නතේ අතුරු ආබාධ ලෙස එන්නත් කරන ලද ස්ථානයේ වේදනාව, හිසරදය සහ වමනය දැකිය හැකි අතර එම ස්වභාවය දින කීපයක් තුළ පහව යන බව කියවෙනවා. එසේම එම එන්නත ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව සටන් කිරීම   61% දක්වා ඉහළ අගයක් ගන්නවා.

 

2. Pfizer  – BionTech 

Comirnaty යන අය වෙළඳ නාමයෙන් හැඳින්වෙන මෙම එන්නත නිර්මාණය කිරීම සදහා ජර්මනියේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සමාගම් මැදිහත්ව තිබෙනවා. මේ එන්නතද සති තුන හතරක පරතරයකින් එන්නත් වාර දෙකකින් ලබාගත යුතු අතර එන්නත් කළ ස්ථානයේ වේදනාව සහ ඔළුවේ කැක්කුම අතුරු ආබාධ ලෙස සැළකෙනවා. මෙම එන්නත කොවිඩ් රෝගයට එරෙහිව සටන් කරන අති කාර්යක්ෂම එන්නතක් ලෙස ද සැළකෙනවා.

 

3. Johnson and Johnson

ඇමෙරිකානු සමාගමක් වන Johnson and Johnson හි අනුබද්ධ සමාගමක් ලෙස කටයුතු කරන නෙදර්ලන්ත සහ බෙල්ජියම් සමාගමක් විසින් මෙම එන්නත නිර්මාණය කොට තිබෙනවා. මෙම එන්නතෙන් එක මාත්‍රාවක් පමණක් ගැනීම ප්‍රමාණවත් වන අතර අදළ එන්නත් ගබඩා කිරීමේදී සිසිලන පහසුකම් අවශ්‍ය නොවීම තවත් එක් විශේෂත්වයක්. මෙයද ඉතා කාර්යක්ෂම එන්නතක් බව වෛද්‍ය පර්යේෂණ වාර්තා පවසනවා.

 

4. Moderna 

අන්තර්ජාලය තුළ පදනමක් විරහිත හිතලු මෙම එන්නත වඩා ගොඩනැගී තිබුණත් මෙයද කොවිඩ් රෝගය සඳහා භාවිතා කළ හැකි ඉහළ කාර්යක්ෂම මට්ටමක් පවතින එන්නතක් ලෙස හැඳින්වීමට පුළුවන්. එන්නත් මාත්‍රා දෙකකින් යුක්තව ලබා දෙන අතර එහි කාල පරතරය දින 29 ක් (ආසන්න වශයෙන් මාසයක්) පමණ වනවා.

 

5. Sputnik V

රුසියානු නිෂ්පාදනයක් වන  මෙම එන්නත මේ වන විට රටවල් 60කට ආසන්න ප්‍රමාණයක භාවිතා වෙනවා. ආරම්භයේ දී මෙම එන්නත අනුමත කිරීමට අදාළ වාර්තාව පිළිබඳව යම් විසංවාද පැවතුණත් මේ වන විට ලොව පුරා බිලියනයකට අධික මාත්‍රා ප්‍රමාණයක් බෙදා හැර තිබෙනවා. මෙම එන්නත ද සති තුනක පරතරයකින් මාත්‍රා දෙකකින් ලබාගත යුතු වෙනවා.

 

6. Abdala 

කියුබාව විසින්  හඳුන්වාදෙන ලද කොවිඩ් එන්නත් දෙකින් එකක් වන මේ එන්නත පිළිබඳව සායනික වාර්තා නිසි පරිදි එළි දක්වා නැති බව කියවෙනවා. මාත්‍රා 3 කින් මෙම එන්නත ගත යුතු අතර එකෙක් මාත්‍රාවන් අතර පරතරය සති දෙකක් හෝ තුනක් පවත්වා ගත යුතු බව කියවෙනවා. කියුබානු රජය පවසන ආකාරයට මෙම එන්නතේ කාර්යක්ෂමතාවය සීයට අනූ දෙකක් දක්වා ඉහළ අගයක් ගනු ලබනවා.

 

7. Sinopharm 

මෙම වෙළඳ නාමයෙන් හැඳින්වෙන එන්නත් දෙකක් චීනය මගින් එළිදක්වා තිබෙන අතර ඇතැම් පර්යේෂණ වාර්තාවලට අනුව  මෙම එන්නත කාර්යක්ෂමතාවය 90% සිට සීයට 100% දක්වා ඉහළ අගයක් ලබා ගන්නවා. මෙම එන්නත ද මාත්‍රා දෙකක් සති තුනක් හෝ හතරක පරතරයෙන් ලබාගත යුතු වෙනවා.

 

අවසාන වශයෙන් ඔබට එක් ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ ඔබ මෙතෙක් ඔබට හිමි එන්නත ලබාගෙන නොමැති නම් වහාම එය ලබාගන්න යන්නයි.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ශෙයා කරන්න අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *