අපි කියමු ඔන්න අපි කාට හරි ආදරෙයි කියලා. එහෙම වෙනවනේ, අපිට කෙනෙක්ට හිත යන්න පුළුවන්නේ. හැබැයි අපිට එහෙම හිත ගියාට, එයාත් අපිට කැමති වෙයිද? ආන්න ඒක නම් ප්‍රශ්නයක්. කැමති වුණොත් බෝනස්, කැමති නොවුණොත්? ආන්න එතකොට ඉතින් දුක සෝකෙන් තැවි තැවී ඉන්නනේ වෙන්නේ. ඇත්තටම එහෙම හාට්බ්රේක් එකකට මුහුණ දීලා නැති කෙනෙක් හොයාගන්න නැති තරම් කිවුවොත් බොරු නෙවෙයි.
හැබැයි අපි මෙහෙමත් හිතමු. ඔන්න අපිට කෙනෙක් පණ නහගෙන ආදරෙයි. ඒත් අපිට ඒ කෙනා ගැන එහෙම ආදර හැඟීමක් පහළ වෙලා නෑ. අපිට ඒ කෙනාව ඒ විදියට දැනෙන්නෙ නෑ. හැබැයි ඉතින් නිකම්ම “මං ඔයාට කැමති නෑ” කිව්වොත් එහෙම ඒ කෙනාගේ හිත රිදෙන එක ෂුවර්. ඒකටත් අපි අප්සෙට්. එහෙමයි කියලා ඔහේ පස්සෙන් එන්න දීලා ඉන්නත් බෑ. ඒක එයාටත් කරන නරකක්, අපිටත් කරදරයක්. ඇත්තටම හිත රිද්දන්නෙ නැතුව ආදරේ ප්‍රතික්ෂේප කරන්න ක්‍රමයක් නැද්ද? ඇත්තටම නෑ. කොහොම කළත් ප්‍රතික්ෂේපයක් කියන්නෙම හිත රිදෙන දෙයක්. හැබැයි අපිට ඒ හිත් රිදුම, හිත් බිඳුම හැකිතාක් ප්‍රමාණයකින් අඩු කරලා අපේ අකමැත්ත ප්‍රකාශ කරන්න පුළුවන් නම්, ආන්න ඒක ලොකු දෙයක්. ඉතින් මේ කියන්න යන්නේ ඒ විදියට හිතක් හැකිතාක් නොරිද්දා ආදරයක් ප්‍රතික්ෂේප කරන්නේ කොහොමද කියන එක ගැන තමයි.
1. ෆේස් ටු ෆේස්
අපි සාමාන්‍යයෙන් දැන් කාලේ ෆේස් ටු ෆේස් දේවල් කරන්නෙම නැති තරම්. ඇයි? අපිට චැට් කරන්න පුළුවන්, මෙසේජ් කරන්න පුළුවන්, කෝල් කරන්න පුළුවන්, ෆේස් ටයිම් පුළුවන්, ඔය වගේ ඩිජිටල් ක්‍රමේට අදහස් හුවමාරු කරගන්න පුළුවන්. හැබැයි ඉතින් මේ වගේ අවස්ථාවකදී කරන්න පුළුවන් හොඳම දේ තමයි කෙලින්ම මුණගැහිලා කතාබස් කරගෙන ඉවර කරන එක. ඒකෙන් ඇත්තටම අනික් කෙනාට තේරෙනවා අපි ඒ කෙනා ගැන මනුස්සයෙක් විදියට සැලකිලිමත් වෙනවා කියන එක, අපි ඒ කෙනාගේ හැඟීම් වලටත් ඒ කෙනාටත් ගරුත්වයක් තියෙනවා කියන එක. ආන්න ඒක වැදගත්.
හැබැයි ඉතින් දැන් කාලේ ගැන බැලුවත්, එහෙම මූණට මූණ මුණගැහෙන එක කරන්න අමාරු කටයුත්තක් වෙන්න පුළුවන්. එහෙම ඇත්තට මුණගැහිලා කතාබස් කරගෙන වැඩේ ඉවරයක් කරන එක කරන්නම බැරි දෙයක් නම්, ඊලඟට යන්න පුළුවන් ඔප්ෂන් එක තමයි දුරකථන ඇමතුමක්. ෆෝන් කෝල් එකක්. හැබැයි ඒ ඇරෙන්න චැට් මෙසේජ් එකකින්, ටෙක්ස්ට් එකකින් එහෙම ආදරයක් ප්‍රතික්ෂේප කරන එක කිසිසේත්ම කරන්න නරකයි.
2. සූදානමෙන් යන්න
දැන් අපි එහෙම ඇත්තට මුණගැහිලා හරි අඩුම තරමින් කෝල් එකකින් හරි ආදරේ ප්‍රතික්ෂේප කරන්නනේ යන්නේ. ඇත්තටම ඒක ලේසි දෙයක් නෙවෙයි. මොකද, අපි අපේ අදහස කිව්වත්, අනිවාර්යයෙන්ම අනික් පැත්තෙන් කරුණු ඉදිරිපත් වෙයි අපි ඒ ආදරේ පිළිගන්න ඕන ඇයි කියලා. ආන්න ඒ නිසා අපි මේ සාකච්ඡාවට සූදානම් වෙලා තමයි මුණගැහීමට හෝ ෆෝන් කෝල් එකට යන්න ඕන. ඒ කියන්නේ අපි මානසිකවත් ඒකට සූදානම් වෙන්න ඕන. නැතිනම් අපිත් කරකියා ගන්න දෙයක් නැති වෙන, කලබල වෙන තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. ඒ ඇරෙන්න අපිට කියන්න ඕන මොනවද කියන එක ගැනත් හොඳට හිතලා මතලා එතනට යන එක හොඳයි. විශේෂයෙන්ම තව දහසක් වැඩ දාගෙන, කරදාසිය ලිපේ දාගෙන ඔය වගේ දේකට නොයන එක තමයි හොඳ.
3. අවංක වීම අවශ්‍යයි
සමහරු කෙනෙක්ගේ ආදරයක් පිළිගන්න බැරි වීමට හේතු විදියට කියන ජනප්‍රිය කාරණයක් තියෙනවා. ඒ තමයි “මට කොල්ලෙක්/කෙල්ලෙක් ඉන්නවා” කියන එක. හැබැයි ඒක බොරුවක් නම්? බොරුවක් නම් ඒ මොහොතෙදී ගැටළුවක් වෙන එකක් නෑ. හැබැයි කවදාහරි අපි ඒ කියල තියෙන්නෙ බොරුවක් කියලා අනික් කෙනාට අහුවුණොත්, එතනදී එයා ආයෙමත් පාරක් දරුණු විදියට හර්ට් වෙන්න තියෙන ඉඩ වැඩියි. ආන්න ඒ නිසා අපිට මේ කතාබහේදී අවංක වෙන්න සිද්ධ වෙනවා. ඇත්ත කතන්දරේ සීනි තවරන්නේ නැතුව කියන්න සිද්ධ වෙනවා.
4. වැරදි කියන්න යන්න එපා
හැබැයි මෙතනදී තව කාරණයක් තියෙනවා. උඩින් අපි කිව්වනේ අවංක වෙන්න ඕන මේ කතාබහේදී කියලා. දැන් අපි හිතමු අපි මේ අපිට ආදරෙයි කියන කෙනාට අකමැති, ඒ කෙනාගේ අපිට අල්ලන්නෙ නැති මොනවා හරි ගතිලක්ෂණ ටිකක් නිසා කියලා. එතකොට අපි අවංක වෙනවා කියලා ඕක කියලා දානවද? කොහෙත්ම නෑ. ඒකෙන් අපි අනික් කෙනාව දරුණු විදියට රිදවනවා විතරක් නෙවෙයි. එයාගේ ආත්ම සම්මානයට, ආත්ම අභිමානයටත් මරු පහරක් එල්ල කරනවා. ඊට වඩා අපි බොහොම ඩිප්ලොමැටික් විදියට කතා කරන එක, හැමතිස්සෙම තමන්ගේ පැත්තෙන් කතා කරන එක තමයි හොඳ. උදාහරණයක් විදියට ගත්තොත්, “ඔයා පුදුම කසාද පිස්සුවකින් ඉන්නේ, ඒ නිසා මට ඔයාව බඳින්න බෑ” කියන එක නොකිව යුතු දෙයක්. ඒ වෙනුවට, “මේ මොහොතේ මට සම්බන්ධතාවයකට යන්න හෝ සෙට්ල් වෙන්න පුළුවන් මයින්ඩ්සෙට් එකක් නෑ” කියන එක වඩා සාර්ථකයි.
5. බොරු බලාපොරොත්තු දෙන්න එපා
මෙන්න මේක බොහොම බරපතළ විදියට හිතට ගන්න ඕන කාරණාවක්. අපි ආදරේ ප්‍රතික්ෂේප කරනකොට වුණත් අනික් කෙනාට බොරු බලාපොරොත්තුවක් දෙන්න පුළුවන් හොඳම උදාහරණය තමයි උඩින් කියපු කාරණාව. “මේ මොහොතේ මට සම්බන්ධතාවයකට යන්න හෝ සෙට්ල් වෙන්න පුළුවන් මයින්ඩ්සෙට් එකක් නෑ” කියලා කියපු ගමන් සමහර වෙලාවට අනික් පැත්තේ කෙනා ඔළුවට ගන්න පුළුවන්, මේ මොහොතේ බැරි වුණාට පස්සේ පුළුවන් වෙයි කියලා. එහෙම හිතලා එයා අපි ගැන දිගටම බලාපොරොත්තු සහගතව ඉන්න පුළුවන්. ආන්න ඒ නිසා ඒ විදියට කියනවා වගේම, බොහොම ස්ථිරව කියන්න ඕන අපි දෙන්නට ආදර සම්බන්ධයකට යන්න හැකියාවක් නැහැ කියන එක. ඒ ඇරෙන්න වෙනත් ඕනෑම විදියට බොරු බලාපොරොත්තු ඇති වෙන විදියේ දේවල් ආදරයක් ප්‍රතික්ෂේප කරන්න යනකොට නොකියන්න ඕන.
6. හැකි තාක් ඉක්මනට
මෙන්න මේකත් ගොඩක් දෙනෙක් මේ වගේ අවස්ථාවකදී වරද්ද ගන්න තත්ත්වයක්. කෙනෙක් අපිට ආදරේ ප්‍රකාශ කරනකොට, අපේ ආදරේ ඉල්ලනකොට, ඒක ප්‍රතික්ෂේප කරන එක ඇත්තටම අමාරු තත්වයක්. අඩු තරමින් හිතක් පපුවක් තියෙන මනුස්සයෙක්ට අමාරු තත්ත්වයක්. එතකොට ඒක අමාරු වැඩක් නිසාම කෙනෙක් ඒකට “හරි වෙලාව” එනකල් බලාගෙන ඉන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ අනික් කෙනා හොඳ මූඩ් එකකට එනකල්, ටෙන්ෂන් එක අඩු වෙනකල්, කතා කරන්න හොඳ වෙලාවක් එන කල්, වැඩ අඩුවෙන කල් වගේ විවිධ හේතු ඉදිරිපත් කරමින් මේ හරි වෙලාව එනකල් කල් මරණවා. ඇත්තටම මේක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. මොකද, කෙනෙක් අපිට ආදරේ ප්‍රකාශ කරනවා නම්, අපිට ඒ ආදරේ භාරගන්නත් බැරි නම්, හැකිතාක් ඉක්මනට ඒක කියලා විසඳගන්න එක තමයි හොඳම දේ. එහෙම නැති නම් අපි කල් යවන්න යවන්න අනික් පැත්තේ බලාපොරොත්තු වර්ධනය වෙන එක තමයි වෙන්නේ.
7. හෘදයාංගම වෙන්න, කාරුණික වෙන්න
අපි කොයි තරම් උඩ කියලා තියෙන විදියට ලැහැස්ති වෙලා උත්සාහ කරලා, හැකිතාක් ඩැමේජ් එක අවම වෙන විදියට ආදරේ ප්‍රතික්ෂේප කළත්, අනික් පාර්ශවය ඒක බොහොම දැඩිව ගන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ කොහොම කළත් ඒක ඒ අයට බොහොම බරපතල විදියට දැනෙන්න පුළුවන්. එතකොට ඒ අයගේ ප්‍රතිචාරයත් විවිධ වෙන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රතිචාරය මොන වගේ වුණත්, අපි අතිශයින්ම ඉවසිලිමත්ව, අතිශයින්ම කාරුණිකව සහ හැකි උපරිමයෙන් හෘදයාංගමව හැසිරෙන්න ඕන. අපිට තවදුරටත් කිසිසේත්ම රැඳෙන්න බැරි තත්ත්වයක් උද්ගත වුණොත්, අපිට කණගාටුවෙන් වුණත් එතනින් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. ඒත් මේක ඇත්තටම අපේ ඉවසීමත් කොයි වගේද කියලා ටෙස්ට් කරන තත්ත්වයක්.
හැබැයි එකක්, ඉවසිලිමත්ව, කාරුණිකව, හෘදයාංගමව හැසිරෙනවා කියන්නේ අනික් කෙනාගේ හිත හදන්න කියලා ඒ යෝජනාවට කැමති වෙන එකත් නෙවෙයි! ආන්න ඒ ස්ථාවරය පැහැදිලිව තියාගත යුතුයි.
දැන් කෙනෙක් අහයි අපි කෙලින්ම ‘බැහ්’ කියන්නේ නැතුව ඇයි ඔය තරම් මහන්සි වෙන්නේ කියලා. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි අපි හැමෝම මිනිස්සු වීම. අපිට කෙනෙක් කොච්චර මැරීගෙන ලව් කළත්, ඒ ලව් එක අපිට ආපිට ලබාදෙන්න බැරි එක හරි. හැබැයි අපිට ඒ කෙනාගේ හිත නොරිද්දා ඉන්න ටිකක් මහන්සි වෙන්න වුණත්, ඒක හරිම උතුම් දෙයක්. අපි හැමෝම මිනිස්සු. හිත් තියෙන මිනිස්සු. ඔච්චරයි කතාව.
Leave a Reply