ඇඳුම් ගැන වැඩියම උනන්දු කාන්තා පාර්ශවයට මේක හොඳ ලිපියක්. පිරිමි පාර්ශවයත් ඉස්සරට වඩා දැන් කාලෙ ඇඳුම් පැළඳුම් ගැන උනන්දු වුණාට ඒ අය ඇඳුමක් මහල අඳිනව අපි දකින්නෙ බොහොම කලාතුරකින්. මැහුවත් ඉතින් ඒ ඔෆිස් ෂර්ට් එකක් සහ කලිසමක් තමයි. හැබැයි කාන්තාවොනම් හිතේ තියෙන ඇඳුම කඩේක නැතිනම් රෙදි අරන් මහගෙන හරි ආශාව සපුරා ගන්න තමයි ට්‍රයි කරන්නෙ. ලස්සනට මහන මැහුම් ශිල්පිණියක් මුණගැහෙනව කියන්නෙ ගැහැණු කෙනෙකුට ඉතින් ඊට වඩා දෙයක් නැහැ.
ඇත්තටම කඩෙන් ගන්න ඇඳුම් වලට වඩා තමන්ම විලාසිතාව කියලා මහගන්න ඇඳුම්වලින් ලැබෙන තෘප්තිය බොහොම ඉහළයි. අනිත් එක ඒවා තමන්ගේම මිමි වලට මහන නිසා ඇඟටත් හැඩයි. ඒ වගේම මිලත් බොහොම අඩුයි කඩවල් වල ඇඳුම් වලට සාපේක්ෂව. හැබැයි ඉතින් මේ මහන්න රෙදි තෝරනව කියන එකත් සෙල්ලම් කාරියක් නෙමෙයි. ඇහැට ප්‍රිය වුණු පළියටම හැම රෙද්දකින්ම හැම විලාසිතාවක්ම මහන්න බැහැ. හැම රෙද්දක්ම හැම ඇඟකටම ගැලපෙන්නෙත් නැහැ. ඒ වගේ ගොඩක් කාරණා තියෙනවා. ඉතින් අපි අද කතා කරමු ඒ ගැන.
1. ඇඳුම අඳින අවස්ථාව
මුලින්ම හිතල බලන්න ඕන ඔයා මේ ඇඳුම අඳින්න යන්නෙ මොන වගේ අවස්ථාවන් වලදිද කියල. මොකද අපි ඇත්තටම විශේෂ අවස්ථාවන් වලට තමයි වැඩිපුරම ඇඳුම් මහන්න යන්නෙ. ඉතින් මංගල උත්සවයක්ද, සැන්දෑ සාදයක්ද, ඔෆිස් ඒකෙ විශේෂ අවස්ථාවක්ද, එහෙමත් නැත්තම් ආගමික කටයුත්තක් වගේ දෙයක්ද කියල හිතල බලන්න ඕන. දවසේ හැම වෙලාවකටම හැම රෙදි වර්ගයක්ම ගැලපෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට සිල්ක් ශිෆෝන්, සිල්ක් සැටින්, වෙල්වට් වගේ රෙදි සැන්දෑ සාදයන්ට ගලපෙද්දී උදේ වරුවේ වැඩ වලට ලිනන්, විස්කොස් වගේ රෙදි වැඩිපුර ගැලපෙනවා. ඒ වගේම අදාළ අවස්ථාව අනුව තමන්ගේ පහසුව ගැනත් රෙද්දක් මිලදී ගද්දි හිතන්න ඕන. ඔෆිස් එකක ඕපනින් එකක් වගේ අධිකව වැඩ කරන්න වෙන අවස්ථාවකනම් ඇඟට බර, දහදිය දමන රෙද්දකින් මහපු ඇඳුමක් ඇඳගෙන වැඩ කරන්න අපහසුයිනේ.
2. ඇඳුම අඳින වෙලාව සහ ස්ථානය
ඊළඟට සලකා බලන්න ඕන ඇඳුම අඳින වෙලාව. ලංකාව කියන්නෙ අවුරුද්ද පුරාම ලොකු වෙනස්කම් නැති සෞම්‍ය කාලගුණයක් තියෙන රටක් නිසා පිටරටකදී වගේ විවිධ සෘතු වලට අනුව රෙදි තේරීම සිදුකරන්නනම් අවශ්‍ය නැහැ. නමුත් අඳින වෙලාව අනුව, ඒ කියන්නෙ අධික අව්ව වේලාවක්ද නැත්තම් සිසිලස තියෙන වේලාවක්ද, එළිමහන් සාදයක්ද, ශාලාවක් ඇතුළේ තියෙන උත්සවයක්ද කියන කාරණා මත රෙදි වර්ගය තෝරාගන්න පුළුවන්.
3. ඇඳුමේ විලාසිතාව එක්ක ගැලපීම
මේ කාරණාව බොහොම වැදගත්. හැම රෙද්දකින්ම හැම විලාසිතාවක්ම මහන්න බැහැ. මැහුවත් ලස්සන නැහැ. ඔබේ හිතේ තියෙන විලාසිතාව ටිකක් සංකීර්ණ එකක්නම්, ඒ කියන්නෙ රැලි, පටි, බෝඩර් හුඟක් එකතුවෙන එකක්නම් ඝණකම රෙද්දකින් මේ විලාසිතාව මැසීම සුදුසු නැහැ. ඒකෙන් වෙන්නෙ කැත, පිම්බුණු පෙනුමක් ඇඳුමට එකතුවෙන එක. ඝණකම රෙද්දකින් මහන්න සුදුසු සරල විලාසිතා. සැහැල්ලු විස්කොස්, සැටින් වගේ රෙදි වර්ගයක් තමයි සංකීර්ණ විලාසිතා මහන්න සුදුසු.
ඒ වගේම මිලදී ගන්න රෙද්ද ප්ලේන් රෙද්දක්ද නැතිනම් ප්‍රින්ටඩ් රෙද්දක්ද කියන එකත් විලාසිතාව අනුව තමයි හිතලා බලන්න ඕන. ලොකු ලොකු බෙල්ට්, පොකට් එක්ක මහන විලාසිතා වලට ප්‍රින්ටඩ් රෙදි තෝරාගැනීම සුදුසු නැහැ. ඒවාට ලස්සන ප්ලේන් රෙදි. සාමාන්‍ය උත්සවයකට අඳින සරල ගවුමකට වගේ ෆ්ලෝරල් ප්‍රින්ට් වගේ ඒවා ලස්සනයි.
4. ශරීර ස්වභාවයත් එක්ක ගැලපීම
මේ ගැනනම් හුඟක් දෙනෙක් දැනටම දන්නවා. ඇඟේ ස්වරූපය ඉස්මතුවෙන්න අවශ්‍ය ප්‍රමාණය අනුවත් රෙද්දේ වර්ගය වෙනස් වෙනවා. හුඟක් මහත, හැබැයි මහත නොපෙනෙන්න අඳින්න කැමති කෙනෙකුට ලිනන් වගේ රෙදි ගැලපෙනවා. විස්කෝස්, ශිෆෝන් වගේ රෙදි වලින් ඇඟේ හැඩය ඉස්මතු වෙලා පේනවා.
ඒ වගේම රෙද්දේ ඩිසයින් එකත් ඇඟේ හැඩය අනුව තෝරගන්න ඕන. උදාහරණයක් විදිහට ඉරි සහිත රෙදි වලින් ඇඳුමක් මහනවනම් හරහට ඉරි පිහිටන රෙදි වලින් ඇඟ මහත්වෙලා පෙනෙනවා. කෙලින් අතට එහෙමත් නැත්තම් සිරස් අතට ඉරි තියෙන රෙදි වලින් ඇඟේ හැඩය කෙට්ටු කරල පෙන්වනවා. ඒ වගේම තමා කොටු රෙදි. අපි සාමාන්‍යයෙන් කියන චෙක් රෙදි. කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ චෙක් රෙදි ඕනම ශරීර හැඩයකට, ප්‍රමාණයකට ගැලපුනාට ලොකු කොටු සහිත රෙදි ගැලපෙන්නේ සිහින් සිරුරක් සහිත උසින් වැඩි කාන්තාවන්ට පමණයි.
5. මහන කෙනාගේ හැකියාව
හොඳටම රෙදි මහන්න පුළුවන් දක්ෂ මැහුම් ශිල්පිණියක් හමුවෙලා ඉන්න කෙනෙකුට නම් මේ ගැටළුව නැහැ. හැබැයි නිතර ඇඳුම් මස්සවාගන්න අපි දන්නවනේ හරියට මහන කෙනෙක් හොයාගන්න තියෙන අමාරුව. ඉතින් කොච්චර හොඳ රෙද්දක් ගත්තත් වැඩක් නැහැ මහන කෙනාට ඒක හරියට මහගන්න බැරිනම්. එයාට කියලා රෙදි මස්සවාගෙන කලින් තියෙන අත්දැකීම් අනුව සහ එයා එක්ක කතා කරලා එයාගේ අදහස් අනුව තෝරාගන්න රෙද්ද ගැන තීරණය කරන්න.
6. අවශ්‍ය රෙදි ප්‍රමාණය
රෙදි වල විවිධ පළල වර්ග තියෙනවා. මහන විලාසිතාව අනුව මේ පළල වෙනස් වෙන්න අවශ්‍ය අවස්ථා තියෙනවා. ඒ වගේම අපේ ශරීර ප්‍රමාණය අනුවත් අවශ්‍ය රෙද්දේ පළල වෙනස් වෙන්න පුළුවන්. ඒ ගැනත් මහන කෙනා එක්ක කලින් සාකච්ඡා කරලා අදහසක් ගන්න පුළුවන්. නැතිනම් රෙදි විකුණන තැන්වල වැඩ කරන අයත් මේ ගැන දන්නවා.
7. මිල
අන්තිමේ මේ ගැනත් හිතල බලන්න. අඳින අවස්ථාව, මහන ඇඳුමේ විලාසිතාව සහ මහන කෙනාගේ හැකියාව අනුව රෙද්දට වියදම් කරන මිල තීරණය කරන්න. මොකද මිල අධික රෙද්දකින් ඇඳුමක් මහල සරල ගමනකට අඳින එක අපරාදෙනේ. ඒ වගේම තමා රෙද්දේ මිල ඉතා අධික උනාට මහන කෙනා ඒකට එකතු කරන වටිනාකම පහලනම් වියදම් කරන මුදල අපරාදේ.
Leave a Reply